“පොදු” කියලා කියන්නේ මේ දිනවල දෙරණ නාළිකාවෙන් විකාශය වන අලුත්ම නිර්මාණය. මෙතෙක් නිර්මාණය වුණු නිර්මාණවලට අලුත් ජීවයක් දෙන්න ‘පොදු’ නිර්මාණයට හැකියාව ලැබිලා තියෙනවා.
රංගනයේ අලුත් මුහුණු බොහොමයක් මෙහි තියෙනවා. හැබයි ඒ කිසිවෙකුත් ඒ ඒ චරිත තුළ නම් ආධුනික බවක් පෙන්වන්නේ නැහැ. ඒ වෙන කවුරුත් නෙවෙයි කෞෂි තුළින් අපිට සමීප වන මනෝජා ප්‍රනාන්දු.
ඇය චරිතයේ සේම කෙළින් කතා කරන අපූරු රුවැති යුවතියක්. මම එහෙම කිව්වේ, ඇය කියන්නේ පෞද්ගලික තොරතුරු කතා නොකර නිර්මාණය ගැන කලාව ගැන අපි කතා කරමු කිව්ව නිසා. ඒ දේවල්වලට එකඟ වෙමින් අපි කතාව පටන් ගත්තේ “පොදු” හි කෞෂිට, ලැබෙන ප්‍රතිචාරවලින්ම.
මනෝජාට මේ වෙද්දී ගොඩක් ප්‍රතිචාර ලැබෙනවලු. කොච්චරක්ද කියනවා නම් පළවෙනි කොටස නිදහසේ මට බලන්නවත් ලැබිලා නැහැ. ඒ තරම් දුරකථන ඇමතුම් ඇවිත්, පස්සේ තමා නිදහසේ නාට්‍ය බලලා තියෙන්නේ. ඒ වගේම සමාජ මාධ්‍ය ජාලා හරහා ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙන්නේ සරලව දැනෙන්න රඟපානවා කියලායි. ඉතින් ඒ නිසා මනෝජාට තියෙන්නේ ලොකු සතුටක්.
“පොදු” තුළින් ඇය ජනප්‍රිය වුණත්, මනෝජා කලාවට එන්නේ මියුසික් වීඩියෝ හරහා. මුලින්ම වැඩි ප්‍රේක්ෂක පිරිසක් අතරට ගියේ අභිෂේකා විමලවීරගේ නිස්සාර සංසාර සින්දුව. ඉන් පසු ගීත රූප රචනා ගණනාවකට ආරාධනා ලැබුණත් මම යම් තේරීමක් කරන නිසා කිහිපයකට පමණයි සහභාගී වෙලා තියෙන්නේ. ඊට පස්සේ චිත්‍රපට දෙකකට දායක වෙලා ඒවායෙහි රූගත කිරීම් කරලා අවසන් කරලා තියෙන්නේ. ඒ වගේම තව කිහිපයක් භාර අරන් තියෙනවා කියලා තමා ඇය කිව්වේ. ටෙලි නිර්මාණ ගත්තම ‘පොදු’ කලින් විකාශය වුණාට, මුල්ම ටෙලි නිර්මාණය වෙන්නේ රනිල් කුලසිංහ අධ්‍යක්ෂණය කරන ගයාන් දිනේෂ් පෙරේරා නිෂ්පාදනය කරන පානාමංකඩ.
පානාමංකඩ හි මනෝජාගේ චරිතය ගැන ඇය කිව්වේ බොහොම සීරු මාරුවට, ඒක නර්තන කලාව මුලික කර ගත් සුවිශේෂී නිර්මාණයක්. ඇය කරන්නේ එහි එන ගුරුන්නාන්සේගේ එක් දියණියකගේ චරිතයක්. ඇයට එක් හීනයක් තියෙනවා. ඒ හීනය සැබෑ කරගන්න ඇය සමාජය හා ගැටෙනවා. එහිදී ඇයට එන ප්‍රශ්න සහ ඒවාට මුහුණ දෙන ආකාරය තමා මනෝජාට රඟපාන්න ලැබිලා තියෙන්නේ.
කෞෂි චරිතය දකිද්දී මේ නම් මනෝජාම ද කියලත් හිතෙන්න පුළුවන්, මොකද ඒ තරමටම ඇය සැහැල්ලුවෙන් ඒ චරිතය කරනවා. ඒත් ඒ ගැන නම් මනෝජා කිව්වේ මෙහෙම කතාවක්. මගේ යාළුවෝත් එහෙම කියනවා. ඒ මම යාළුවෝ එක්ක හැසිරෙන විදිය. මම හරිම සුහද මිත්‍රශීලී කෙනෙක්. විහිළුවක් කරලා, කෑ ගහලා, සින්දුවක් කියාගෙන සතුටින් ඉන්න කෙනෙක්. එතකොට මම දකින දේ තමා මගේ ජීවිතය හරහා පුංචි කාලේ කෞෂිගේ ගති ලක්ෂණ පෙන්නුම් කළා. මම මගේ අයියා අක්කා එක්ක ගොඩක් රණ්ඩු වුණා. හැබැයි අපි ජීවිතය තුළ ඉස්සරහට එද්දී වයස යද්දී ඒ දේවල් අපෙන් අතහැරෙනවා. ඒ නිසා දැන් කෞෂි සහ මනෝජා කියන්නේ ගොඩක් වෙනස් දෙන්නෙක්.
තාරුණ්‍ය, පවුල් පරිසරය, විශ්වවිද්‍යාලය මේ වටා නිර්මාණ වුවක් නිසා අමතක නොවන අත්දැකීම් ගැන නොවිමසා කොහොමද? ඒත් ලැබුණේ වෙනස්ම උත්තරයක්. මටත් වඩා අමතක නොවන අත්දැකීම් ඇත්තේ රන්දිකට, ලහිරුනිට වගේ මගේ වටේ හිටපු අයට මම නිසා. මොකද මම ගොඩක් සුහදව සැහැල්ලුවෙන් වැඩ කරන කෙනෙක්. කොච්චර පාන්දර රූ ගත කිරීම්වලට ගියත් කෑගහලා කට්ටියවම උද්‍යෝගිමත් කරලා තමා ඉන්නේ. ඒක පොදු ගැන කතා කරන තැන්වලදී මගේ ගැන කියනවත් මට ඇහිලා තියෙනවා. මට වෙලාවක් කියලා නැහැ හැම මොහොතෙම මම ඉන්නේ සතුටින් සැහැල්ලුවෙන්.
මනෝජා කතා කරන්නෙත් හරි පරිස්සමට, ඒ වගේම ඇයගේ විශේෂත්වය වෙන්නේ චරිත තේරීම, ඒ ගැන මනෝජා කිව්වේ මෙහෙම. මම කවදාවත් වාණිජ නිර්මාණයක් කරනවා කියන තැන හිටියේ නැහැ. මම කැමැති කලාත්මක නිර්මාණවලට. “පොදු” වැඩේ භාර ගත්තේ මා එක්ක වැඩ කරලා තියෙන රන්දික අයියා, කලණ අයියා, ප්‍රියන්ත අයියා ඉන්න නිසා කමක් නැහැ මේ වැඩේ කරමු කියන තැනට ඇවිල්ලා තමා මම කළේ. හැබැයි දැන් මට “පොදු” බලන කොට හිතෙනවා වෙනස් රසයක් තියෙනවා කියලා. මේකෙන් පස්සෙත් මට නිර්මාණ කිහිපයකටම කතා කළා. නමුත් මම බැහැ කිව්වා. මොකද මම වැඩිය ආස නැහැ වාණිජ නිර්මාණ කරන්න. මම කොහොමත් තෝරා බේරා ගැනීම් එක්ක වැඩ කරන්නේ, ඒ නිසා හොඳ කලා රසයක් තියෙන නිර්මාණවල ඉදිරියේදී මම ඉඳියි.
ඒ එක්කම වේදිකාව එක්ක තියෙන්නේ මොන වගේ සම්බන්ධයක් ද කියලත් අහන්න හිතුණේ ඇයට වේදිකාවේ අත්දැකීම් ඇති යැයි හැඟුණ නිසාමයි. මනෝජා කියපු විදියට ජානක සුදත් මෛත්‍රී සර් සහ බන්දුල කුරුවිට සර් තමා ඇයව බලෙන් වගේ නාට්‍යය පැත්තට දාලා තියෙන්නේ. පුංචි කාලේ ඩ්‍රාමාවලට අකැමැතියිලු. කාලයක් නාට්‍ය හදාරලා ආයෙම කාලයක් නාට්‍යය අතහැරිලා තියෙන්නේ නර්තනයට යොමු වුණ නිසා. ඊට පස්සේ නැවත නාට්‍යවලට එන්නේ කෙටි නාට්‍ය උළෙලට “හනිමුන්” කියලා කෙටි නාට්‍යයක් කරලා. 2015 දී ඒ වෙනුවෙන් හොඳම නිළිය සම්මානයත් මනෝජාට ලැබිලා. එතැනදී තමා නැවත නාට්‍ය හා රංගකලාව කරන්න ආස හිතිලා තියෙන්නේ.
දැන් මනෝජා එහෙමත් නැත්නම් පොදු හි කෞෂි කියන්නේ බොහෝ දෙනා ආදරය කරන චරිතයක්. ඉතින් මනෝජා ආදරය දකින්නේ කොහොමද කියලත් අහන්න හිතුණා. ආදරය හැමෝටම අවශ්‍ය දෙයක්. අපි හැමෝටම ආදරය කළ යුතුයි වගේම අනිත් අයත් අපිට ආදරය කරනවා නම් හොඳයි. ආත්මාර්ථකාමී කෙනෙක් හිටියොත් සමහර වෙලාවට ඒක වේදනාවක් වෙන්න පුළුවන්. හැබැයි අපිට පුළුවන් නම් පරාර්ථකාමී විදියට ආදරය කරන්න, ඒ කිසිම කෙනෙක්ට වේදනාවක් ලැබෙන්නේ නැහැ. ඔන්න ඔහොම තමා මනෝජා ආදරය දකින්නේ.