රූමත් උගත් තරුණියක් විසින් ගිහිගෙයින් නික්මගොස් බුදු සසුන වෙත ඇතුළු වී පැවිදි දිවියට ඇතුලත් වීම සම්බන්ධයෙන් අන්තර්ජාලය හරහා පසුගිය කාලයේ ප්‍රසිද්ධියට පත්වුණා.
ඒ කෙසේ වෙතත් මේ සම්බන්ධයෙක් ඇය විසින් පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදී තිබෙනවා.
ඇය උපත ලබා ඇත්තේ යමක්‌කමක් ඇති පවුලකය. මේ පවුල් පරිසරය තුළ කිරිල්ලියක සේ සැහැල්ලුවෙන් ඇය හැදී වැඩී ඇත්තේ සහෝදරියන් දෙදෙනෙකු ද සමඟය. අධ්‍යාපනය සඳහා ඇය ඇතුළත් වූයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ කාන්තා පාසලක් මෙන්ම බුදු දහමෙන් සිය අධ්‍යාපන මඟ සපුරා පෝෂණය කර ගන්නා කොළඹ -7, මියුසියස් විද්‍යාලයෙනි. ඇය විද්‍යාලයේදී දක්‌ෂතා ප්‍රකට කළ දැරියක් වූවාය. සිය අධ්‍යානපන මඟ නිරවුල් කරගත් ඇය, නිතර කල්පනා කරන්නට ඇත්තේ තමන්ගේ සංසාර ගමන පිළිබඳවය.
සසර බිය පිළිබඳව අල්පයක් හෝ දැනුණු යමෙක් තුළ වේද, ඕනෑම තැනකදී, ඕනෑම දෙයකදී, මඩෙන් නෙළුම මතුවෙන්නා සේ ඒ තැනැත්තා තුළ මතු වන්නේ මේ ඝෝර සසරෙන් මිදෙන මඟය. මේ සංසාර වාසනාව ඇය රැගෙන ආවේ යුවතියක් ලෙස දුටු සැණින් ඕනෑම කෙනෙකුගේ ඇස ඇය වෙත යොමුවීමේ රූප සම්පත්තිය සමඟය. ඇය පාසල් යන කාලයේදී මුළුගැන්වී පැත්තකට වී පොතට ඔලුව නමාගෙන සිටි කෙල්ලක නොවූවාය. ඇය සමාජශීලී වූවාය. ගීතයට, නර්තනයට, මෙන්ම බෙර සහ ගිටාර් වාදනය සඳහා සමත්කම් දැක්‌වීය. සසර කලකිරුණු කිසිදු ආකාරයක්‌ඇය තුළ නිරූපණය නොවීය. නමුත් සංසාර පින ඇය තුළින් සෑම මොහොතකම මතු වූයේ පතාගෙන පැමිණි අරමුණ අත නොහරින ප්‍රාර්ථනාවේ බල මහිමය සමඟය.
උසස්‌පෙළ හොඳින් සමත් වී, මොරටුව විශ්වවිද්‍යාලයට ඇතුළු වූ චතු, එහිදී හදාරනු ලැබුවේ, ඇඟලුම් පිළිබඳ උපාධි පාඨමාලාවකි. උපාධිය සාර්ථක ලෙස නිමකළ චතු රැකියාව සඳහා තෝරා ගන්නේ රටේ තිබෙන ප්‍රධානම ආයතනයක් වන මාස්‌හෝල්ඩිංග්ස්‌ය. ඒ අතරේදී ඇයගේ සංසාර ප්‍රාර්ථනය යළි මුදුන් පත් වන්නට වූයේ, සාමාන්‍ය යුවතියන් එම කාලයේදී දකින බොළඳ හීන රැල්ලේ ගසා නොයමින්ය. උතුම් බුද්ධ වචනය ඇය සිය භාවිතයෙන්ම පුරන්නට පටන් ගත්තාය. දැන් ඕ තොමෝ අතුරුගිරියේ ධම්ම සුජාතා මෑණියන්ය.
මේ කතාවේ ඉතිරි කොටස පිළිබඳව බොහෝ දෙනාගේ උනන්දුවක් ඇතිවී තිබුණි. එය ධර්ම මාර්ගය පිළිබඳ උනන්දුවකට වඩා, ඔද වැඩී ගිය ඕපාදූප මානසිකත්වයක් බව කිව හැකිය. “මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න ඇති…” “ඔය ප්‍රේම සම්බන්ධයක් වගේ දෙයක් නිසා වෙන්න ඇති …” වැනි කතාබස් ඒ පිළිබඳව සමහරුන්ගේ මතය වී තිබුණු බව පෙනුණි. එවැනි ප්‍රශ්නයක් මගින් නිරාමිස සුවය සොයා ගිය උත්තමාවියක් පිළිබඳව තේරුම් ගැනීම ම ප්‍රශ්නයකි. එයිට ඔබ්බෙන් වූ සංසාරය පිළිබඳ කතිකාවතක් එම තෙරණියන්ගෙන් සමාජයට ලබා දීමේ අරමුණ පෙරදැරිව දිවයින පුවත්පතේ පළවූ ලිපියකුයි මේ.
පසුගිය දිනවල ප්‍රසිද්ධියට පත්වූ, අතුරුගිරියේ ධම්ම සුජාතා තෙරණිය භද්‍ර යෞවනය විනෝද උයනක් කර ගැනීමේ පිපාසයෙන් ලෞකික ඉලක්‌ක හඹා යන තරුණියන් අතරේ ඇය පිය නැඟුවේ වෙනත් මඟකය. මංගල සාරියෙන් සැරසී, අලංකාර කේශ කල්‍යාණයෙන් බරවී මනාමාලියක් වීමේ මල්බර සිහිනය දෙසට සම වයසේ සෙසු යෞවනියන් ගමන් කරන සඳ ඇය සිය කේශ කලාපය තොර කර ගනිමින් මුඩු හිසක් ඇති කරගත්තාය. සුදු සේලයෙන් සැරසී පෝරු මස්‌තකයට පැමිණෙනවා වෙනුවට කසාවතින් සැරසී මහණ දම් පිරිම සඳහා ඕ නික්‌ම ගියාය. අප ඉදිරියේ උස් ආසන ගතව, සසර කතරෙන් නිවෙන මග සොයා යන ඇය සිටින්නීය.
අන්තර්ජාලයේ සහ මාධ්‍යයේ ඔබවහන්සේ ගැන තොරතුරු පළවෙලා තිබුණා. ඒ විස්‌තර ඔබ වහන්සේ දැක්‌කාද… ?
ඒ ගැන මට ගෙදරින් කිව්වා. මම ඒක දැක්‌කේ නැහැ. මම ඒකෙන් කැලැබීමක් වුණේ නැහැ. එයින් සමාජයට හොදක් වුණා නම් මට පිනක් අයිති වෙයි කියලා හිතුණා.
ඔබ වහන්සේගේ ගිහි කාලයේ සුන්දර රූපය ගැන තමයි බොහෝ දෙනා මවිතය පළකර තිබුණේ… මෙච්චර ලස්‌සන ගැහැනු ළමයෙක් ඇයි මහණ වුණේ කියලා සමාජයේ කතාබහක් ඇතිවුණා…
ලස්‌සන සහ කැත කියන දේ තීරණය වෙන්නේ බලන කෙනා අනුවනේ… ලස්‌සන කියන එක පිටිපස්‌සේ තියෙන දේ සහ ලස්‌සන කෙනෙක් මහණ වුණා කියන කොට ඒගැන හිතන්න ඕනේ ධර්මානුකුලව. ලස්‌සන ගැන අවධානය යොමු කරනවාට වඩා මහණකම පිළිබඳව සමාජයේ අවධානය යොමු වෙනවානම් තමයි වැදගත් වන්නේ.
යුවතියක් සිය ශරීරාංග අතුරෙන් වැඩිම සැලකිල්ල යොමු කරන්නේ වරලසටය. පාර දිගේ ඇති රූපලාවන්‍යාගාර දෙස බලද්දී සහ කෙස් කළඹට එහිදී ලබා දෙන අලංකරණ ප්‍රමාණය දෙස බලද්දී කෙස් කළඹ මුළුමනින්ම කපා දමනවා කියන එක ලෙහෙසි කාර්යයක් නෙමෙයි. මේ අත්හැරීම සංසාර පුරුද්දකට පමණක් ලඝූ කරන්න පුළුවන්ද… ?
මට ඒක ප්‍රශ්නයක් වුණේ නැහැ. මේ සියල්ල තීරණය වන්නේ ඒ දේට ලබා දෙන වටිනාකම් අනුවයි. සමහර අය ඇඳුම්වලට, රූපයට, කොණ්‌ඩයට වටිනාකම් දෙනවා වෙන්න පුළුවන්. ඒ දේවල් අනුව තමයි, සමාජය හා වැඩිම එකිනෙකා ඒ දේවල් ගැන තීරණය කරන්නේ. ගැහැනු ළමයි කොණ්‌ඩයට තමයි වටිනාකම දෙන්නේ. නමුත් ඒ වටිනාකම් අභිබවා යන සුවයක් සතුටක් ගැන හිතන කොට කොණ්‌ඩය කියන දේ තියෙන වටිනාකම මොකක්‌ද…? හිස් කබලේ ආරක්‌ෂාවට තියෙන දෙයක් කියලයි හිතෙන්නේ.”