මීරිගම මොට්ටෑවවත්ත ප්‍රදේශයේ පැවැති තම මවගේ සත්දින දානයට සහභාගි වූ අයියා මලෝ දෙදෙනකු විදේශීය මත්පැන් බෝතලයක් පානය කිරීමෙන් පසු ඇති වූ ආසාත්මිකතාවකින් අනතුරුව පෙරේදා (14) දා රාත්‍රි සහ ඊයේ (15) දා අලූයම මීරිගම සහ වරකාපොල රෝහල්වලදී මියගොස් ඇතැයි මීරිගම පොලිසිය පවසයි.
ගල්නෑව” නෑගම්පහ” වෙරම්කුලමේ පදිංචි කේ.ජී. අනුර කොඩිතුවක්කු (අවු 54) නමැත්තා මීරිගම රෝහලේදී පෙරේදා රාත්‍රි මියගොස් ඇති බවත් නෑගම්පහ” දියපැලියාගොඩ පදිංචි කේ. ජී. චිත්‍රානන්ද කොඩිතුවක්කු (අවු 47) නමැත්තා ඊයේ අලූයම වරකාපොල රෝහලේදී මියගොස් ඇති බවත් පොලිසිය පවසයි.
දානමය පිංකම පැවැති නිවස ආසන්නයේ පදිංචි අයකු ලබාදුන් විදේශයක නිෂ්පාදිත මත්පැන් බෝතලය සිව්දෙනකු එක්ව පානය කර ඇති බවත්” රෝගාතුර වූ තවත් දෙදෙනකු මීරිගම සහ අනුරාධපුර යන රෝහල්වල ප්‍රතිකාර ලබන බවත් පොලිසිය වැඩිදුරටත් පැවසීය. එම සිව්දෙනා පානය කළ විදේශීය නිෂ්පාදිත මත්පැන් බෝතලය ලබාදුන් පුද්ගලයා වරාය සේවකයකු බවට අනාවරණය වී ඇති අතර එම පුද්ගලයා නීතිඥ සහාය මත ඊයේ මීරිගම පොලිසියට භාර වී තිබේ.
මත්පැන් බෝතලය පානය කිරීමෙන් අනතුරුව ඇති වූ පපුවේ දැවිල්ලක් හේතුවෙන් මේ පිරිස රෝහල්ගත කර ඇති බවත් එම මත්පැන් බෝතලයේ වර්ගය හෝ වෙන කිසිවක් සඳහන්ව නොතිබූ බවත් පොලිසිය පවසයි.
මියගිය දෙදෙනාගේ මරණ සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණ සහ පශ්චාත් මරණ පරීක්ෂණ ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ අතර ඔවුන් පානය කිරීමෙන් අනතුරුව හිස්ව ඇති බෝතලය රජයේ රස පරීක්ෂක වෙත යවා වැඩිදුර විමර්ශන සිදු කිරීම සඳහා අධිකරණයෙන් නියෝගයක් ලබා ගන්නා බව මීරිගම පොලිසිය පැවසීය.
ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික ද සිල්වා මහතාගේ අධීක්ෂණය මත අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරි ප්‍රභාත් දයානන්ද මහතාගේ උපදෙස් මත මීරිගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.