වඩේ අළෙවි කර ජීවිතය ගෙන ගිය අකුරණ තෙළඹුගහවත්තේ පදිංචි තිස්නව හැවිරිදි මොහොමඩ් ෆයිසාල් පසුගිය බදාදා පෙරවරුවේ අවධි වූයේ සුපුරුදු රැකියාවේ නිරතව කීයක් හෝ සොයා ගැනීමේ අරමුණ ඇතිවය.
වසර ගණනාවක් මුළුල්ලේ වඩේ සාදා පළපුරුද්දක් තිබූ ෆයිසාල් දිනය ආරම්භ කරන්නේ වඩේ සැකසීමට අවශ්‍යය පරිප්පු ඇඹරීම සඳහා යොදා ගන්නා ග්‍රයින්ඩරය පිරිසිදු කිරීමෙනි.
ග්‍රයින්ඩරය තුළට පොල්කුඩු දමා එහි ඇතුළත පවිත්‍ර කිරීම ඔහුගේ ප්‍රථම රාජකාරියයි.
ග්‍රයින්ඩරය ක්‍රියාත්මක වෙත්දී ඒ තුළට අත දමා පොල්කුඩු වලින් ඇතුළත පිස දැමීම ඇස් පියාගෙන කරන්නට තරම් ෆයිසාල් පුරුදු කාරයෙකි.
එයට හේතුව ඔහු වසර ගනනාවක් තිස්සේ එම කාර්යය කිරීමෙන් ලත් අත්දැකීම් නිසාය. මෙදින ද ෆයිසාල් ඒ කාර්යය ඒ අයුරින්ම කරගෙන ගියේය.
එහෙත් සිදු වූයේ කිසිසේත් අපේක්ෂා නොකල දෙයකි.
වෙනදා පරිප්පු කැබලි බවට පත් කරමින් අඹරා දමන හිත්පිත් මැෂිම මෙදින ෆයිසාල්ගේ අතේ ඇඟිලි අඹරා දමන්නට වුයේ සිදුවන්නේ කුමක්දැයි ඔහුටවත් සිතා ගන්නට ඉඩක් නොතබමිනි. වම් අතේ ඇඟිලි සමඟ අල්ලේ කොටසක් පරිප්පු අඹරන මැෂිමට අසුව ඇඹරී යත්දී ෆයිසාල්ට කළ හැකිව තිබුණු එකම දෙය වූයේ ග්‍රයින්ඩරයේ ප්ලග් එක ගලවා ඊට සැපයෙන විදුලි සම්බන්ධතාව බිඳ දැමීමය.
විශේෂඥ ශල්‍ය වෛද්‍ය සසංක රත්නායක
විදුලිය විසන්ධි වී ග්‍රයින්ඩරය ක්‍රියා විරහිත වෙත්දී ෆයිසාල්ගේ අතේ මැණික් කටුවට පහළින් කොටස සම්පූර්ණයෙන්ම ග්‍රයින්ඩරය තුළ ඇඹරී ගොස් සිරවීම නිසා ඔහු හා පවුලේ උදවිය කළ යුත්තේ කුමක් දැයි සිතා ගත නොහැකිව අදෝනා තබන්නට විය. ඔවුන්ගේ හඬට ඒ උදෑසන අසල්වාසීන් කිහිප දෙනෙකුම ෆයිසාල්ගේ නිවෙසට ගොඩ වුයේ සිදුව ඇත්තේ කුමක්ද කියා බලන්නටය.
සිදුව ඇති දේ දුටු කාගෙත් ඇස් උඩ ගියේය. වේදනාවෙන් පෙළෙන ෆයිසාල්ට දිය හැකි විසඳුම ගැන ඔවුහු සිතන්නට වූහ. ගතවුයේ නිමේශයකි. අසල්වාසීන් කිහිපදෙනෙකු එක්ව ඇඹරුම් යන්ත්‍රයේ අත සිරවී තිබූ කොටස ප්‍රධාන ඇඹරුම් යන්ත්‍ර යෙන් ගලවා ඉවත්කර දැමුහ.
ෆයිසාල්ගේ පවුලේ උදවිය ෆයිසාල්ව මහනුවර රෝහලට ගෙන ආහ.
හදිසි අනතුරට ලක් වූ ෆයිසාල්ව මහනුවර ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ ද විශේෂඥ වෛද්‍ය දුමින්ද හේරත් මහතා ෆයිසාල්ගේ අතේ ඇඟිලි වලට බරපතල ලෙස හානි සිදුව තිබෙන බව දැන තුවාලකරු වහා එම රෝහලේ ප්ලාස්ටික් සැත්කම් අංශයට මාරු කළේය.
එහිදි සැත්කම කිරීමට සියල්ල සුදානම් වී තිබුණ ද වෛද්‍යවරුන් මුහුණ දුන් ප්‍රධානම අභියෝගය වුයේ තුවාලකරුගේ අත ග්‍රයින්ඩරයෙන් පිටතට ගැනීමය. මෙහිදි වෛද්‍යවරුන්ගේ පුර්ව නිගමනය වුයේ මැෂිම තුළ ඇඟිලිද සමඟ ඇඹරී ගොස් තිබූ අත පිටතට ගැනීමට නම් මැෂිම කැබලි වලට කැපීම හැර වෙනත් විකල්පයක් නොවන බවය.
“ඇඹරුම් යන්ත්‍රය තුළින් අත එළියට ගැනීම තමයි අපිට තිබුණ ලොකුම ප්‍රශ්නය.
මේ වගේ ඝන යකඩ කපන්න පුළුවන් උපකරණයක් ශල්‍යාගාරයේ නැහැ. මෙවැනි යකඩ කැපීමට යොදා ගන්නා හයිඩ්‍රොලික් මැෂින් එකක් මහනුවර ගිනි නිවීම් ඒකකයේ තිබිය හැකි බව විශේෂඥ වෛද්‍ය දුමින්ද හේරත් මහතා කළ දැනුම් දීමකට අනුව අපි එතැනට කතා කළා.
ඔවුන් වහා ක්‍රියාත්මක වී නිලධාරියෙකු සමඟ අදාළ උපකරණය රෝහලට එව්වා. මුලින්ම රෝගියා සම්පූර්ණයෙන්ම සිහිනැති කළා. ඉන් පස්සේ තමයි අත සිරවී තිබුණු ග්‍රයින්ඩරය කෑලි වලට කැපීම සිදු කළේ.
මැෂින් එක කැපීම සඳහා පැයක පමණ කාලයක් ගත වුණා.“අතක් ගලවා ගැනිමේ විශ්මකර්ම සැත්කම සිදු කිරීමට ප්‍රධානත්වය ගත් ප්ලාස්ටික් සැත්කම් පිළිබඳ ශල්‍ය වෛද්‍ය විශේෂඥ අමිල සසංක රත්නායක මහතා පැවසුවේය.
ඇඹරුම් යන්ත්‍රයෙන් පිටතට ගත් තුවාලකරුගේ වම් අතේ මහපට ඇඟිල්ල හැර සෙසු සියලු ඇඟිලි වලට බරපතල හානි සිදුව තිබිණි. මැදඟිල්ල හා වෙදඟිල්ල ස්ථාන හතරකින් ද දබරඟිල්ල හා සුලැඟිල්ල ස්ථාන දෙකකින් ද කැඩී බරපතල ලෙස තැලී තිබීම නිසා ඒවා යළි යථා තත්ත්වයට පත් කිරීම වෛද්‍යවරුන් හමුවේ පැවැති විශාලතම අභියෝගය විය.
“තුවාලකරුගේ වාසනාවට ඔහුගේ අතේ ලේ නහර වලට තදබල හානියක් වෙලා තිබුණේ නැහැ. මුලින් අපි කළේ අත හොඳින් පිරිසිදු කිරීමයි. පසුව කම්බි වලින් ඇඟිලි වල බිඳී ගොස් තිබූ තැන් සකස් කළා.
කම්බි දාලා ඇඟිලි සම්බන්ධ කළාට පස්සේ රුධිර සැපයුම සාමන්‍ය පරිදි සිදුවීමට පටන් ගැනීම නිසා අපට බය වෙන්න ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඇත්තටම මේ සැත්කම සාර්ථක වීමට රෝගියාව රෝහලට රැගෙන විත් තිබූ ආකාරයත් බලපෑවා. ගොඩක් අය කරන්නේ මේ වගේ යන්ත්‍රයකට අතක් අහු වුණාම ඒක ගලවන්න උත්සහ කිරීමයි. මැෂින් එක කැරකෙන පැත්තට ප්‍රතිවිරුද්ධ දිශාවට ඒක කරකවලා අත එළියට ගන්න හදනවා.
එහෙම වුණාම අතේ ලේ නහර අනිත් පැත්තට කැරකිලා ඒවාට හානි සිද්ධ වෙනවා.
එවැනි දෙයක් සිදු නොකර යන්ත්‍රය පිටින්ම තුවාලකරුව මහනුවර රෝහලට ගෙනා නිසා ඔහුගේ අතේ ඇඟිලි ටික බේරා ගන්න පුළුවන් වුණා. ලේ නහර වලට හානි වෙලා තිබුණා නම් මහනුවරදී මේ සැත්කම කරන්න බැරි වෙනවා. ඒ වගේ වෙලාවක අපිට සියුම් ශල්‍ය කර්ම සිදු කිරීමට යොදා ගන්නා අන්වික්ෂ පද්ධතියක් (Operating microscope)අවශ්‍යය වෙනවා.
එවැනි පහසුකම් අප සතුව නොමැති නිසා රෝගියා එවැනි පහසුකම් ඇති ස්ථානයකට යොමු කළ යුතුයි. මෙවැනි උපකරණ මහනුවර රෝහලට ලබා ගැනීමට අධ්යක්ෂවරයා මේ වන විට ටෙන්ඩර් කැඳවා තිබෙනවා.“ විශේෂඥ වෛද්‍ය රත්නායක මහතා පවසන්නේ වෛද්‍ය කණ්ඩායම විසින් කරන ලද සැත්කමේ සාර්ථක බව හා ඊට මඟ සැලසුන ආකාරයයි.
ප්ලාස්ටික් සැත්කම් පිළිබඳ විශේෂඥ වෛද්‍ය අමිල සසංක රත්නායක මහතාගේ මූලිකත්වයෙන් සිදුකළ මෙම සැත්කම සඳහා ගත වූ කාලය පැය හයකි.
සැත්කම සිදු කිරීමේ දී තුවාලකරුගේ ඇඟිලි වලට මැහුම් 300 ක් පමණ දැමීමට වෛද්‍යවරුන්ට සිදුව තිබිණි. මේ සඳහා නිර්වින්ද විශේෂඥ වෛද්‍යවරුන් සමඟ පවිත්‍ර නවරත්න, සුරංජිත් අබේරත්න, රෝහිත ගුණරතන යන වෛද්‍යවරුද හෙද සහ සෙසු කාර්ය මණ්ඩල සේවකයින්ද ලබා දී තිබුණේ මහඟු දායකත්වයකි.
අනතුරකින් ශරීර අවයකට බරපතල හානි සිදු වුව හොත් පැය හයක් යන්නට මත්තෙන් ඒ සඳහා ප්‍රතිකාර ආරම්භ කළ යුතු බවත් මේ නිසා රෝගීයා පුළුවන් තරම් ඉක්මනින් පහසුකම් සහිත රෝහලක් වෙත ගෙන ඒම අතිශයින් වැදගත් විශේෂඥ වෛද්‍ය රත්නායක මහතා පැවසීය.
ශරීර කොටසක් වෙන්ව ගිය අවස්ථාවක ඒ වෙන්වූ කොටස ආරක්ෂිතව පොලිතීන් බෑග් එකක දමා අයිස් බහාලුමක් තුළ ගෙන ඒම මගින් වෙන්වූ අවයව කොටස යළි බද්ධ කිරීමට වැඩි අවස්ථාවක් ලැබෙන බවද ඒ මහතා පවසයි.
මහනුවර ශික්ෂණ රෝහලේ අති නවීන පහසුකම් සමඟ අති දක්ෂ වෛද්‍ය කණ්ඩායමක් හා අත්දැකීම් හා නිසි පුහුණුව ඇති හෙද නිලධාරීන්ද සිටින බවත් ඔවුන්ගේ කැපවීම මත මෙම සත්කම මගින් අදාළ පුද්ගලයාගේ අනතුරට පත් අතේ ඇඟිලි සියල්ල බේරා ගැනීමට හැකිවූ බවත් රෝහල් අධ්‍යෂක වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසුවේය.
කෙසේ වෙතත් තමන්ගේම නොසැලකිල්ල නිසා නිමේශයක දී ඇඹරුම් යන්ත්‍රයට හසු වී නැත්තටම නැති වී යන්නට තිබූ මිනිස් අතට ජීවය දීමට මහනුවර මහ රෝහලේ වෛද්‍යවරුන්ගේ දක්ෂතාව ඇගයිය යුතුමය.