ජීවත්වනු පිණිස ජීවිතය මර මරා
සුළු මුදලකට බර ඇද ඇද වෙහෙස දරා
සේවය කරන ලදි තිස් පස් වසර පුරා
මිල කළ නොහැක රන් මිණි ඔබෙ බරට කිරා…
බැරිකම නිසා බැරි බර ගෙන කරට නිති
බැරිදා බලන්නට අඹු දරුවෙකු ද නැති
ඔබ වැනි දෙනෝ දාහක් අප අතර ඇති
අඳුරෙහි පිපුණු මල් මෙන් පරලොවට යති….
මේ කවි පෙළ අපට හමුවන්නේ “ජොනි උපහාරය සහ තවත් ඇත්ත කතා” යනුවෙන් නැසි ගිය ප්‍රවීණ ලේඛකයකු මාධ්‍යවේදියෙකු වූ ගුණදාස ලියනගේයන් ලියූ පොතකිනි.
ජොනි යනු බර අදින්නෙකි. අද කාලේ හැටියට නම් නාට්ටාමි කෙනෙකි. 1972 දී දවසක ‘ජොනි’ වෙනුවෙන් පැවැති උපහාර උත්සවයකදී මේ කවි පෙළ ගායනා කර ඇත.
එදා ජොනිලා වෙනුවෙන් සමාජය විසින් යම් ඇගයීමක් කළ ද අද කොටුවේ පිටකොටුවේ පමණක් නොව රටේ ඕනෑම තැනකදි හමුවන නාට්ටාමිලා වෙනුවෙන් කිසිඳු ඇගයීමක් නැත. දෑත් දෙපයේ හයිය ඇති තුරු රස්සාව හිමි ඔවුන්ගේ කතාවයි මේ.
“නාට්ටාමි” (Porter), කුලීකරුවා, නැතහොතක් තැනින් තැනට බර ඔසවා ගෙන යන්නා සිදු කරන්නේ සමාජ සේවාවකි.
එය අප රටට පමණක් නොව ලෝකයේ සෑම රටකම පවතින නිර්ධන පංතියේ බාරදූර රැකියාවකි.
ඔවුහු සිදුකරන්නේ පංති සටනක් නොව ජීවිත සටනකි. රැයක් දහවලක් නොමැතිව සමාජයීය අත්‍යාවශ්‍ය සේවාවෙන් සිදු කරන ලබන සැබෑ සමාජ සේවකයෝය.
උප්පැන්න සහතිකයේ නමට වඩා තමන් අදින බර, ප්‍රදේශය සහ ශරීරයේ හැඩ රුව අනුව නම් පට බඳිනු ලබන්නේ ඒ ඒ ප්‍රදේශයේ කාර්යභාරය අනුවය.
තොග වෙළඳාම් සිදු කරනු ලබන ප්‍රදේශයට අනුව සියලුම බර අදින්නන්ගේ හැඳුනුම් ඡායාරූප මැනිං මාර්කට් හෝ පිටකොටුවේ පොලිසිවල ප්‍රදර්ශනයේ තබා ඇත.
ඒ අනුව වංචනික වැඩ සිදුවන්නේ බොහෝ කලාතුරකින් බව සඳහන් කරයි. කරමතින් බර ඇදීමේ දී කොක්ක දැමීම අනිවාර්යයි. නාට්ටාමිලාට වුවමනා වෙන්නේ කොක්කයි කරත්තයයි පමණි. කරත්ත ලබා ගන්නේ දිනපතා කුලී පදනම මතය. මුදල් ගෙවීම දෛනිකව හෝ සතියට වරක් සිදු කෙරේ.
පිටකොටුවේ මැනිං මාර්කට්හි පලතුරු සහ එළවළු පැටවීම සඳහා එහා මෙහා ගෙන යන නාට්ටාමියෙකු හමු වූයේ ලොරියකට එළවළු ගෝනි කිහිපයක් පටවන අතරතුරය. ඔහු නමින් ජෝෂප්ය. දෙදරු පියෙකි. පදිංචිය වත්තල පල්ලිය වත්තට කිට්ටුවය.
ඔහු තම ජීවිකාව පිළිබඳව විස්තර කළේ මෙසේය.
“මම වයස අවුරුදු පහළෝවේදී මේ රස්සාවට ආවේ. රස්සාව කරන්න පටන් අරන් අවුරුදු තිස්තුනක් වෙනවා.
ඒකාලේ මැනින් මාර්කට් එක මීට වඩා ලොකුයි. සෑහෙන්න වැඩ තිබුණා.
එතකොට දැන් වාගේ තොග මාර්කට් ලංකාවේ හැම තැනම තිබුණේ නැහැ. ඕනෑම කෙනෙක් බඩු ගන්න බඩු පටවන්න ලොරි එන්නේ පිටකොටුවට..
මම රෑ නවය වෙන කොට මාර්කට් එකට එනවා. දඹුල්ල ආර්ථිකයෙන් එන එළවළු බඩු තොග කඩවලට බාන්න ඕනෑ.
උදේ වරුව එළවළු පලතුරු තොග ගන්න වෙළෙන්දෝ එනවා. ඒ අය කඩේ අංකය කිව්වාහම ඒ බඩු අරගෙන ලොරි තිබෙන තැන්වලට ගෙනහින් පටවනවා. දවල් දොළහට විතර ගෙදර යනවා. දවල්ට නිදියලා රෑට රස්සාවට එනවා.”
ජෝෂප් තම කතාව කියාගෙන යන අතරේ මහන්සි අරියි. යළිත් මොහොතකින් කතාව ඇරඹීය.
“කොල්ලා කාලේ මැනිං මාර්කට් එකට ආවේ තොටලඟ ඉඳලා. ඒවා මුඩුක්කු. ලෙඩ රෝගවලින් කිසිම අඩුවක් නැහැ.
අපිරිසිදු ජීවිතේ, හැමතැනම මළකුණු ගඳයි. වැස්සට කැලණි ගඟ ගලනකොට ජීවිතේ එපාවෙනවා.
ඒ කාලේ ප්‍රේමදාස මහත්තයා වැලිගොඩ ගෙවල් දුන්නා. වටපිටාව ටිකක් වෙනස් වුණාට මිනිස්සු වෙනස් වුණේ නෑ.
ඒ සමාජයම තමයි. තොටළඟ ඉන්නකොට මම කුඩුගහන්න පුරුදු වුණා.
කොල්ලා කාලේ මට මුදල්වල වටිනාකමක් තේරුණේ නැහැ. කුඩු පැකට් එකක් රුපියල් පහළොවයි. (ඒ පැකට් එකේ තිබුණේ ගිණිකූරු හැඳි දෙකක ප්‍රමාණයක්). කසාද බැන්දත් කුඩු ගහන එක අත්හරින්න බැරි වුණා. මුදල් හම්බ කළා.
ළමයින්ට, පවුලට කන්න අඳින්න දුන්නා. වැලිගොඩ ජීවිතයට ආයුබෝවන් කිව්වේ වත්තල පොඩි ගෙයක් අරගෙන ආවට පස්සෙයි.
කුඩුගහන එක නතර කළත් අරක්කු වලට පුරුදු වුණා. ඒත් ළමයින්ට ඉගැන්නුවා. මම නාට්ටාමි රැකියාව මැරෙනකම් කරනවා. මේකෙන් හොඳට හම්බ කරන්න පුළුවන්.”
ශිවා පලතුරු පෙට්ටි අදිමින් සිටියදී කතා කිරීමට අවස්ථාවක් ලබා ගත්තෙමි.
මේ ඔහුගේ කතාවයි. අපි කරත්ත අරගන්නේ ගෑස්පහ හන්දියෙ එම්.ජේ. මුදලාලිගෙන්. එයාට කරත්ත දෙදහකට වැඩිය තිබෙනවා.
දවසකට කරත්ත කුලිය රුපියල් සීයයි. මෙතන කරත්ත ඔක්කෝම එම්.ජේ. මුදලාලිගේ. අදින්න තියෙන කෑලි ගණන අනුව කරත්තයකට ගෝලයෙකු කතා කරගන්නවා.
කරත්තයට පලතුරු පෙට්ටි පටවාගෙන යමින් සිටි ශිවා එසේ කීවේය. ඔහුගෙන් තවත් විස්තර ඇසීමේ රුචියෙන් මම ඔහු හඹා ගියෙමි.
ලොරියක් අසළ කරත්තය නතර කළ ශිවා මා සමඟ කතාබහට එක් වූයේ ගෝලයාට රැගෙන ආ පලතුරු පෙට්ටි ලොරියට පැටවීමට සංඥා කරමිනි.
“මම අවුරුදු විසි පහකට වැඩිය නාට්ටාමි රස්සාවේ පිටකොටුවේ වැඩ කරනවා.
අපිව ආණ්ඩුවෙන් ලියාපදිංචි කරලා තිබෙනවා. හැමෝටම අංකයක් තිබෙනවා. ලොරි එන සෑමදාකම අපි වැඩ. මගේ ගම ගම්පොලට එහා.
වතු රස්සාව මුලින් කලාට ජීවත්වෙන්න හරි ආදායමක් නැහැ. කසාද බැඳලා දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. ඉස්කෝලේ යන අය. පවුල වත්තේ වැඩට යන නිසා අපිට පොඩි ගෙයක් තිබෙනවා. සමහර දවස් වලට දෙතුන්දාහක් හොයා ගන්න පුළුවන්. මට්ටක්කුළියේ කුලී කාමරයක නැවතිලා ඉන්නවා සෙනසුරාදා ගෙදර ගිහින් ඉරිදා රෑ පිටකොටුවට එනවා.”
“නාට්ටාමි වගේ හොරුත් ඉන්නවා. හොර වැඩ කරන නාටාමිලාත් ඉන්නවා.
බජාර් එකට එන්ටර්වෙන අය ගැන අපි ඇහැ ගහගෙන ඉන්නේ. මුට්ට කරගහන්න එන්නේ ඉස්කෝලේ ගිය උපාධි ගත්ත අය නෙවෙයි.
අපේ මාර්කට් එකට එන්නේ තොග වෙළෙන්දන් විතරයි. සිංහල දෙමළ මුස්ලිම් අපි සියලු දෙනාම සහයෝගයෙන් වැඩ කරනවා.” ඔහු පවසන්නේ කතාවට නැවතීමක් නොතබමින්.
“මගේ පවුලේ සහෝදර සහෝදරියෝ හය දෙනයි. මම පුංචි කාලෙදීම තාත්තා මැරුණා.
පවුල ගොඩගන්න අම්මා රට ගියා. මම ඉස්කෝලෙන් පැන්නා. එතකොට මට වයස අවුරදු දොළහක් පහළොවක් විතර ඇති. පිටකොටුවේ හරස් වීදියක රෑට නිදා ගන්නවා.
නාට්ටාමිලාගේ කරත්තවලට උදව් කළා. ඒ හම්බවෙන සල්ලි මදි. ඒ කාලේ බඩු ඇද්දේ තට්ටු ලොරිවලින්.
මම උදේ පාන්දර බඩු බාන කොට බිමට වැටෙන අල, ලූනු එකතු කළා. ඒවා විකිණුවා. හම්බවෙන සල්ලි චිත්‍රපටි බලන්න වියදම් කළා.
නාට්ටාමිලගේ පස්සෙන් ගිහින් තමයි බර අදින්න ඉගෙන ගත්තේ. ඒ වගේම කුඩු ගහන්නත් පටන් ගත්තා.
කිහිප වතාවක්ම පොලිසියට හසු වුණා. දෙතුන්පාරක් හිරේ ගියා. පස්සේ තේරුණා ජීවිතේ එක්ක සෙල්ලම් කළොත් වැඩ වරදින බව.
අතමිට සරු නිසා මම කසාද බැන්දා. දරුවෝ දෙන්නයි. ජාඇල පැත්තෙන් ගෙයක් අරගෙන ඉන්නවා. මහන්සි වුණ තරමට හම්බකරන්න පුළුවනි.
මේ රස්සාව කොතරම් නිදහස්ද කියනවා නම් කිසිවෙකුටවත් යටත් නෑ පඩිගන්න අඬන්න ඕනෑ නැහැ.
ඉගෙන ගත්ත නැති එකේ ප්‍රතිල අනුව තමයි දෛවයට රස්සාවල් ලැබෙන්නේ.
කොල්ලා කාලේ අපි පංතියෙන් පැනපු නිසා ඒවායේ බර අපි අවුරුදු ගණනාවකට සිට අදිනවා.
අව්ව වැස්ස අපේ ජීවිතයේ ආදායම වෙනස් කරනවා. අපි අදින කෑලි ගණන මතක තියාගෙන ඒ ඒ තැන්වලට බාන්න ඕනෑ. කෑල්ලක් හරි නැති වුණොත් අපි ඒකට ගෙවන්න ඕනෑ.” පනස් දෙහැවිරිදි ප්‍රේමකුමාර පවසන්නට වූයේය.
තොග කඩවලින් මිල දී ගන්නා කෑලි ගණන අනුව බර අදින දුර තීරණය කෙරේ. බස් නැවැතුම්, ලොරිය හෝ වාහනය තිබෙන තැන බෝධිරාජ මාවතේ සිල්ලර මාර්කට් එකට හෝ ඕනෑම තැනකට අදින බර අනුව ගෙවන ගණන් වෙනස් වේ.
පෙට්ටි, ගෝනි, ප්ලාස්ටික් බහළුම් වෙනුවෙන් රුපියල් විස්සේ සිට ඉහළට මුදල් ගැනේ. මොවුන් කරත්තයක පෙට්ටි, ගෝනි තිහක් තිස් පහකට වැඩිය ප්‍රමාණයක් පටවාගෙන යන්නේය. නාට්ටාමි රස්සාවේ යෙදෙන්නේ පිටකොටුවේ පමණක් නොවෙයි. ගල් වළේදීත් හමුවේ. යකඩ සෙරමික් බර අදින පටවන අය කියා රස්සාවේ වෙනසක් නැත.
මොහොමඩ් සියාම් අපට හමුවූයේ පලතුරු තොග වෙළදාම් කොටසේදීය. එඬේරමුල්ල පදිංචි ඔහුගේ වයස පනස් හයකි. අවුරුදු හතළිහක් පිටකොටුවේ මුට්ටකරගසා තිබේ.
“මගේ ජීවිතයෙන් වැඩි කොටසක් ගෙවිලා ගියේ මාර්කට් එකටමයි. අමාරුවෙන් පවුලක් ගොඩනගා ගත්තා. හොඳට හම්බ කළා. දරුවන් හතර දෙනෙකුට ඉගැන්වුවා. තවමත් මම හොඳට හම්බ කරනවා. මාර්තු මාසයේ මැනිං මාර්කට් එක පෑලියගොඩට ගෙනියනවා. බඩු බාන්න පටවන්න නවීන තාක්ෂණය යොදා ගන්නවා කියලා කියනවා.
එවිට අපිට වැඩ අඩුවෙයි.” සියාම් පවසන්නේය.
නාට්ටාමි රස්සාවට වයස් සීමාවක් නැත. දෑතේ දෙපයේ හයිය තිබෙන තුරු ඔවුන්ට රස්සාව ඇත. ඉඩක් ලද විට මහන්සියට කොහේ හෝ ගෝනියක් මත හාන්සිවන ඔවුන් ඇතැම්විට රාත්‍රිය ගෙවා දමන්නේ කරත්තයක් උඩය. කොන්දේ ආබාධ හෝ වෙනත් රෝගවලින් පෙළුනද සිය දරු පවුල රැකීමට ඔවුහු රැකියාව බැරි අමාරුවෙන් හෝ කරගෙන යති.
අනිල් ලසත් පෙරේරා