ඉකුත් වසරේ ජූනි දාහතර වැනි දා එවකට ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ වත්මන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතා හමුවීමට පැමිණියේ කාන්තාවකි. ගාල්ලේ, උණවටුනේ විසු නිලුකා චාමලී නමැති එකී කාන්තාවගේ ජීවිතයට අත්වීමට යන භයානක ඉරණමේ සියලු තතු එදින නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉදිරියේ පවසන්නට ඇයට අවස්ථාව ලැබිණි.
ඒ, ඇයව ඝාතනය කිරීමට වූ සැලැසුමක් පිළිබඳ හෙළිදරව්වකි. ඇය නියෝජ්‍ය පොලිස්පතිවරයා හමුවීමට දිනකට පෙර එනම් දහතුන් වැනිදා යතුරුපැදියකින් ඇගේ නිවෙසට පැමිණ තිබුණේ මැදිවියේ පිරිමි පුද්ගලයෙකි. ඔහු නිලුකාගෙන් විමසා තිබුණේ,
“මිස්… රට ඉන්නෙ කවුද?“
“මගේ කවුරුත් රට නැහැ..“නිලුකා පිළිතුරු දුන්නාය. පුද්ගලයා දිගින් දිගටම නිලුකාගෙන් විමසා තිබුණේ,
“එහෙනම් ස්විස්වල ඉන්න ජයා කියන්නෙ කවුද?“
“ඒ මගේ මහත්තයා…“
“හික්කඩුවේ ගෑනු කෙනෙක් මිස් එක්ක තරහද?“ නිලුකා කල්පනාකාරීව පුද්ගලයා දෙස බලමින් පිළිතුරු දුන්නාය.
“මට එහෙම තරහකාරයෝ කවුරුත් නැහැ. ඉතින් ඇයි ඔයා මේවා මගෙන් අහන්නෙ.“නාඳුනන පුද්ගලයා විමසන්නෙ කුමක්ද යන්න නිලුකාට තිබුණේ කුතුහලයකිනි.
ඒත් එක්කම එම පුද්ගලයා කලිසම් සාක්කුවේ තිබූ ලියුම් කවරයක්ද ඇද ඡායාරූපයක් පෙන්වීය. එම ලියුම් කවරයේ නිලුකාගේ නිවෙසට එන මාර්ගයද ඇඳ තිබිණි.
“මේ පින්තූරේ ඉන්නෙ මිස් නේද?“ නිලුකා වික්ෂිප්ත වූවාය.
“ඔව් … මේ මගේ පින්තූරයක්“ ඇයට කියැවිණි. අනතුරුව මේ පුද්ගලයා කී දෙයින් ඇය තිගැස්සුණාය.
“මට මිස්ව මරන්න කොන්ත්රාතුවක් දීලා තියෙන්නෙ… ලක්ෂ තිහකට… ඒක දුන්නෙ මිස්ගේ හස්බන්ඩ්… කොන්ත්‍රාත් එක ගත්තෙ වෙනත් ගෑනු කෙනෙක්… එයා මට වැඩේ බාර දුන්නා.”
එදින ඇයව ඝාතනය කිරීමට එසේ පැමිණ පාපෝච්චාරණය කර තිබුණේ 47 හැවිරිදි තිදරු පියෙකි. ඔහු අම්බලන්ගොඩ, ගෝනපීනුවල අයෙකි. එදින පැමිණි එම පුද්ගලයා අධික මුදල් හිඟතාවකින් පෙළෙන හෙයින් ගැටලු රැසකට මුහුණදී අන්ත අසරණව සිටි අයෙකි. කෙසේ හෝ ඔහුගේ අනුකම්පාව නිසා නිලුකාගේ ජීවිතයට එවර කිසිදු හානියක් නොවිණි.
පසුව නිලුකා නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතාට කළ පැමිණිල්ල අනුව ඔහුගේ උපදෙස් මත ගාල්ල අපරාධ අංශයේ ස්ථානාධිපති දිනේෂ් නිශාන්ත ප්රමුඛ කණ්ඩායමක් සූක්ෂ්ම වැටලීමක් කොට නිලුකා ඝාතනය කිරීමට සැලැසුම් කළ පිරිස අත්අඩංගුවට ගත්තේය.
එසේ නිලුකා ඝාතනය කිරීමට තැත් කළ අපරාධකාරයන්ගේ ප්රයත්නය එදින ව්‍යර්ථ වූයේය.
එහෙත් නිලුකාට තවදුරටත් මෙලොව දැකීමට වාසනාව උදා වූයේ හරියටම මාස හතක් වැනි කෙටි කාලයක් පමණි. ඒ නැවත වරක් අපරාධකාරයන් පිරිසක් ඇය ඩැහැගැනීමට මාන බැලු හෙයිනි.
ඒ අනුව එකී අපරාධකාරයන් සිය කුරුමානම ඩැහැගෙන තිබුණේ පසුගිය නව වැනිදා රාත්‍රී 11.45ට පමණය. ඉතාම අමානුෂික ලෙස ඇයව ඝාතනය කර තිබුණේ කපාකොටා වෙඩි ප්‍රහාරයක්ද එල්ල කරමිනි. ඒ බව සනාථ වූයේ කරාපිටිය රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරිනී සමාධි දන්දෙණිය මහත්මිය සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදීයි.
උණවටුනේ, යද්දෙහිමුල්ලෙ විසූ 34 හැවිරිදි නිලුකා පවත්වාගෙන ගිය සංචාරක හෝටලය තුළදීම ඇයව ඝාතනය කර තිබිණි. හත් හැවිරිදි දරු පැටියකුගේද මවක වූ නිලුකා ඝාතනය කළත් ඇගේ දරුවාට සහ ඒ මොහොතේදී සංචාරක හෝටලයේ සේවයේ නියුතුව සිටි කිසිම සේවකයකුටද ඝාතකයන් හානියක් කර නොතිබිණි.
මේ වන විට නිලුකාගේ ඝාතනය පිළිබඳ හබරාදුව පොලිසියට අමතරව නිලුකා ඝාතනයට මීට පෙර තැත් කළ අවස්ථාවේ සැකකරුවන් කොටු කරගැනීමට සමත් වූ ගාල්ල පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති දිනේෂ් නිශාන්ත ඇතුළු කණ්ඩායමද ගාල්ල දිසා බාර උසස් පොලිස් නිලධාරින්ගේ අධීක්ෂණය යටතේ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
දැනට වාර්තා වී ඇත්තේ යතුරුපැදියකින් සහ මෝටර් රථයකින් පැමිණි පස්දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් නිලුකා ඝාතනයට සම්බන්ධ වූ බවටයි.
ඝාතකයන් සියලු දෙනා කොටු කර ගැනීමට පොලිසිය සූක්ෂ්ම මෙහෙයුමක් අරඹා ඇති බවත් නුදුරේදීම සියලු දෙනාම අත්අඩංගුවට ගැනීමට හැකි වෙතැයි පොලිසිය පවසයි.
නිලුකා ගාල්ල, උණවටුනේ අත්තරගොඩ පදිංචිකාරියකි. ඇයව ඝාතනය කිරීමට 2012 වසරේදී පමණ සිටම අවස්ථා කීපයකදීම අපරාධකාරයෝ සැලැසුම් කළහ.
ඒ සියලුම සැලැසුම් ඇගේ සැමියා විසින් සිදු කරන ලද්දක් බවටද අනාවරණය විය. පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් ඇගේ ජීවිතයේ සිදු වීම් පිළිබඳ මාධ්යන්හිදී වාර්තා පළ විණි.
ඉකුත් වසරේ නිලුකා ඝාතනය කිරීමට සැලැසුම් කර තිබුණේද ඇගේ සැමියා විසිනි.
ජයන්ත දිසානායක නමැත්තෙකු වන ඔහු මෙරට පුරවැසි භාවයද නැති ස්විට්සර්ලන්තයේ සහ ඉතාලියේ වෙසෙන අයෙකි. ඉකුත් වසරේ නිලුකා ඝාතන තැතට අත්අඩංගුවට පත්වූ සැකකරුවන්ට ජයන්ත රුපියල් ලක්ෂ 30ක මුදලක් ලබා දෙන බවට පොරොන්දු වූ බවද එවර අත්අඩංගුවට පත් සැකකරුවන්ගෙන් අනාවරණය විය.
එදින එම ඝාතනය සැලැසුම මෙරට සිට ක්‍රියාත්මක කර තිබුණේ රජ්ගම ප්‍රාදේශීය සභාවේ ලිපිකාරිනියක ලෙස සේවය කළ කාන්තාවකි. එදින නිලුකා ඝාතනයට පෙර පැහැරගෙන ගොස් නිලුකාගේ සැමියාට අන්තර්ජාල වීඩියෝ ඇමැතුමක් ගෙන ඇමැතු සැකකරුවන්ට සැමියා පවසා තිබුණේ,
නිලුකාගේ සැමියා කිහිප වරකදීම ඇය ඝාතනය කිරීමට සැලැසුම් කර තිබුණේ දේපළ පිළිබඳ තිබෙන ආරවුලක් හේතුවෙනි. පසුගිය වසරේ නිලුකා ඝාතනයට අත්අඩංගුවට පත්වූ සැකකරුවන් සියලු දෙනාම මේ වන විට අධිකරණයෙන් ඇප මත නිදහස්ව සිටින බවට ද සැලවේ.
එම නිසා මෙකී ඝාතනය කවුරුන්ද සිදු කළේ යන්න පොලිසිය පුළුල් විමර්ශනයක් සිදු කරමින් සිටින බවත් ඝාතකයන් අත්අඩංගුවට ගැනීමත් සමඟ නිලුකා ඝාතනයේ සියලු තතු හෙළි කරගැනීමට හැකි වේයැයිද පොලිසිය පවසයි.
නිලුකාට, ඇගේ සැමියා වන ජයන්ත හමු වී තිබුණේ 2012 වසරේදී උණවටුන ප්‍රදේශයේ මහමඟදීය. එලෙස මහමඟදී දැකීමෙන් අනතුරුව දෙදෙනා අතර හට ගැනුණේ පෙම් පලහිලව්වකි. පසුව එම වසරේදීම දෙදෙනා විවාහ වී ජයන්ත සතුව තිබූ උණවටුනේ පර්චස් තිහක ඉඩමක දෙදෙනාගේම ස්වශක්තියෙන් නිකේතනයක්ද ඉදි කළහ. අනතුරුව ඔවුහු එම සංචාරක නිකේතනයේම පදිංචි වෙමින් සතුටින් ජීවත් වූහ. නිලුකා ඝාතනය වූයේ එම සංචාරක නිකේතනය තුළදීයි.
විවාහ වී දින කීපයක් ඉක්ම යද්දීම දෙදෙනාටම අවශ්‍ය වී ඇත්තේ දරු පැටියෙකුගේ සුරතල් බැලීමටය. ඒ අපේක්ෂා පල දරමින් 2012 වසරේදීම නිලුකාගේ කුසේ දරු ගැබක් පිළිසිඳ ගත්තාය.
එම දරු ගැබත් සමඟ දෙදෙනා අතර පවුල් ආරවුල් හටගැනීමට හේතු වී ඇති බවකි. එසේ ඇතිවූ පවුල් ආරවුල් සඳහා ජයන්තගේ හිතමිතුරු නීතිඥ යුවළක් ජයන්තට දුන් උපදෙස් බෙහෙවින් බලපෑ බව ඉකුත් වසරේ නිලුකා ඝාතන තැත පිළිබඳ අප තැබූ සටහනට ඇය පැවැසුවාය. එදින ඇය වැඩිදුරටත් කීවේ,
“ඒ සමඟ ඇති වූ ප්‍රශ්න නිසා මේ මනුස්සයා මාව මරන්න හැදුවා.
දූෂණය කරන්න මැරයො යෙදෙව්වා. ඒ කාලේ ඒ අපරාධය භාර දීලා තිබුණේ මනෝජ් මෙන්ඩිස් කියන මැරයගේ ගෝලයන්ට. මේ තාඩන පීඩනවලට එරෙහිව සියලු වගකිවයුත්තන් දැනුවත් කළා. ඉන් කිසිම වැඩක් වුණේ නෑ. මං වෙනුවෙන් පෙනී සිටියේ මාධ්‍ය විතරයි…“
අවසානයේ ජීවිතයේ මල් වයසේ පසුවූ දරු පැටියෙකුට මවක අහිමි වෙද්දී තවත් බොහෝ කලක් ජීවන ගමනේ යාත්‍රා කිරීමට තිබූ නිලුකාට අකල් මරණයක් උරුම වූවාය.
ඊට වගකිවයුත්තෙ කවුරුන් ද? නිලුකාට හැලහැප්පිලි සහිත පවුල් දිවියක් උරුම වූයේ ඇගේ වරදින් ද? නැතිනම් කිනම් හෝ බලවේගයක ප්‍රතිඵලයක් නිසාවෙන් ද?
කෙසේ හෝ කලෙක සිටම ජීවිතයට තිබූ තර්ජනය පිළිබඳ නිලුකා යම් පමණක හෝ තැකීමක් කළේ නම් ඇයට තවත් කලක් ජීවත්වීමට වාසනාව තිබෙන්නටද හැකියාව තිබිණි.
උපුටා ගැනීම – සිළුමිණ පුවත්පත
