අම්මලා අනන්ත අප්‍රමාණ දුක් විඳින්නේ දරුවන් වෙනුවෙනි. අපට හමු වූ මේ අම්මාද සිය දරුවන් වෙනුවෙන් කළක් මැද පෙරදිග බැලමෙහෙවරේ යෙදුණාය.
නමුදු ඇය දරුවන් බැලීමට එන විට ඇය සියල්ල අහිමි වූ තිබුණාය.
දැන් ඇගේ පැතුම දියණියගේ ජීවිතය ගොඩ ගැනීමටය. අම්මා මහ පොළව සේය. අහස සේය. අනන්ත වූ දුක් සුසුම් ඇනුම් බැනුම් ඇය ඉවසන්නීය.
ඇය පැමිණ සිටියේ තම ආබාධිත පුතු සමඟය. හැඟීමක් දැනීමක් නැති මිනිසුන් අතර ඇය බලාසිටියේ තම වාරය පැමිණෙන තුරුය.
“කාව හමුවෙන්නද?”
මම ඇගෙන් විමසුවෙමි.
“මං ආවේ දුව බලන්න.”
“ඒ කියන්නේ?”
“මගේ මනුස්සයා නැහැ. මම දරුවෝ හදාගත්තේ බොහෝම අමාරුවෙන්. අපි ගැන බලන්න කිසිම කෙනෙක් හිටියේ නැහැ. පුතා මගේ දෙවැනි කසාදේ.
දුව පළවෙනි කසාදේ. ඒත් දැන් ඒ මිනිස්සු දෙන්නම මට නැති වුණා. උන් දෙන්නම මාව දාලා ගියේ මං ලස්සන මදි කියලා. ඒ දෙන්නාට පස්සේ ගමේ මිනිස්සු මට ඉන්න දුන්නෙ නැහැ.
මං දරුවෝ දෙන්නත් අරගෙන ගමෙන් පිට වුණා. ගමෙන් පිටවෙනකොට දුවට වයස අවුරුදු පහයි. පුතාට අවුරුදු දෙකයි.”
“කොහොම නමුත් මට ඉන්න තැනක් තිබුණේ නැහැ. ගමෙන් ආව දා ඉඳලා අනුන්ගේ අගුපිල්වල හිටියේ. දරුවෝ දෙන්නව ළමා නිවාසයකට බාර දීලා මම රට ගියා. රට රාජ්ජයක යන්න තරම් මං ඉගෙන ගෙන තිබුණේ නැහැ. එත් මං මැදපෙරදිග රටකට ගියා.”
“මොකක්ද රස්සාව?”
“අපිට ඉතිං හොඳ රස්සාවල් ලැබෙන එකක් යැ. මං ගෙදරක වැඩකට ගියේ. මුල් දවස්වල හරි අමාරුයි. එක එක ප්‍රශ්න. කිසිම දෙයක් තේරෙන්නේ නැහැ.
ඒත් මං හැමදේම ඉගෙන ගත්තා. එක දිගට අවුරුදු දෙකක් මම හිටියා. ලංකාවට ආවේ අවුරුදු දෙකයි මාස කිහිපයකට පස්සේ. නමුත් ඇවිල්ලා ඉන්න තැනක් තිබුණේ නැහැ. මං දරුවන්ට බඩු මුට්ටු ගෙනවා. පුතා ටිකක් අසනීපයි. එත් දුව නම් හරි ලස්සනට ලොකු මහත් වෙලා හිටියා. මං මගේ ගමට ගියා. අම්මයි නංගියි විතරයි ගමේ ඉන්නේ.
ඒ වෙනකොට නංගීත් කසාද බැඳලා. මං අම්මව එක්කගෙන ආවා. අම්මගෙන් මං ඇහුවා මගෙ දරුවෝ දෙන්නා බලාගන්න පුළුවන් ද කියලා. අම්මා ඒකට කැමති වුණා.”
ඊට පස්සේ මොකද කළේ?
“මං අම්මට දරුවෝ බාරදීලා පුංචි ගෙයක් කුලියට අරගෙන දුන්නා.
පුතාව තමයි මට ප්‍රශ්නයකට තිබුණේ. දුව නම් හරිම අහිංසකයි. ආයෙත් මං ගිහිල්ලා අවුරුදු තුනක් විතර හිටියා.
දුව ලොකු ළමයෙක් වුණේ මං රට ඉන්න අතරේ. දුවට ඉගෙන ගන්න පුළුවන්. ඒ වුණාත් කවුරු හරි එයාගේ පස්සෙන් ඉන්න ඕන. මට ඕන වුණේ කොහොම හරි ගේ කැල්ලක් හදාගන්න. මං අම්මට හැම මාසෙම මුදල් එව්වා.
එහෙම කළේ මගේ දරුවෝ වෙනුවෙන්. මං දැනගෙන හිටියේ නැහැ. නංගී එයාගේ මිනිහත් එක්ක ඇවිල්ලා මගේ ගෙදර නතර වුණා කියලා අම්මා කිව්වෙත් නැහැ. ඒ ගොල්ලෝ ආවට පස්සේ තමයි හැමදේම නැති වුණේ. ඇත්තම කිව්වොත් මට සල්ලි තණ්හාව තිබුණා.
මං වැඩ කරපු ගෙදරින් වෙන ගෙදරකට මාරු වුණා. එහෙම කළේ වැඩි පඩියක් ගන්න ඕන කමට.”
දරුවෝ කිව්වේ නැද්ද ලංකාවට එන්න කියලා.?
“පුතාට නම් කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. ඒත් දුව ඊට වෙනස්. එයා මට ලියුම් ලිව්වේ ලංකාවට එන්න කියලා. මේ අතර තමයි අම්මා මැරුණේ. අම්මගෙ කටයුතු ඉවර වුණාට පස්සේ තමයි මම ගෙදර ආවේ. නංගීලා ගෙදර පදිංචි බව දැන ගත්තේ එතකොට. නංගීලා ගමේ තිබුණ ගේ විකුණලා.
මොනව වුණත් නංගි ගෙදර හිටපු එක මගෙ හිතට සහනයක් වුණා. අවුරුදු දෙකකින් ලංකාවට එනවා කියලා හිතාගෙන නංගීට දරුවෝ බාර දීලා මං ආයෙත් රට ආවා.”
“ඒ වෙනකොට දුව සාමාන්‍යපෙළ විභාගය ලියලා හිටියේ. එයාව උගන්න ගන්න එක තමයි මගේ එකම බලාපොරොත්තුව වුණේ. නමුත් ඒ බලාපොරොත්තු එකක්වත් හරියට ඉටු වුණේ නැහැ.”
ඇයි ඒ?
“මම දවසක් ලංකාවට එන යාළුවෙකුගේ අතේ දුවටයි නංගිටයි බඩු වගයක් එව්වා.
එයා ඒක දෙන්න අපේ ගෙදර ගිහිල්ලා. ඒ වෙලාවේ එයා දැකලා තියෙනවා අපේ ගෙදර පිරිමි දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්නවා.
ඒ ඉඳපු අය ඉඳලා තියෙන්නේ බීමත්ව. යාළුවා මට කතා කරලා කිව්වා. මං තීරණය කළා ලංකාවට යන්න ඕන කියලා.
එත් මගේ ගමන ප්‍රමාද වුණා. දුව ගැන ආරංචියක් නැතිව ගියා. නංගිට කතා කළත් එයා මට උත්තර දුන්නේ නැහැ.
මේ සිද්ධිය දැනගෙන මාසයකට පස්සේ මං ලංකාවට ආවා. ගෙදර ආවත් නංගියි පුතයි විතරයි හිටියේ. දුව හිටියේ නැහැ. නංගිගේ මිනිහා බේබද්දෙක්. මං දුව නැති බව කියන්න පොලිසි ගියා. දුවව හොයන්න හැම තැනකම ගියා. පන්සල් පල්ලි දේවාල ගානේ ගිහිල්ලා පුජා පැවැත්තුවා. සාස්තර ඇහුවා ගුරුකම් කළා එත් මගේ කෙල්ල ගැන ආරංචියක් තිබුණේ නැහැ. අන්තිමට මට හිතුණා හිර ගෙවල් ගානේ යන්න. මම මං හිතපු දේ හරියටම හරි. මට මගේ දුව හම්බ වුණේ හිර ගෙදරින්. දුවගෙ වයස අවුරුදු දහ අටයි. අනාචාරයේ හැසිරුණ වරදට තමයි දුවව හිරේ දාලා තියෙන්නේ.”
ඇත්තටම දුවට මොකද වුණේ?
“මම දුවව බලන්න දවස් ගානක් හිර ගෙදරට ආවා. ඒත එයා මට මුහුණ දුන්නේ නැහැ. අන්තිමට තමයි එයා මාව හමුවෙන්න කැමතියි කිව්වේ.”
“අම්මේ බාප්පා මාව අමාරුවේ දැම්මා. අම්මා බාප්පා මාව මිනිස්සුන්ට විකුණනවා මං ගෙදරින් පැනලා ගියා.”
දුව මාව දැකපු ගමන් කිව්වේ එච්චරයි. මං දන්නෑ මට මොනාවා වුණාද කියලා. මං හිර ගෙදර ඉඳලා ගෙදර ගියේ නංගියේ මිනිහට හොඳ පාඩමක් උගන්නන්න හිතාගෙන. ඒත් ඒ දෙන්නම ගෙදරින් පැනලා ගිහිල්ලා. කාට කියලා කියන්නද? මට කිසිම හයියක් තිබුණේ නැහැනේ. මං හිතා ගත්තෙ වෙච්ච දේ වුණා කියලා දරුවා හදාගෙන ඉන්නවා කියලා. මගෙ කෙල්ල නිදහස් වෙන්න තව මාස ගානක් තියෙනවා. මං ගේ මාරු කෙරුවා.”
දුව ගෙදරින් පැනලා ගිහිල්ලා කොහොද ඉඳලා තියෙන්නේ?
“අම්මා කෙනෙක් හැටියට මං කොහොමද මේවට උත්තර දෙන්නේ. ඒ පුංචි වයසට ඒ දරුවා විඳලා තියෙන වේදනා මෙපමණයි කියන්න බැහැ.
මට ඕන හැමදේම අමතක කරන්න. මෙහෙ ඉඳලා අපිට සැනසීමෙන් ඉන්න බැහැ. දුවට වුණත් වෙච්ච දේවල් අමතක කරන්න අපහසුයි. ඒ නිසා මං තීරණය කළා දුවවත් රට අරගෙන යන්න. මේ පරිසරයෙන් එයාව දුරස් කළාම සමහර විට එයාගේ හිත හැදේවී.”
එතකොට ආබාධිත පුතාට මොකද වෙන්නේ?
“එයාට කල්පනාවක් නැහැ. වෙන්නේ මොනවද කියලා එයා දන්නේ නැහැ. අපි ළඟ හිටියත් නැතත් එයාට ඒක විශේෂ නැහැ. ඒ නිසා මං හිතුවා පුතාව ආබාධිත ළමයි ඉන්න නිවාසයක නතර කරන්න. දැන් තැනක් හොයාගෙන තියෙන්නේ. පුතාව එතැන නතර කරනවා. මාසයකට මුදලකුත් එවනවා.”
නංගියි මස්සිනාටයි මොකද වුණේ?
“එයාලා ගැන ආරංචිරයක් නැහැ. මං ඒ ගොල්ලෝ ගැන හොයන එකත් අත් ඇරලා දැම්මා. මොකද එගොල්ලෝ ගැන හෙව්වා කියලා තේරුමක් නැහැ. මට හැමදාමත් උරුම වුණේ දුක විතරයි. කවුරුවත් මං ගැන හිතුවේ නැහැ. මං කැත වුණාට හැමෝම මගෙන් ප්‍රයෝජන ගත්තා විතරයි.”
කවදද රටින් යන්නේ?
“දුව එළියට එන්නේ තව මාසයකින්. මං හැමදෙයක්ම සුදානම් කරමින් ඉන්නේ. මට දුකයි පුතා ගැන. එත් කරන්න දෙයක් නැහැ. දුවගේ ජීවිතය බේරගන්න එකයි මට දැන් තියෙන ලොකුම බලාපොරොත්තුව.”