කළු සුරුට්ටුවක් දල්වාගත් ප්‍රේමසිරි මාමා දිගු දුම් උගුරක් උරා වා තලයට මුදාහැරියේ ය. දෙතොලේ රැඳුන සුරුට්ටුව ඇඟිලි තුඩුවලින් පොඩිකර කරකවමින් තවත් දුම් උගුරකින් කට පුරවාගත් ඔහු තවේන්ද්‍රන් මුදලාලි දෙසට හැරුණේය.
“ ඈ මුදලාලි අලුත් තැනක් හොයාගත්තයි ?”
දෑත් එක්කොට තම නිකටේ තබා පාර දෙස බලා සිටි තවේන්ද්‍රන් මුදලාලිගේ දෙතොලග ඒ සමඟින් සිහින් සිනාවක් රැඳුණේය.
තවේන්ද්‍රන් මුදලාලිට ප්‍රේමසිරි මාමාගේ පැනයට පිළිතුරක් දීමට අවස්ථාව නොලැබුණේ කඩයට පැමිණෙමින් සිටි බන්දුලසේන මාමා තවත් ප්‍රශ්නයක් යොමුකළ නිසාය.
“ බෙහෙත් ටික බිව්වද? ඔය, ඔය ඉතිං.. මම හැමවෙලේම කියන්නෙ ඕක නේ. බෙහෙත් ටික වෙලාවට බොන්න කිසි උවමනාවක් නෑ. දැන් දැන් දැන් බොන්න ”
පියකු පුතුට කරන තරවටුවක් සේ බන්දුල මාමාගේ අණින් තිගැස්සුණු තවේන්ද්‍රන් මුදලාලිගේ නළල රැළි වැටුණේය. ඔහු වමතින් නළලට කීපවිටක් තට්ටුකරගත්තේ තමාට සිදුවූ අමතකවීම පසක් කර ගනිමිනි.
බන්දුල මාමා දෙස මහත් ආදරයකින් බැලූ තවේන්ද්‍රන් මුදලාලි මේසයේ ලාච්චුව ඇර බෙහෙත් බෑගය අතට ගෙන පෙති එකින් එක තෝරා කොටස් කරන්නට විය.
බන්දුල මාමාගේ ළෙන්ගතු නෝක්කාඩුව අසා සිටිමත් පුදුමයකි. ඒ සිංහල බෞද්ධයකු වූ බන්දුල මාමා ද්‍රවිඩ ජාතික හින්දු භක්තිකයකු වූ තවේන්ද්‍රන්ට මෙතරම් ළෙන්ගතු වූයේ කෙසේ ද යන්න සිතෙන නිසාය.
තවේන්ද්‍රන් මුදලාලිට හෘදයාබාධයක් වැලඳී මාතර මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබද්දී උපස්ථාන කටයුතු කරමින් ළඟ සිට ඇත්තේ බන්දුල මාමා ය. තවේන්ද්‍රන් මුදලාලි රෝගීවීමත් සමඟ පවුලේ සියලු දෙනා යාපනයේ සිට මාතර එන්නට උත්සාහ කළ ද බන්දුල මාමාගේ උපස්ථාන ගැන කියා ඔවුන්ගේ ගමන නවතාගෙන ඇත.
මාතර මිනිසුන් සමඟ තෙව්න්ද්‍රන් මුදලාලිට ඇත්තේ වසර හතළිහක් පුරා නොබිඳුන අපූරු බැඳීමකි. මෙම බැඳීම පුදුමසහගත වන්නේ ජනවාර්ගික අරගල තුනක දී තම සේසත කැරලිකරුවන් අතින් දැවී අළුවී යද්දී ජීවිතය පමණක් බේරාගත් තවේන්ද්‍රන් මුදලාලා යළි යළිත් මාතර ජනතාව සමඟ සිටිමින් ජීවිතය ගොඩනැගූ නිසාය. එය ත්‍රාසය හා භීතිය පිරි ඉතා රසවත් එකකි.
යාපනයේ ඒලාලෙයි කොන්ඩාවිල් පදිංචි තවේන්ද්‍රන් රාමසාමි (61) මහතා මාතරට එන්නේ 1977 සිරිමා බණ්ඩාරනායක රජය සමයේදීය. එවිට ඔහුගේ වයස අවුරුදු 21කි. 10 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය හදාරා සිටි තවේන්ද්‍රන් මාතරට කැඳවාගෙන එන්නේ තම පවුලට දුර නෑකමක් ඇති සිවසම්බු මුදලාලි ය.
“ මම ඉස්කෝලෙ යන්නෙ නැතිව ඉන්නකොට සිවසම්බු මුදලාලි ඇවිත් තාත්තාගෙන් මම මාතරට ගෙනියන්න අවසර ඉල්ලුවා. තාත්තා අවසර දුන්නා. මම ආසාවෙන් ආවෙ. මාතර ආ මට සිවසම්බු මුදලාලිගෙ සුරුට්ටු කඩේ ගෝලයා ලෙස තමයි වැඩකරන්න තිබුණෙ. තව ගෝලයෝ දෙන්නෙක් හිටියා ”
“ කඩේ සුරුට්ටු, දුම්කොළ, බීඩි, හඳුන්කූරු තොග සහ සිල්ලරට විකිණුවා. මට තිබුණේ පාර්සල් බඳින්න. මුල්ම පඩිය මාසයකට රුපියල් හැත්තෑ පහයි. (රු.75) ඒක හොඳටම ඇති. මම මාතරට ඇවිත් මාස දෙකකින් සිංහල දෙමළ කලබලයක් ඇති වුණා.
අපේ කඩේ කඩා විනාශ කළා. ඇඳන් හිටිය ඇඳුම විතරයි ඉතිරි වුණේ. නාගරාජා දොස්තර මහත්තයාගේ ගෙදර ඉඳන් ජීවිතය බේරාගෙන යාපනයට ගියා. මුදලාලි නැවත කඩේ හැදුවා. මමත් නැවත මාතරට ආවා. බයක් ඇති වුණේ නෑ. පසුව මැතිවරණයක් තිබුණා. ඒකෙන් ජේ.ආර්. බලයට ආවා. කලබල අඩුවුණා. අපි දිගටම කඩේ කරගෙන ගියා.
වසරින් වසර ගතවෙද්දී තවේන්ද්‍රන්ට සිංහල කතාකිරීමේ හැකියාව ද ලැබුණි. මෙලෙස වසර කීපයක් ගතවෙද්දී 1983 ජූලි මස රටපුරා ඇති වූ කලබලකාරී තත්වයත් සමඟ මාතර සුරුට්ටු කඩය ගිනිගෙන දැවෙද්දී තවෙන්ද්‍රන්ලා මාතර දුම්රියපොළ පාරේ කතරගම දේවාලයට පැන දිවිරැකගත්තේ යුද හමුදාවේ රැකවරණය මතයි.
“ 83 කඩේ ගිනි තිබ්බට පස්සේ දින දෙකක් කතරගම දේවාලයේ හිටියා. එතැනටත් බෝම්බ ගැහුවා. එදා හිටිය ආමි ලොක්කා හරියටම රාජකාරිය කළා. අපිට කිසි කරදරයක් හිරිහැරයක් වෙන්න දුන්නේ නෑ. පස්සේ සර්වේසස් විද්‍යාලයට ගෙනගොස් තබාගෙන අපිට හොඳට කන්න බොන්න දුන්නා.
“ කඩේ නැවත පටන්ගත්තට පස්සෙ මම ඇවිත් වෙනදාටත් වඩා හොඳින් වැඩකළා. ආදායමත් හොඳට තිබුණා. මගේ පඩියත් රුපියල් දෙදහස් පන්සියය දක්වා වැඩිවුණා.
1986 වසරේ දී තවේන්ද්‍රන් මුදලාලි විවාහ දිවියට එළඹුණි. ඔහුගේ සහකාරිය වූයේ ලොකු මාමාගේ දියණිය වූ වාසුකීය. විවාහ සුව විඳ නැවත මාතරට ආ තවේන්ද්‍රන්ට යළි බිහිසුණු අත්දැකීමක් විඳගන්නට සිදුවූයේ ය. ඒ 1987 ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළ දාය. එදින ද සුරුට්ටු කඩය යළි ගිනිබත් විය. තම සිංහල හිතවතුන්ගේ සහ ආරක්ෂක අංශවල සහායෙන් තවේන්ද්‍රන් මුදලාලි යළිත් ජීවිතය බේරාගත්තේය.
අවස්ථා තුනකදී කඩය විනාශවීම වෙනුවෙන් රජයෙන් හෝ වෙනත් අයගෙන් ආධාර උපකාර ලැබුනේදැයි යන්න තවේන්ද්‍රන් නොදනී. සිවසම්බු මුදලාලි විනාශවී ගිය කඩය තුන්වැනි වතාවටත් යළි ගොඩනැඟුවේය.
තවෙන්ද්‍රන් මුදලාලි ද සුපුරුදු ලෙස යළි වැඩට පැමිණියේ ය. එතැන් සිට කරදරයකින් තොරව වැඩකරගෙන යන අතර 1995 දී සිවසම්බු මුදලාලි මියයාමත් සමඟ ඔහුගේ දරුවන් කඩය බාරගැනීමට අකමැති වූයෙන් එහි හිමිකරුවා වන්නට තවේන්ද්‍රන්ට අවස්ථාව ලබුණි.
“ මම කඩේ භාරගත්තට පස්සේ බඩුවල සල්ලි ටික ටික මුදලාලිගේ ගෙදර අයට දුන්නා. තනිවම වැඩටික කරගන්න බැරි නිසා සිංහල අයෙක් ගෝලයා ලෙස ගත්තා. විවේකයක් නෑ. උදේ හයට කඩේට එනවා. රෑ දහය වෙනකම් වැඩ.
තවේන්ද්‍රන් මුදලාලිගේ ගෝලයා ලෙස වැඩට එක්වන්නේ ඒ වන තෙක් තවේන්ද්‍රන්ගෙන් සුරුට්ටු රැගෙන බයිසිකලයකින් ගමින් ගමට ගොස් විකුණමින් සිටි නාදුගල අයි. ඒ. ප්‍රේමදාස මහතාය.
2004 දෙසැම්බර් 26 වැනි දින ආ සුනාමිය තවේන්ද්‍රන්ගේ ජීවිතය යළිත් අාපස්සට හැරවූ අවස්ථාවක් විය. නාවිමන සුමිත් හෙට්ටිආරච්චි (57) මහතා තවේන්ද්‍රන් මුදලාලිගේ කඩයට නිතර යන එන අයෙකි. ඒ බීඩි ගන්නටය. නිතර මත්වතුර ටිකක් තොලගා සිටින්නකු වන සුමිත් හා තවේන්ද්‍රන් අතර හිතවත්කමට වසර තිස් දෙකකි.
“ මම 1985 ඉඳල කඩේට එනවා. එදත් අදත් කිසිම වෙනසක් නෑ. බොහොම සාධාරණව ව්‍යාපාරය කරගෙන ඉන්නවා. මම තාත්තට සුරුට්ටු ගෙනියන්න තමයි මුලින්ම ආවෙ. හැමෝටම එක හා සමානව සලකන නිසා මම හරි කැමතියි.
සුමිත් කීවේ අහිංසක බැල්මක් ද සමඟිනි. මේච්චර කාලයක් ඉඳලත් ඇයි සිංහල කෙනෙක් බැඳගත්තෙ නැත්තෙ? කතාබහ අතරේ මම විමසුවෙමි.
“ භාෂා ප්‍රශ්නය නිසා මම ඒ ගැන හිතුවෙ නෑ. අම්මලාගේ කැමැත්තට ඉඩදුන්නා.මෙතරම් කරදරවෙලත්, දරුමල්ලො යාපනයේ දාලා මාතරටම වෙලා හිටියෙ කඩේ අතහැර දාලා යන්න හිතුණෙ නැද්ද ? මම යළිත් විමසුවෙමි.
“ ගෙදර අය බලපෑම් කළා. යන්නෙ කොහොම ද? මම ගියොත් මට සුරුට්ටු, දුම්කොළ, බීඩි, හුණු වගේ බඩු සපයන තැන්වල වැඩකරන හාරසීයකට විතර රස්සාවට ප්‍රශ්න ඇතිවෙනවා. ඒ දරුපවුල්වලට මොකද වෙන්නෙ. මම යාපනයෙන් සුරුට්ටු, දුම්කොළ ගත්තට බීඩි ගන්නේ හක්මණින්. ඒ නිසා දිගටම හිටියා.
මම කුලියට ඉන්න මේ කඩ කාමරය අයිති මහත්තයා කාමරය නැවත ඉල්ලනකොට මම ගමේ යන්න හැදුවා. විජයගිරි හෝටලයේ ගෝරින් මහත්තයයි, නිව් මෝටර්ස් ජගත් මහත්තයයි මට යන්න නොදී තැනක් හොයා දුන්නා. මම දිගටම රාත්‍රියට සිටියේ විජයගිරි හෝටලයේ කාමරයක. කවදාවත් සල්ලි ගත්තෙ නෑ.
තවෙන්ද්‍රන් මුදලාලා හත්දරු පියෙකි. පුතුන් තිදෙනෙක් සහ දියණියන් සිවුදෙනකු ඒ අතරය. දියණියන් දෙදෙනකු විවාහවී ඇති අතර බාල දියණිය විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ නිරතව සිටී. පුතුන් දෙදෙනෙක් රැකියාව කරති.
“ මගෙන් පස්සෙ මේක කරන්න කවුරුවත් නැතිවේවි. ළමයි මේවගේ තැනකට එන්නේ නෑ. මගේ නෝනා මාසයක් ඉන්න කියල ඇවිත් දවස් තුනෙන් ගියා. පුතා දින දෙකෙන් ගියා. තවේන්ද්‍රන් මුදලාලි සිනාමුසුව පැවසුවේ ය.