Gossip

හැරී කුමරු සහ මේගන් කුමරිය රජ පවුලෙන් ඈත් වුණේ ඇයි. ? ලෝකයේම අවධානය යොමුවූ කතාවේ ඇත්ත මෙන්න – Photos

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ ඔහුගේ බිරිය මේගන් මාර්කල් විසින් පසුගියදා ගන්නා ලද ආන්දෝලනාත්මක තීරණයක් නිසා රජ පවුල සුළි කුණාටුවකට හසු වුණා වගේ විශාල කැලඹීමකට ලක් වුණා.
මෙම තත්ත්වයට හේතු වුණේ රජ පවුලේ ජේ‍යෂ්ඨ සාමාජිකයන් ලෙස තමුන් දරන ස්ථානවලින් ඉවත් වීමට හැරී සහ මේගන් තීරණය කිරීමයි.
ඔවුන් මුලින්ම මේ බව ප්‍රකාශ කර තිබුණේ ඉන්ස්ටර්ග්‍රෑම් සටහනක් මඟිනුයි.
මෙයින් අදහස් වන්නේ ඔවුන් රජ පවුලෙන් ඉවත් වන බවද? එවැන්නක් මෙයින් අදහස් නොවුණත් රජ පවුලේ ජේ‍යෂ්ඨ සාමාජිකයන් ලෙස ඔවුන්ට පැවරෙන සමහර කටයුතුවලින් ඉවත් වීම වැනි දේ මෙහිදී සිදුවිය හැකි බව පැවසෙනවා.
මේ අතර ඇතැමුන් පවසා තිබුණේ ඉදිරියේදී ඔවුන් සම්පූර්ණයෙන්ම රජ පවුලෙන් ඉවත් වීමට ඉඩ ඇති බව සහ මෙය ඒ සඳහා සූදානම් වීමක් විය හැකි බවයි.
සාමාන්‍ය ගැහැනුන් මිනිසුන් බොහෝ දෙනෙක් රජ පවුලක සාමාජිකයකු වීමට සිහින මවමින් සිටියදී ඒ සියලු වරප්‍රසාද හිමි කරගෙන සිටින හැරී-මේගන් යුවළ මේ ආකාරයෙන් රජ පවුලෙන් ඉවත් වීමට යන්නේ ඇයි? මේ වගේ ප්‍රශ්න බොහෝ දෙනකු තුළ මතු වූ බැව් පෙනුණා.
පසුගිය කාලය පුරාම හැරී සහ මේගන් විවිධ හැලහැප්පීම්වලට මුහුණ දෙමින් සිටි අතර මෙය එහි උච්චාවස්ථාවක් හැටියටයි සැලකිය හැක්කේ. හැරී-මේගන්් යුවළ සහ විලියම්-කේට් යුවළ අතර යම් යම් ගැටුම් පැවති බවටත් කලකට පෙර ආරංචි පැතිරුණා.
හැරී සහ මේගන් දෙදෙනා කලින් වාසය කළ ලන්ඩනයේ කෙන්සින්ටන් මන්දිර පරිශ්‍රයේ නිවෙසින් ඔවුන් ඉවත් වුණෙත් මේ ගැටුම් නිසා බවට සැකයක් තිබුණා. ඒ කාලයේ මෙම පවුල් දෙකම වාසය කළේ එකිනෙකට යාබද නිවාස දෙකකයි. පසුව හැරී සහ මේගන් ලන්ඩනයේ සිට තරමක් ඈත පිහිටි ‘ෆ්‍රොග්මෝර් කොටේජ්’ යනුවෙන් හැඳින්වුණු නිවෙසක පදිංචියට ගියා.
මේ අතර පසුගිය කාලයේ මාධ්‍ය සමඟද හැරී සහ මේගන් දෙදෙනා ප්‍රශ්න ඇති කරගත්තා. එයට ප්‍රධාන වශයෙන්ම හේතු වුණේ මේගන් මාර්කල් ඇයගේ පියා වන තෝමස් මාර්කල්ට ලියූ අතිශය පෞද්ගලික ලිපියක කොටස් කිහිපයක් එක්තරා පුවත්පතක් විසින් අනවසරයෙන් පළ කරනු ලැබීමයි.
මෙය සිදු වුණේ මේගන් සහ ඇගේ පියා අතර කාලයක සිටම ගැටුම් පවතින පසුබිමකයි. මාධ්‍ය මේ ආකාරයෙන් තම පෞද්ගලික ජීවිතවලට ඇඟිලි ගැසීම සහ තමුන්ට හිරිහැර කිරීම මේ දෙදෙනා තුළ විශාල ආතතියක් ඇති කර තිබූ බව පෙනුණා.
මේ සියල්ල අතරේ රජ පවුලේ සම්ප්‍රදායන් තුළ සිර වූ ජීවිතය නිදහසක් නැති, කරදරකාරී එකක් ලෙස ඔවුන්ට දැනුණා විය හැකියි. මේ අතර ඇමෙරිකානු ජාතික කාන්තාවක වන මේගන් මාර්කල් බ්‍රිතාන්‍ය රජ පවුලට නොගැළපෙන කෙනකු බවට ඇතැම් පාර්ශ්ව වෙතින් යම් යම් ‘කෙනිත්තිලි’ සිදු වූ බවත් පැවසෙනවා.
ඇයගේ මව කළු ජාතික කාන්තාවක වීමත් මෙම ‘කෙනිත්තිලි’ වැඩි වීමට හේතු වන්නට ඇති බව ඇතැමුන්ගේ අදහසයි. මෙම තත්ත්වය තුළ පසුගිය කාලයේ මේගන් විශාල පීඩනයකින් පසු වූ බව ඇයගේ යම් යම් ප්‍රකාශ තුළින්ද පැහැදිලිව දැකිය හැකි වුණා.
මේ අතර විලියම් කුමරු නිතර හැරී සහ මේගන් දෙදෙනාව කොන් කරන තත්ත්වයක් සහ ඔවුන්ව විහිළුවට ලක් කරන ස්වරූපයක් රජ පවුල තුළ තිබූ බවට කතාවක්ද පසුගියදා පුවත්පතක සඳහන් වුණා. නමුත් විලියම් සහ හැරී නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණේ මෙම කතාව බොරුවක් බවයි.
කෙසේ හෝ වේවා, වැල නොකැඩී එන මෙවැනි ප්‍රශ්න සහ මානසික පීඩාවන්ගෙන් හෙම්බත්ව සිටින බව පෙනෙන හැරී සහ මේගන් රජ පවුලෙන් ඈත් වී, මාධ්‍යයෙන්ද හැකි තරම් වසන් වී, සාමාන්‍ය නිදහස් ජීවිතයක් ගත කිරීමට වැඩි කැමැත්තක් දක්වන බවයි පෙනෙන්නේ. එය ඔවුන්ගේ දරුවන්ගේ ජීවිතවලටද යහපතක් කරනු ඇති බැව් මේ දෙදෙනා සිතන බවක් ඔවුන්ගේ කියුම්වලින් පෙනෙනවා.
ඔවුන් වැඩි කාලයක් කැනඩාවේ ගත කිරීමට අදහස් කරගෙන සිටින බවකුත් පෙනෙන්නට තිබෙනවා. එමෙන්ම රජ පවුලේ මුදලින් නඩත්තු නොවී තමුන්ගේම ආදායම් මාර්ගයක් ඇති කර ගැනීමට අදහස් කරන බවත් පසුගියදා ඔවුන් පළ කර තිබූ ඉන්ස්ටර්ග්‍රෑම් සටහනේ සඳහන් වුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!