දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ සිටින ජපානයේ අග්‍රාමාත්‍ය ෆූමියෝ කිෂීඩා, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී තිබේ.
ඒ ද්විපාර්ශවික සාකච්ඡා සඳහායි.
එහිදී ජපාන අග්‍රාමාත්‍යවරයාගේ මෙම ඉන්දීය සංචාරයේ මතක සැමරුමක් ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් සමරු තිළිණයක් ප්‍රදානය කර තිබේ.
ඒ, සඳුන් දැවයෙන් නිර්මාණය කළ බුද්ධ ප්‍රතිමාවක්.
එය තැන්පත් කර ඇත්තේ ද අලංකාර කැටයම් සහිතව දැවයෙන් නිර්මාණය කරන ලද මංජුසාවක් තුළයි.
බුද්ධ ප්‍රතිමාව පිරිසිඳු සඳුන් ලීයෙන් නිමවා තිබේ.
එය ඉන්දියාවේ ප්‍රවීණ කැටයම් ශිල්පීන් විසින් අත් කැටයමින් නිර්මාණය කර අලංකාර සහ සාම්ප්‍රදායික මෝස්තර යොදා විචිත්‍රවත් ලෙස නිමවන ලද්දක්.
පිළිමයේ දැක්වෙන පරිදි ඉන් නිරූපණය වන්නේ බුදුන් වහන්සේ බෝධි මූලයේ ධ්‍යාන මුද්‍රාවෙහි වැඩ සිටින ආකාරයයි.
සඳුන් ලී යේ බුද්ධ ප්‍රතිමාව නෙලා ඇති දෙසට ප්‍රතිවිරුද්ධ දෙසින් තවත් වෘක්ෂයක් කැටයම් කර ඇතැයි වාර්තා වෙයි.
සඳුන් ගස යනු ඉන්දියාවට ආවේණික වූ ශාක විශේෂයක්.
සියවස් ගණනාවක් පුරා සඳුන් ගස ඉන්දියානු සංස්කෘතියේ වැදගත් අංගයක් වී තිබේ.
මේ අතර බුද්ධ ප්‍රතිමාව තැන්පත් කර ඇති මංජුසාව ද ඉන්දියාවේ සාම්ප්‍රදායික කැටයමින් ඔප් නංවා ඇති බව පැවසේ.
![](http://s3.amazonaws.com/adaderanawebgossip/wp-content/uploads/2018/12/12152648/logo-new-webgossip-2018.jpg)