කලාවෙන් මගේ ආත්ම තෘප්තිය සොයා යන්නයි ඇය මට මඟ පෙන්වන්නේ
මට අවශ්‍ය කරන දෙයින් හොඳම ප්‍රතිඵල ලබන්නයි
ඇය සිලිඳු රංවලය.. ඇගේ රුව තවමත් ඔබට නුහුරු වූවත් ඒ හඬ බොහෝ ළෙන්ගතු වන්නේ වයස අවුරු තුනක් තරම් පුංචි වයසේ සිටම ඇය හඬ කැවීම් ශිල්පිනියක් ලෙස කටයුතු කරන නිසාවෙනි. දිගු කලක් මුළුල්ලේ හඬින් දස්කම් පෑ ඇය චාමික හත්ලහවත්තගේ ‘බෝම්බයක් ඉතුරුයි‘වේදිකා නාට්‍යයෙන් රංගනයට පිවිසෙන්නේ කවුරුත් දන්නා කලා පවුලක ආභාසය නිසා යැයි සිතුණත් සිලිඳු රංගනයේ සොයා යන්නේ ඇයටම අනන්‍ය වූ මානයකි. නිලංක නිසලංජල්ගේ ‘අතරමැදියා’ වේදිකා නාට්‍යය වෙනුවෙන් මෙවර යොවුන් සම්මාන උළෙලේ සහ පසුගිය දා පැවැති රාජ්‍ය නාට්‍ය උළෙලේ දිගු නාට්‍ය අංශයෙන් හොඳම නිළිය ලෙස සම්මානයෙන් ඇගැයුම් ලබමින් සිලිඳු එය මනාව ඔප්පු කර පෙන්වන්නීය
දෙවැනි නිර්මාණයෙන්ම මෙවැනි ඇගැයීමක් ලැබීමත් එක්තරා භාග්‍යයක් ?
මෙවැනි ඇගැයීමක් ලැබේවි යැයි හිතුවේ නෑ. මේ චරිතයේ තිබූ ගැඹුරු බව සහ පිටපතේ ප්‍රබලත්වය නිසා මගේ රඟපෑම ඇතුළාන්තයෙන්ම කරන්නයි මට ඕන වුණේ. එයට මේ නාට්‍ය අධ්‍යක්ෂණය කළ නිලංකගෙන් ලොකු පිටිවහලක් සහ නිදහසක් ලැබුණා. අපි තුන් දෙනාගෙම තිබූ වෙනස්කම් ලස්සනට එළියට ගන්න ඔහු සමත් වුණා. ඉතින් ඒ හැම දේකම ජයග්‍රහණයක් තමයි මේ සම්මානය. මම ක්ෂේත්රයට ඇවිත් තවම අවුරුදු දෙකයි. ඒ කියන්නේ බොහොම පොඩි කාලයක්. ඒ වගේ කෙටි කාලෙකදී මෙවැනි සම්මානයක් ලැබීම ලොකු වටිනාකමක් විදිහටයි මට දැනෙන්නේ.
ඔබ මෙරට කවුරුත් දන්නා කලා පවුලක තවත් පුරුකක්. කලාවට ප්‍රවිෂ්ට වීමට එය ආභාසයක් වෙන්න ඇති?
ඇත්තටම නෑ. රංගනය ගැන කිසිම අදහසක් නැතිව හිටපු මම රංගනයට යොමු වීම අහම්බයක්. චාමික හත්ලහවත්තගේ ‘බෝම්බයක් ඉතුරුයි‘ කියන මගේ පළවෙනි වේදිකා නාට්‍යට සම්බන්ධ වෙද්දිවත් මට කොතරම් දුරට රඟපාන්න පුළුවන්ද කියලා මම දැනන් හිටියෙ නෑ. චාමිකගේ නිර්මාණයකට සින්දු කියන්න, නටන්න වගේම රඟපාන්න පුළුවන් කෙනෙක් හොයනව කියල ආරංචි වුණා. මට සින්දු කියන්න වගේම නටන්නත් පුළුවන් නිසා මට හිතුණා රඟපාල බලන්න. ඒ අත්හදා බැලීම සාර්ථක වුණා.
හඬ කැවීමෙන් හා රංගනයෙන් මේ වන විට දක්ෂතා පෙන්වා තිබෙන සිලිඳු ගායනයෙන් හා නර්තනයෙන් එවන් අත්හදා බැලීම නොකළේ ඇයි?
ඒකට ලොකුම හේතුව කාලය මදිකම. මං පොඩි කාලේ ඉඳල කැමැති වුණේ නර්තනයට. ගොඩක් දෙනෙක් මාව දැනන් හිටියේ ඒ අංශයෙන්. ගායනයට තිබෙන හැකියාව මම දැනගත්තෙත් ගොඩක් පහු වෙලා. නමුත් ඒ කාලෙදි අධ්‍යාපන කටයුතුවලටයි මුල් තැන දුන්නේ. යමක් කරනකොට ඒකෙන් හොඳම ප්‍රතිඵල ලබාගන්නයි මට අවශ්‍ය වුණේ. ඒ නිසා බාහිර දේවල් වලට සම්බන්ධ වෙන්න ඒ කාලේ මට වෙලාවක් ලැබුණේ නෑ. නමුත් මේ දවස්වල මගේ කුලුඳුල් ගීතයේ වැඩකටයුතු කෙරීගෙන යනවා. ඉතින් නුදුරේදීම ගායනයෙනුත් ප්‍රේක්ෂකයන්ට මාව මුණ ගැහේවී.
වේදිකාවෙන් ඔබ්බට යන්න ඔබේ අදහසක් තියෙනවාද?
එහෙම අවතීර්ණ නොවී ඉන්න අදහසක් නැහැ. සිනමාවට හෝ ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබුණොත් පිටපත හා චරිතයේ ස්වභාවය අනුව මම දායක වෙනවා.
වෘත්තීය රංගන ශිල්පිනියක් ලෙස රැඳෙන්න බලාපොරොත්තුවක් තිබෙනවාද?
වෘත්තීමය වශයෙන් රංගන ශිල්පිනියක් වෙන්න නම් බලාපොරොත්තුවක් නැහැ. අපේ රටේ ඒ දේ කරන්න අපහසුයි. දැනට මම මගේ උසස් අධ්‍යාපන කටයුතු කරන්නේ ජාත්‍යන්තර සබඳතා හා මනෝවිද්‍යාව යන විෂයන් ඔස්සේ. ඒ අංශයෙන් මගේ වෘත්තීය ජීවිතය ගොඩනගා ගනිමින් කලාවේ ගුණාත්මක නිර්මාණවල නියැළෙන්නයි මගේ බලාපොරොත්තුව.
ඔබේ මව දක්ෂ රංගන ශිල්පිනියක්. ඔබ ගැන ඇගේ කියවීම කොහොමද?
මගේ අම්මා වසන්ති රන්වල. පොඩි කාලෙ ඉඳලම ඇගේ රඟපාන විදිහ, වැඩකටයුතු කරන විදිහ මම දැක්කා. ඒ හැදෑරීම මම අද ඉන්න තැනට ලොකුම පිටිවහලක් වුණා. ඇය මට නිතරම කිව්වේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගන්න කියලයි. එයින් මගේ ස්ථාවරත්වය හදා ගනිමින් කලාවෙන් මගේ ආත්ම තෘප්තිය සොයා යන්නයි ඇය මට මඟ පෙන්වන්නේ
කලා පරපුරක පුරුකක් වීම බොහෝ විට මේ ක්ෂේත්රයට පහසුවෙන් ඇතුළු වීමට හෝ රැඳි සිටීමට මාර්ගයක් ලෙස හසුරුවා ගන්නවා ?
පුංචි කාලේ ඉඳලා මට අවශ්‍ය වුණේ මගේ දේකින් ගොඩනැඟෙන්න. මාව බොහෝ දෙනා දැන ගන්නේ හඬකැවීම් ශිල්පිනියක් විදියට. නමුත් වේදිකාවෙන් මට ලොකු ගමනකට පාර හදලා දුන්නා. දැනටත් මම රංගන වැඩමුළුවලට සහභාගී වුණත් බොහොම ඉක්මනින් රංගනය පිළිබඳ තව තවත් හදාරමින් ඒ ගමනට ගායනයෙන් සහ නර්තනයෙනුත් අලුත් දේවල් එකතු කරගමින් මගේම අනන්‍යතාව ගොඩනඟා ගන්නයි මට අවශ්‍යය.
සිළුමිණ.