Gossip

කාශ්මීරයේ බිම්මල් වගාව නැංවීමට රජයෙන් නව ව්‍යාපෘතියක්…

ජම්මු කාශ්මීර කලාපය තුළ මේවනවිට බිම්මල් වගාව ප්‍රචලිත වෙමින් පවතී.

ඒ සඳහා වැඩි නැඹුරුවක් දක්වන්නේ තරුණ ප්‍රජාවයි.

කාශ්මීරයේ ගම්මානවල කෘෂිකර්මාන්තය ජීවිකාව කරගත් පිරිස් බිම්මල් වගාව හඳුන්වන්නේ ඉහළ ලාභයක් ලැබිය හැකි වගාවක් ලෙසයි.

ප්‍රාන්ත රජය විසින් බිම්මල් වගාව කාශ්මීරය තුළ ව්‍යාප්ත කිරීම සඳහා වැඩසටහන් කිහිපයක්ම ආරම්භ කර තිබේ.

රජයේ මැදිහත්වීම මත කෘෂි නිලධාරීන් විසින් බිම්මල් වගාව සඳහා යොමු වන ගොවි ජනතාව වෙත අවශ්‍ය තාක්ෂණික පහසුකම් හා දැනුම මෙන්ම ගුණාත්මක බීජ වර්ග ලබාදීම ද සිදු කෙරෙයි.

බිම්මල් වගාව යනු ගම්බද ජනතාවට වැඩි ආදායම් ලබාගත හැකි පහසු වගාවක් වන අතර දුප්පත් ග්‍රාමීය වැසියන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවිය හැකි ලෙස ආදායම් මාර්ගයක් උපයා දීමට සමත් වගාවක් බව බලධාරීන් පෙන්වා දෙයි.

බිම්මල් වගාව යනු සුළු ප්‍රාග්ධනයක් මගින් ආරම්භ කළ හැකි ව්‍යාපාරයක් මෙන්ම ගෘහාශ්‍රිතව ආරම්භ කළ හැකි ව්‍යාපාරයක් වන බැවින් කාන්තාවන්ට ඒ සඳහා පහසුවෙන් යොමු විය හැකි බව කාශ්මීර බලධාරීන් පවසයි.

ඒ හමුවේ බිම්මල් වගාව යනු කාශ්මීරයේ කාන්තාවන් ස්වයං රැකියාවලට යොමු කර ඔවුන්ගේ රැකියා නියුක්තිය ඉහළ නැංවිය හැකි කදිම මාර්ගයක් බව කාශ්මිර බලධාරීන්ගේ මතයයි.

කාශ්මීර කලාපය තුළ බිම්මල් වගාව නංවා ලීම සඳහා බලධාරීන් විසින් “Promotion of Round the Year Mushroom Cultivation” (PRYMC) නමින් වැඩසටහනක් ආරම්භ කර තිබේ.

ඉදිරි වසර 03 ක කාලයේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂික ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත වියදම රුපියල් කෝටි 42 ක් බව කාශ්මීරයේ කෘෂිකර්ම නිෂ්පාදන දෙපාර්තමේන්තුව පවසයි.

මෙම ව්‍යාපෘතිය හරහා කාශ්මීර කලාපයේ බිම්මල් වගාව තුන් ගුණයකින් පමණ ඉහළ නැංවෙනු ඇතැයි අපේක්ෂා කරන අතර එය බිම්මල් වගාවේ විප්ලවයක් වනු ඇති බවට ද කෘෂි බලධාරින් අපේක්ෂාවෙන් සිටී.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!