ඔහු සියල්ල වැරැදි යැයි දැන් අවබෝධ කරගෙන සිටින්නේය.
ඒ නිසා ඔහුගේ සිත දැන් සැහැල්ලුය. ඔහු දැන් තමන්ට වැරැදුණ තැන් දෙස ආපසු හැරී බලා අවසන්ය.
කුඩා කාලයේ දෙමාපිය ආශිර්වාදය, රැකවරණය, ආදරය නිරන්තරවම ලැබුණේ නම් තම ජීවිතය මෙතරම් අකාරුණික නොවන බව ඔහු දැන් හොඳින් දන්නේය.
“පුංචි කාලේ ඉඳලම මං දහදුක් වින්දා. යන්න එන්න තැනක් නොතිබුණ නිසා අන්තිමට නතර වුණේ හිරගෙදර. අද මට හොඳටම තේරෙනවා මං කරපු වරද”. ඔහු සුසුම්ලමින් කියන්නට විය. වයස අවුරුදු හතලිස් පහක් පමණ වූ ඔහු ශක්තිමත් සිරුරකින් යුක්තය.
වසර ගණනාවක් බන්ධනාගාරගතව සිටින ඔහුට තවත් බොහෝ කාලයක් එහි හිඳින්නට සිදු වී ඇත්තේ ඔහුගේ නොහොබිනා ක්‍රියාකාරකම් නිසාය.
ළමා කාලය කොහොමද ගෙවුණේ?
“මට ළමා කාලයක් කියලා එකක් තිබුණේ නැහැ කිව්වොත් හරියටම හරි”.
ඇයි එහෙම කියන්නේ?
“මගේ අම්මා මැරුණට පස්සේ තාත්තා වෙන විවාහයක් කර ගත්තා. ගෙදර ඉන්න පුළුවන්කමක් නැති නිසා මං බස් එකේ නැගලා කොළඹ ආවා. කොළඹ ඇවිල්ලා යන්න එන්න තැනක් දන්නැතිව මම බස් නැවතුම්පොළේ හිටියි. එතකොට මට වයස අවුරුදු හයක් විතර ඇති. කොහොම හරි කොළඹ හිටපු හිඟන මනුස්සයෙක් මට උදව් කළා.
ඒ මනුස්සයා මට කන්න බොන්න දුන්නා. ඒත් ඒ ජීවිතය හරි දුකක්. රෑට තැන් තැන්වල නිදිය ගත්ත මට එක එක්කෙනා අතවර කළා.
හරි හැටි තේරුමක් නැති මට වෙන්නේ මොකක්ද කියලා අවබෝධයක් තිබුණේ නැහැ. දවල් දවසේ මං පුංචි පුංචි වැඩ කළා කොටුව බස් ස්ටෑන්ඩ් එක ළඟ”.
අවුරුදු හයක වයස ඔයා කරපු වැඩ මොනවද?
“ඇත්ත, මට වැඩ කරන්න බැහැ. ඒත් මං එක එක්කෙනාගේ බෑග් උස්සලා බස් එකට ගිහින් දුන්නා.
එතකොට මට කීයක් හරි ලැබුණා. සල්ලිවලින් කරන්නේ මොනවද කියලා මං දන්නේ නැහැ. සමහර වෙලාවට හිඟන්නෝ මගේ සල්ලි බලෙන්ම එකතුකර ගත්තා.
පුංචි මගේ හිත හුඟක් රිදුණා. කොළඹට ඇවිල්ලා සති දෙකක් විතර මේ විදිහට ගෙවෙන්න ඇති.
ඔය අතරේ තමයි මට දවසක් හාමුදුරු කෙනෙක් හමු වුණේ.
මම හාමුදුරුවන්ගේ බෑග් එක ගෙනිහිල්ලා බස් එකට දුන්නා. මම හිටියේ කිළුටු ඇඳුමක් ඇඳගෙන. හාමුදුරුවෝ මගේ දිහා බලාගෙන ඉඳලා ඇහුවා ‘පුතා එනවද මා එක්ක යන්න’ කියලා. මම ලොකු හාමුදුරුවන් සමඟ යන්න කැමති වුණා.
එදා ලොකු හාමුදුරුවෝ මාව දුර පන්සලකට එක්කගෙන ගියා. පන්සලේ ඉන්න මාමා කෙනෙකුට මාව බාර දුන්නා නාවලා පිරිසුදු කරන්න කියලා.
ඒ මාමා වතුර මුට්ටියක් උණු කරලා මාව හොඳට නෑව්වා. මං එදා තමයි ගෙදරින් ආවට පස්සේ නෑව දවස.
එදා මට හොඳට කන්න දුන්නා. ඉන් පස්සේ ලොකු හාමුදුරුවන්ගේ කාමරේ පැදුරක් එලලා නිදියන්න දුන්නා.
මං හොඳට නිදිය ගත්තා. පහුවදා උදේ තමයි මං පන්සලේ ලස්සන දැක්කේ. ඒ පන්සල පුරාණ පන්සලක්. එදත් උදේම අර මාමා වතුර උණු කරලා මාව හොඳට නෑව්වා.
කන්න දුන්නා. ලොකු හාමුදුරුවෝ තාත්තා කෙනෙක් වගේ මට ආදරයෙන් සැලකුවා.
ටවුමට එක්කගෙන ගිහිල්ලා ඇඳුම් අරගෙන දුන්නා. ඉන් මාසයකට විතර පස්සේ ලොකු හාමුදුරුවෝ මාව ඉස්කෝලේ දැම්මා.
ලොකු හාමුදුරුවෝ බොහොම හොඳට සැලකුවත් මට පන්සලේදී වෙනත් අයගෙන් හිරිහැර සිදු වුණා. ඒත් වෙන යන්න එන්න තැනක් නැති නිසා මං ඉවසගෙන හිටියා”.
ඉන් පස්සේ?
“ටිකෙන් ටික මං ලොකු වුණා. ලොකු හාමුදුරුවෝ අපවත් වුණා. තවත් හාමුදුරු කෙනෙකු නායකත්වයට පත් වුණා. ඔය අතර පිටින් ආව පිරිසක් කිව්වා පන්සලේ නිධානයක් තියෙන බව. ඔවුන් මට කිව්වා ඔවුන්ට උදව් කරන්න කියලා.
මං ඊට එකඟ වුණා. ඒත් ඒක පොලීසියට අහු වුණා. ඒ අහුවුණු අය මා ගැනත් කියා තිබුණා. ඒ නඩුව හුඟක් කල් ඇදි ඇදී ගියා. ඇත්තටම ඒකට මං සම්බන්ධයි කියලා ඔප්පු කරගන්න බැරි වුණා. ඒ නිසා මට නිදහස ලැබුණා”.
එතකොට හිරේ එන්න වුණේ ඇයි?
“ඒක කරුමයක් ද කොහේද ? අනේ මන්දා, මට මුකුත්ම හිතාගන්න බැහැ. මං හොඳ මිනිහෙක් නෙවෙයි. ආශාවන්වලට වහල් වෙච්ච කෙනෙක්. පුංචි කාලේ මම අපචාරයට ලක් වෙච්ච දරුවෙක්. ඒත් ලොකු වෙනකොට මං ඒ දේවල්වලට ඇබ්බැහි වුණා. දහම් පාසලට, පන්සලට ආව තරුණ ළමයින්ව මම අපචාරයට ගොදුරු කරගත්තා. මේ බව දැනගත්ත ඒ ළමයින්ගේ අම්මලා මට විරුද්ධව පොලීසි ගියා. උසාවි ගියා. අන්තිමට මට අවුරුදු තිස් අටක දඬුවමකට යටත් වෙන්න වුණා”.
විවාහ වෙලාද හිටියේ?
“විවාහ වෙලා හිටියේ නැහැ. අඩුම තරමේ මට කෙල්ලෙක්වත් නැහැ. මට කෙල්ලො ගැන ආසාවක් නැහැ.
මට මගේ හිත පාලනය කරගන්න බැරිව ගියා. මං විහින් අමාරුවේ වැටුණේ”.
හිරගෙදර ආවට පස්සේ මොකද වුණේ?
“බොරු කියන්න අවශ්‍ය නෑනේ. මං මෙහෙ ඇවිල්ලත් ඒ වැඩේම කළා. ඒ හැම දෙයක්ම වුණේ මුල් දවස්වල. නමුත් ටික කාලයක් යන විට හිරගෙදර පුනරුත්ථාපන වැඩසටහන්වලට යොමු වීමත් සමඟ හැම දෙයක්ම වෙනස් වුණා. මං ඒ දේවල්වලින් ඈත් වුණා”.
“දැන් මං ධර්ම මාර්ගයේ තමයි යන්නේ. මං අරක්කු බොන්න පුරුදු වෙලා හිටියේ නැහැ. කරපු එකම නරක දේ තමයි අපචාරවලට යොමු වුණු එක.
අද ඒවායේ ආදීනව දැනෙන විට මං කරපු හැම දෙයක් ගැනම පසු තැවෙනවා. මං දැන් රෝගීන්ට ඇප උපස්ථාන කරනවා. පෝයදාට සිල් සමාදන් වෙනවා. භාවනා කරනවා. හිරගෙදරින් නිදහස් වෙලා ගිය දවසට කොහේ හෝ දුර පළාතකට ගිහින් මහණ දම් පුරන එක තමයි දැන් මගේ එකම අරමුණ”.