Gossip

“ඒක වෙනස් අත්දැකීමක්. ඒක ඉතින් සංසන්දනය කරන්න අමාරුයි..මගේ ජීවිතේ දවසින් දවස වෙනස් වෙමින් තමයි යන්නේ. ” – සාරංග දිසාසේකර

මේ දවස්වල පිරිමියෙක්ගෙන් පැමිණිල්ලක් වේදිකා නාට්‍යය එක්ක තමයි රට වටේ යන්නේ. සැප්තැම්බර් 15 වැනිදා පස්වරු 3.30ට සහ 6.30ට මහජන ප්‍රදර්ශනය සඳහා නාට්‍ය වාර දෙකක් පැවැත්වෙනවා. නාට්‍යයට අප හිතුවාටත් වඩා හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
සති කිහිපයකට කලින් විශේෂයෙන්ම අපේ ක්‍ෂේත්‍රයේ නළු නිළියන් සහ විවිධ කලා ශිල්පීන් ශිල්පිනියනුත් එක්ක මහජන ප්‍රදර්ශනයක් අපි කළා. එහිදී ඉතා හොඳ ප්‍රතිචාර ලැබුණා.
මේ නාට්‍ය කොළඹින් එළියට ගෙනියන්න අපට දැනටමත් ආරාධනා ලැබිලා තියෙනවා. ඒ නිසා මේ නාට්‍ය එක්ක තමයි කාර්යබහුල වෙලා ඉන්නේ මේ දවස්වල.

ඒ කියන්නේ මේ දවස්වල වේදිකාවට වැඩි බරක් තියලාද?
එහෙමත් කියන්න පුළුවන්. හැබැයි පුංචි තිරයේ කටයුතුත් කෙරීගෙන යනවා. මේ දවස්වල ටෙලි නාට්‍යයක් විකාශනය වෙනවා. ඉදිරියේදී මම රංගනයෙන් දායක වුණු ටෙලි නාට්‍ය දෙකක් විකාශය වෙන්න තියෙනවා. තවම ඒ ටෙලි නාට්‍ය විකාශය වෙන්න නියමිත නාළිකාව සහ කාල වකවානුව නම් දන්නේ නැහැ.

පුංචි තිරයට වඩා වේදිකාවේ අගය වැඩියි කියලා හිතෙනවාද?
අගය කෙසේ වෙතත් අත්දැකීම් දෙකක්. ටෙලි නාට්‍ය රඟපෑමෙන් ප්‍රේක්ෂක ප්‍රතිචාරය අපට කෙනෙක්ගෙන් ලැබෙන්නත් පුළුවන්, නොලැබෙන්නත් පුළුවන්. සමහරවිට පෞද්ගලිකව හම්බුණොත් තමයි ඒ ප්‍රතිචාරය සජීවීව දැකගන්න පුළුවන්.
නමුත් වේදිකාව එහෙම නොවෙයි. ප්‍රේක්ෂකකාගාරයෙන් ඒ රංගනය සඳහා ඒ වෙලාවේම ප්‍රතිචාර ලැබෙනවා. ඒක බොහොම සජීවියි.
වේදිකාවේදී සජීවීව ප්‍රේක්‍ෂකයා එක්ක සම්බන්ධ වෙන්න, ඔවුන්ට ආමන්ත්‍රණය කරන්න ලැබෙන නිසා ඒක වෙනස් අත්දැකීමක්. ඒක ඉතින් සංසන්දනය කරන්න අමාරුයි.

සමහර නළුවෝ එකම රාමුවකට කොටු වෙද්දි ඔබට විවිධ චරිත කරන්න ලැබුණා නේද?
ඔව්. ඒ හැම චරිතයකටම ප්‍රේක්ෂකයන්ගෙන් හොද ප්‍රතිචාර ලැබුණා.

මේ වගේ විවිධ චරිත රඟපෑමේදී මට ගොඩක් වේලාවට ඒ අවස්ථා ලබා දුන්නේ ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහත්මයා. එතුමාටත් විශේෂයෙන් ස්තූතිවන්ත වෙන්න ඕන. මොකද ගොඩක් වේලාවට අධ්‍යක්‍ෂවරු අපිව එකම විදියේ චරිතවලට කොටු කරන්න සහ අපෙන් එකම විදියේ රංගනයන් බලාපොරොත්තු වෙන කාලයක විවිධ චරිත ලබා දෙන්න ඔහු තමයි ගොඩක් උත්සුක වුණේ.

කාලෙකට පස්සේ සාරංග රූප රචනාවකිනුත් දකින්න ලැබෙනවා. ඒ ගැනත් කතා කරමු?
චන්ද්‍රා දිසානායක මහත්මයාගේ සහ සශිකා නිසංසලාගේ වසන්ත වර්ෂා ගීතය ගැන වෙන්න ඇති ඔය කියන්නේ. මම ගොඩක් තෝරා බේරා ගෙන තමයි ගීත රූප රචනාවලට සම්බන්ධ වෙන්නේ.
වසන්ත වර්ෂා ගීතය ආචාර්ය රෝහණ වීරසිංහ සංගීතවත් කරපු නිලාර් එම්.කාසිම් රචනා කරපු ගීතයක්. ඉතින් අර්ථාන්විත සහ රූප රචනයත් යම් තත්ත්වයක තියෙනවා කියලා හිතෙන නිර්මාණවලට තමයි මම දායකවෙන්නේ. වසන්ත වර්ෂා හි රූගත කිරීම් කළෙත් ඕස්ට්‍රේලියාවේ. ඒකත් විශේෂත්වයක්. ඒ වගේම චන්ද්‍රා දිසානායක මහත්මයා මගේ හිතවතෙක්. ඉතින් ඒ කාරණා එක්ක තමයි මාත් ශලනිත් දිනක්‍ෂිත් ඒ රූප රචනයට සම්බන්ධ වුණේ.

රංගන ක්‍ෂේත්‍රයට අලුතින් බොහෝ අය එකතු වෙනවා. තමන්ගේ තැන රැකගන්න සාරංග ඒ අය සමඟ තරග කරන කෙනෙක්ද?
මම කොහොමත් එහෙම තරගයට රඟපාන කෙනෙක් නෙවෙයි. මට තරගයක් තියෙන්නේ මගෙත් එක්කමයි. කලින් කරපු දේකට වඩා ඉහළ සහ සාර්ථක දෙයක් කරන්න ඕන කියන තර්කය මා තුළම තිබෙන දෙයක්. වෙන වෙන අයත් එක්ක එහෙම තරග ඇති කරගෙන තේරුමකුත් නැහැ.

අලුත් අය ක්‍ෂේත්‍රයට එන්න ඕන සහ ඒ අයටත් හොඳ අවස්ථා ලැබෙන්න ඕන චරිතාංග රංගනයේ යෙදෙන්න.
සාමාන්‍යයෙන් කාටවුණත් ක්‍ෂේත්‍රයට ආපු මුල් කාලයේ ලැබෙන්නේ කොහොමත් එක අන්තයකට කොටුවෙච්ච චරිත. ඉතින් ඒ චරිතවල ජනප්‍රියත්වයත් එක්ක චරිතාංග රංගනයටත් අවස්ථාව ලැබුණොත් හොඳයි. එහෙම ලැබුණොත් කලාවේ ප්‍රගමනය සඳහා ඉදිරි පරම්පරාව ගැනත් බලාපොරොත්තු තියාගන්න පුළුවන් වෙයි.

සාරංගට වැඩිපුරම රඟපාන්න ලැබුණු රංගන ශිල්පිනිය කවුද?
මම හිතන්නේ වැඩිපුරම මම රඟපාලා තියෙන්නේ ශලනිත් එක්ක.

සාරංග එකට රඟපාන්න කැමැති විශේෂ කෙනෙක් ඉන්නවද?
එහෙම නැහැ. හැබැයි ගොඩක් ප්‍රෙක්ෂකයෝ කැමැතියි ශලනියි මමයි එකට ඉන්න නිර්මාණ බලන්න. අපිට වෙනම ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා. වෙනම එකතු වෙච්ච පිරිසක් ඉන්නවා. ඒගොල්ලන්ගෙන් තමයි මියුසික් වීඩියෝ එකටත් ගොඩක් ප්‍රතිචාර ලැබුණේ.
මම ශලනිත් එක්ක රඟපාන නිර්මාණ ගොඩක් ප්‍රේක්ෂකයෝ අතරට ගිහින් තියෙනවා.

දැන්ම සාරංගගේ ජීවිතේ අලුත් වෙනසක් වෙන්නේ නැද්ද?
මගේ ජීවිතේ හැමදාම දවසින් දවස වෙනස් වෙමින් තමයි යන්නේ. ඉතින් ජීවිතේ එන ඕනෑම දේකට මුහුණ දෙමින් මගේ ඉලක්කවලට යනවා සහ සතුටින් ජීවත් වෙන එක තමයි මගේ අරමුණ.

ඇලුමිනියම් ආශ්‍රිත ගෘහ උපකරණ නිර්මාණය සහ ගෘහ අලංකරණ කටයුතු කරන ව්‍යාපාරයකුත් මට තියෙනවා. ඉතින් ව්‍යාපාර කටයුතුයි මගේ කලා කටයුතුයි කරගෙන සතුටින් ඉන්නවා. වෙන වෙනසක් ගැන තාම හිතුවේ නැහැ.

උපුටා ගැනීම – මව්බිම පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!