Gossip

ජනපති ප්‍රේමදාස ප්‍රබල දේවත්වයකට පත්ව ඇති බව හෙළිවෙයි – Photos

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා මේ වන විට ප්‍රබල දේව ආත්මයකට පත්ව සිටින බව මනාව තහවුරු කර ගැනීමට තමන්ට අවකාශ ලැබී ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය දයා අමරසේකර මහතා කියයි.

මෙරට සිටින ප්‍රකට සමාජ විද්‍යා මහාචාර්යවරයෙකු වන ඔහු විවිධ සමාජ සහ ජනමාධ්‍යයන් ඔස්සේ සමාජ විද්‍යාත්මක දැනුම පොදු ජන සමාජයට රැගෙන යාමට පුරෝගාමීව කටයුතු කරන සමාජ විද්‍යාව, මානව විද්‍යාව සහ අපරාධ විද්‍යාව සම්බන්ධයෙන් ග්‍රන්ථ 25 ක් පමණ සම්පාදනය කොට ඇති විද්වතෙකි. සමාජ විද්‍යාව හදාරන සියළුම විද්‍යාර්ථීන්ට ඔහුගේ මෙම පුරෝගාමී දායකත්වය පහසුවෙන් අමතක කරලිය හැක්කක් නොවේ.

ඔහු පවසන අන්දමට විද්‍යාත්මක දත්ත අනුසාරයෙන් සනාථ කළ නොහැකි ආධ්‍යාත්මික ගුප්ත සන්නිවේදන ක්‍රම පවතියි. එබඳු ක්‍රමයකට රණසිංහ ප්‍රේමදාස මැතිඳුන් දිවංගත වීමෙන් පසු ප්‍රබල දේවත්වයකට පත්ව ඇති බව තමන්ට මනා සේ තහවුරු වී ඇතැයි ඔහු කියයි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ මිනිස් සමාජය තුළ විවිධ ස්ථරයන්ට අනුරූපව විවිධ සමාජ කොටස් පවතින්නා සේ විශ්වය තුළද ආධ්‍යාත්මික ස්ථරායනයක් (Spiritual Stratification) දක්නට ඇති බවයි.

භූත, යක්‍ෂ, ප්‍රේත, දේව ආදී වශයෙන් එම ස්ථරයන් හඳුනාගත හැකි අතර ඔවුන් සමඟ සන්නිවේදනය කිරීමේ හැකියාව ලබා ගැනීම ධර්මානුකූල හා ආගමික ක්‍රමෝපායන්ට අනුව දිගු කලක් ප්‍රගුණ කිරීමෙන් ලබා ගත හැකි ආධ්‍යාත්මික ශක්තියකි. විශේෂයෙන් දේවාත්මභාවයන් සමඟ සන්නිවේදනය කිරීමට සාමාන්‍ය පුද්ගලයෙකුට හැකියාව ලැබෙන්නේ භාවනාමය ප්‍රවේශය ඔස්සේ ඔහු සුවිශේෂී තත්වයකට පත්ව ඇත්නම් පමණක් බව මහාචාර්යවරයාගේ මතයයි.

ඔහුගේ මෙම සුවිශේෂී ප්‍රකාශය මත ඒ පිළිබඳව විමර්ශනයක් කිරීමට අපි අදහස් කළෙමු.මහාචාර්ය අමරසේකරයන්ගේ වත්මන් නිවහන පිහිටා ඇත්තේ අතිශය නිහඬ, නිසංසල පරිසරයකය. ආධ්‍යාත්මික කටයුතු සඳහා වෙන් වූ විශේෂිත කාමරයක් ද එහි ඇත. එය බැලූ බැල්මට බුදුකුටියක් වුවත් සාමාන්‍ය නිවෙස් වල පවතින බුදු කුටිවලට වඩා වෙනස් තත්වයක් එහි ඇත. එහි නිතිපතා සිදු කරන බුද්ධාභිවන්දන කටයුතු වලට අමතරව තම සිත ධ්‍යානගත කරවන භාවනාමය කටයුතු ද සිදුකෙරේ.

විශේෂයෙන්ම මෛත්‍රී භාවනාව අධික ලෙස ප්‍රගුණ කිරීමෙන් ඇස, කණ, නාසය, ඇතුළු පසිඳුරන්ගෙන් බැහැරව ලද හැකි අති ඉන්ද්‍රිය ඥාණ ශක්තියක් (Extresensory Perception) තමන් වෙත හිමි වන බවත් එම ශක්තිය තමන් වෙත යොමු වන්නේ දැනට උසස් දේව ස්ථරයක සිටින තමන්ගේ මෑණියන්ගෙන් බවත්, මහාචාර්ය දයා අමරසේකර මහතා ප්‍රකාශ කරයි. එම ප්‍රකාශය ඔහුගේම වදන් වලින් මෙලෙසිනි.

“වැඩි ප්‍රසිද්ධියක් නැතත් මගේ මව අපේ ජන සමාජයේ ජීවත් වූ පරමාදර්ශී කාන්තාවක්. ගුරුවරියක සහ විදුහල්පතිනියක ලෙස සිය වෘත්තීය ජීවිතය ගත කළ ඇය දුෂ්කර පාසලක් වෙනුවෙන් වසර 30 කට ආසන්න කාලයක් කැප කොට බණ මඩුවක් මහ විදුහලක් දක්වා දියුණු කළ, දිළිඳු දරුවන්ගේ ජීවිත සෞභාග්‍යමත් කිරීමට විශාල මෙහෙවරක් කළ කාන්තාවක්.

අද එතුමියගේ එම සේවය අගය කිරීම සඳහා වයඹ අධ්‍යාපන අමාත්‍යාංශය එම පාසල පැන්තැනිගොඩ ‘අයිරා අමරසේකර මහා විද්‍යාලය’ නමින් එතුමියට ගෞරවයක් ලෙස නම් කොට තිබෙනවා.සත්කෝරලයේ මහිලා සමිති ව්‍යාපාරයත් ළදරු පාසල් ව්‍යාපාරයත් 60 දශකයේ ආරම්භ කළ එතුමිය ගැමියන් අතර ජීවත් වූ ගැමි දරුවන්ගේ ජිවිත උසස් කොට ඉහළ තැනකට යොමු කිරීමට තමාගේ මුළු මහත් ජීවිතයම කැප කළ විශිෂ්ට චරිතයක්.

එතුමිය 2000 වසරේ මාර්තු 11 දින මිය ගිය අතර එතැන් සිට අද දක්වා මා එතුමිය වෙනුවෙන් දිනපතා ආගමානුකූල කටයුතු වල නියළී සිටිනවා. විශේෂයෙන් භාවනාමය පිංකම් බුද්ධානුස්සතිය සහ මෛත්‍රී භාවනාව ආශ්‍රය කර ගෙන එතුමිය සිහිපත් කරනවා. එහිදී මට එතුමිය සමඟ සන්නිවේදනය කිරීමේ හැකියාවක් ක්‍රමානුකූලව ලැබුණා. එම හැකියාව ආරූඪයක් නොවන සිරුරට අපහසු නොවන නිශ්චිත සරල කෙටි සන්නිවේදන ලබා දෙන ලේඛණ ක්‍රමයක්.

ඊට අමතරව එතුමියගේ සේවය ඉදිරියට ගෙන යෑම සඳහා 2000 වසරේ සිට මේ දක්වා මා විසින් එම පාසලේ සියළුම දරුවන්ට පොත පත සහ අධ්‍යාපන උපකරණ ලබා දෙන වැඩ පිළිවෙලක් පවත්වාගෙන යනවා.

මා විසින් ආරම්භ කොට ඇති අයිරා අමරසේකර අනුස්මරණ පදනම මඟින් නිහඬව කිසිවකුගේ ආධාර උපකාර මත නොරැඳී විශාල දරු පිරිසකට සේවය කිරීමට මට හැකියාව ලැබී ඇත්තේ එතුමියගෙන් ලැබෙන මෙම අනුග්‍රහය නිසා බව මා තරයේ විශ්වාස කරනවා.”ඒ සම්බන්ධයෙන් අප හා වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය අමරසේකරයන් තමන් ප්‍රායෝගිකව ස්පර්ශ කළ එම ආධ්‍යාත්මික අත්දැකීම අප හමුවේ මෙලෙස ඉදිරිපත් කළේය.

“මෙලෙස ඉහළ දේව ස්ථරයක සිටින තවත් බොහෝ ආත්මයන් සිටින්න පුළුවන්. එහෙත් ඔවුන් ජීවත්ව සිටි කාලයේ ඔවුන් ඇසුරු කළ අය දූදරුවන්, හිතවතුන් ඔවුන් වෙනුවෙන් මුළු මහත් ජීවිත කාලය පුරාවට නැත්නම් දිනපතාම සිහි කිරිමක් භාවනාමය පිං කිරීමක් සිදු කරන්නේ නැහැ. එනිසා ඒ ආත්මයන් මේ සංසාරයේ දී ඥාතීන්ගෙන් මඟහැරී යනවා.

එහෙත් මගේ මවට එවැනි තත්වයක් ඇති නොවීමට මා දිනපතා අඛණ්ඩව පුරා 18 වසරක් තිස්සේ කරනු ලබන මෙම භාවනාමය ක්‍රියාදාමය විධික්‍රමයක් ලෙස බලපෑ බවත් ඒ හේතුවෙන් එතුමිය සහ මා අතර ක්‍රමානුකූල සන්නිවේදනයක් ගොඩනගා ගත හැකි වූ බවත් මට විශ්වාස කළ හැකියි. ඒ සම්බන්ධයෙන් ඊට වඩා යමක් කීමට එය ආනුභාවික දත්ත ආශ්‍රයෙන් අප සමාජ විද්‍යාවේ ඉගෙන ගනු ලබන කාරණා ආශ්‍රයෙන් පැහැදිලි කිරීමට මට බැහැ. එසේ කිරීමට, එසේ විග්‍රහ කර පෙන්වීමට මා තුළ උනන්දුවක් සහ ආශාවක්ද නැහැ.”

එසේ පවසන මහාචාර්යවරයා වැඩිදුරටත් පවසන්නේ දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා දැනට ප්‍රබල දේවාත්මයක් ලබා සිටින බව තමාට මෙම ගුප්ත ආධ්‍යාත්මික සන්නිවේදන ක්‍රමය තුළින් තහවුරුකරගැනීමට ලැබුණු බවකි. එහිදී මහාචාර්යවරයා මෙසේද කීය,“හිටපු ජනාධිපති ප්‍රේමදාස මහතා පිළිබඳව තවමත් සමාජයේ විවිධ කතිකාවන් ඇති වී තිබෙනවා.

ඒ සමහරක් කතිකාවන් මගින් එතුමන්ගේ චරිත ඝාතනය සිදුවන බවක් රහසක් නොවේ. එතුමා මිය යාමට ආසන්න දිනයක එනම් 1993 අප්‍රේල් 30 වෙනිදා කිරුළපන රැස්වීමක දී ඉල්ලා සිටියා ‘අවශ්‍ය නම් මාව ඝාතනය කරන්න. නමුත් මගේ චරිතය ඝාතනය කරන්න එපා!’ කියලා. ප්‍රභාකරන් එතුමා ශාරීරිකව ඝාතනය කළා වගේම අපේම ඇතැම් ජනකොටස් එතුමාගේ චරිතය ඝාතනය කළා; අදටත් ඝාතනය කරනවා.” මහාචාර්යවරයා කීය.

රණසිංහ ප්‍රේමදාස මැතිතුමා සෙසු දේශපාලඥයන් අතුරින් දේවත්වයක් සඳහා උචිත වන්නේ කෙසේද? මම මෙහිදී මහාචාර්යවරයාගෙන් ඇසුවෙමි.

“දේශපාලඥයකු ලෙස ක්‍රියාත්මක වීමේදී පුද්ගලයෙකුගේ සමස්ත ක්‍රියාදාමය තුළ විවිධ චර්යා රටාවන් දැකිය හැකියි. ඒවා හොඳද නරකද කියා නිශ්චිතව තෝරා බේරා ගත නොහැක්කේ ඒවායේ එක්තරා පුද්ගල බද්ධ බවක් පවතින නිසයි.

එහෙත් පොදු වශයෙන් මිනිසාට සතුට ලබාදීමට, මිනිසාගේ ජීවිතය උසස් කිරීමට, වැඩි දෙනෙකුගේ අවධානය යොමු නොවූ අතිවිශාල පිරිසකට සෙත සැලසීමට, යමෙකු යම් දේශපාලකයෙකු යම් මෙහෙවරක් කර තිබේ නම් ඒ මෙහෙවර තාවකාලිකව යටපත් කළ ද සදාතනිකව යටපත් කර නොහැකියි.අප රට පාලනය කළ දේශපාලඥයන් අතරින් ‘පොඩි මිනිහා’ යන වචනය වැඩිපුරම භාවිතා කළේ කුමන පාලකයා ද යන්න කාටත් රහසක් නොවේ.

එය වචනයට පමණක් සීමා නොකළ ප්‍රේමදාස මැතිතුමා ගම්උදාව, ජනසවිය වැනි දුප්පතුන් නඟාසිටුවීමේ වැඩසටහන් තමන්ගේ දිවි දෙවෙනිකොට ක්‍රියාවට නංවා තිබෙනවා. එය එතුමන්ගේ ආත්මීය මෙහෙවරක් මිස දේශපාලන ක්‍රියාවක් නොවේ. ඊට අමතරව වයස අවුරුදු 16 දී ශ්‍රී සුචරිත ව්‍යාපාරය ආරම්භ කළ එතුමා බුද්ධශාසන අමාත්‍යංශයේ නිර්මාතෘවරයා ලෙසද හඳුන්වන්න පුළුවන්.

ඊටත් අමතරව තම ජීවිතයම කලාව වෙනුවෙන් කැප කොට අසරණ වූ කලා කරුවන් වෙනුවෙන් විශ්‍රාම වැටුප් සහ ජීවත්වීමට නිවෙස් නැති කලා කරුවන්ට ‍නිවෙස් ලබා දීමටත් එතුමා පුරෝගාමීව කටයුතු කළා. එහෙත් ඒවා එතුමාගේ ආත්මීය සංකල්ප මිස හුදු දේශපාලනික ක්‍රියාවන් නොවේ. නමුත් විවිධ දේශපාලනික බලවේග මඟින් එතුමාගේ ඒ උතුම් මානුෂික මෙහෙවර යටපත්කොට තිබෙනවා. නමුත් ඒ යටපත්වීම තාවකාලිකයි.

එහිදී ඒ සම්බන්ධයෙන් වැඩි දුරටත් අප හමුවේ කරුණු ඉදිරිපත් කළ මහාචාර්ය අමරසේකරයෝ මෙසේද කීහ. ‘මිනිසා කරන යහපත් දෑ මිනිසුන් සහ අදාල පුද්ගලයින් අගය නොකළද එම යහපත් දෑ විශ්වයෙහි එක්තරා තැනක රැඳී පෙරලා ඔවුනට අවශ්‍ය අවස්ථා වලදී ආධාරක බලයක් ලෙස ක්‍රියාත්මක වනවා. එක්තරා අවස්ථාවක එම යහපත් දෑ ඇසුරෙන් හටගත් ඵලයන් ශක්තියක් බවට පත්ව පෙරලා ඔහුගේ චරිතයට හෝ ආත්මයට ආලෝකයක් එල්ල කරනවා. අප විශ්ව ශක්තිය ලෙස දකින්නේ එයයි. මිය ගිය පසු කෙනෙකු දේවතා ස්ථරයට ඇතුලු වීමට එය ප්‍රබල සුදුසුකමක්.

පසුගිය කාලයේ කතරගම ආදී ප්‍රදේශවල ඇතැම් පිරිස් ප්‍රේමදාස මහතා දේවත්වයෙන් සලකා සංහිඳ වැනි දේවල් එළි කොට පුද පිළිවෙත් කළ බවට තොරතුරු තිබෙනවා. ඒ ඔවුනට ලැබුණු ඒ සම්බන්ධ ගුප්ත සංඥා නිසයි. නමුත් ඒවා සමකාලීන දේශපාලන කුණාටු වලට හසුවී සිඳී බිඳී ගොසින්. ඒ අනුව පුද්ගලයෙකු මනින මිනුම් දණ්ඩ ඔහුගේ ගුණය සහ සේවය නොව පක්ෂ දේශපාලනය බවට පත්ව තිබීම නිසා ප්‍රේමදාස මැතිඳුන්ගේ දේවත්වය තවමත් ප්‍රකට වී නැහැ.

නමුත් වර්තමාන දේශපාලන මඩ ගොහොරුවෙන් යටවී ඇති ප්‍රේමදාස මැතිඳුන්ගේ දේවවත්වය නම් නෙළුම් පොහොට්ටුව කිනම් හෝ කාලයක ඒ මඩ බිඳක්වත් නොතැවරී ඒ ගො‍හොරුවෙන් පිටතට පැමිණ මුළු සමාජයම වර්ණවත් හා සුවඳවත් කරන නෙළුමක් වනු ඇතැයි මගේ මවුතුමිය මට අඟවා තිබෙනවා. ඒ අනුව ප්‍රේමදාස මැතිතුමන් අනාගතයේ එතුමන්ගේ උපන්ගම වන හෑගල්ල මුල්කොට ගනිමින් ‘හෑගල්ලේ දෙවියන්’ නමින් හෝ දේවත්වයට පත්වීමට පුළුවන්. එවැනි දේවාත්වාරෝපණයන් (Deification) සම්බන්ධව මානව විද්‍යාත්මක සාක්ෂි තිබෙනවා.

තර්කය, සහ බුද්ධිය සහ දැනුම ඔස්සේ පමණක් ජීවිතය දකින බුද්ධිමතුන් විශ්ව ශක්තිය සහ අධ්‍යාත්මික කාරණා අභව්‍ය මනෝ මූලික කරුණු ලෙස පොදුවේ පිළිගනු ලබනවා. එය කොතරම් දුරට සත්‍යදැයි විමසා බැලීමට මෙමගින් නිහඬ බලපෑමක් ඇති වෙතැයි මා විශ්වාස කරනවා. ඒ නිසාම මෙය තර්කයෙන්, විද්‍යාවෙන් අප විශ්විවිද්‍යාල වලදී ඉගෙන ගන්නා,උගන්වන පර්යේෂණ විධික්‍රමයෙන් මුලුමනින්ම බැහැර වූ කාරණයක් බව ඒ සමඟම කියන්න කැමතියි.”

මෙහිදී තම මෑණියන් වෙතින් ලැබී ඇති ගුප්ත හැකියාව කුමක්දැයි අප මහාචාර්යවරයාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ මාධ්‍ය හමුවේ ඒවා ප්‍රකාශ කිරීමෙන් අනවශ්‍ය ප්‍රසිද්ධියකට සහ සමාජ කතිකාවකට ලක් වීමට තමාට අවශ්‍ය නොවන බවයි. එමෙන්ම තමන් අනාවැකි කියන්නෙකු හෝ ශාස්ත්‍රකාරයෙකු ලෙස කිසිවිටකත් සමාජය හමුවේ පෙනී නොසිටින බවයි. එසේ කී මහාචාර්ය අමරසේකර මෙසේ ද කීය.

“බොහෝ විට තමාගේ යටිසිතේ නිදන් ගත වී ඇති මනෝ මූලික කාරණා හෝ වසර ගණනාවකට පෙර උපවිඥානය හා බැඳුණු අත්දැකීම් මෙලෙස උඩට මතු වන්නේය යන අදහස හැම තැනටම ආදේශ කරන්නට බැහැ. මිනිස් මනැස හා අනන්ත අපරිමාන විශ්වයේ ක්‍රියාකාරීත්වයන් අතර මෙතෙක් හඳුනා නොගත් සබැදියාවක් නැතැයි කිමට කිසිදු විද්‍යාඥයෙකුට බැහැ. ”

එසේ කී මහාචාර්ය වරයා අවසන් මොහොතේ මෙසේද කීය. “මා මේ විද්‍යාවට ගරහනවා නොවේ. විද්‍යාව අපට අවශ්‍යම දෙයක්. හරියට ජලය වගේ. ජලය පානය නොකොට අපට දින තුනකට වඩා ජීවත් වන්නට බැහැ. ඒ වගේම පවිත්‍රතා කටයුතු සම්බන්ධයෙනුත් අපට ජලය අවශ්‍ය වනවා. අප ආශ්වාස කරන වාතයේත් ජල වාෂ්ප තිබිය යුතුමයි. නමුත් අපට ජලය අත්‍යවශ්‍ය යයි කියා ජලාශයක් තුළ ගිලී කොපමණ වේලාවක් ජීවත් විය හැකිද? විද්‍යාව සම්බන්ධයෙනුත් මට කීමට ඇත්තේ මේ ටිකම තමයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!