මහද්වීප කිහිපයක් හරහා පොළව, දෙබැවී, ඇති බව විද්‍යාඥයන් විසින් පසුගියදා සොයා ගන්නා ලද අතර මේ දෙබෑ වීම ඇල්ජීරියාව හරහා සෑදී ඇති විශාල පැල්මක් තුළින් ගොඩබිමේදී බලා ගැනීමට හැකි බවත් සෙස්‌ස අත්ලාන්තික් සාගර පත්ල හරහා වැටී ඇති බවත් හෙළිව තිබෙනවා.
මේ යෝධ පැල්මට හේතුව අපේ පෘථිවියේ අභ්‍යන්තර මෝල්ටන් මැග්මා ලාවාවලට පිටින් ඇති කබොල්ල හෙවත් ස්‌ථරය සෑදී තිබෙන උප ස්‌ථර හෙවත් Plate විවිධ දිශාවන්ට ගමන් කරමින් තිබීමයි. මෙසේ ගමන් කරන ස්‌ථර ඇතැම් විට එකිනෙකට මුහුණලා ගමන් කරමින් පැමිණ එකට ගැටෙනවා. මේ අනුව යුරෝපය සහ ආසියාව පිහිටි යුරේසියානු Plate එක හෙවත් භූ ස්‌ථරය ඔස්‌ටේ්‍රලියානු භූ ස්‌ථරයක් සමග එකිනෙක යා වීම තව වසර මිලියන 200 කින් සිදුවෙනවා. මෙහි අවසන් ප්‍රතිඵලය වනු ඇත්තේ ඔස්‌ටේ්‍රලියානු භූ ස්‌ථරයේ පිහිටි උතුරු ඇමරිකාවත් යුරේසියානු භූ ස්‌ථරයේ පිහිටි යුරෝපයත් (පෘතුගාලය සහ ස්‌පාඤ්ඤය පිහිටි ඉබේරියානු අර්ධද්වීපය) එක බිමක් බවට පත් වී ඒ දෙක අතර පිහිටි අත්ලාන්තික් සාගරය සම්පූර්ණයෙන්ම අතුරුදන් වීමයි.
උතුරු ඇමරිකාව සහ යුරෝපය එක භූමියක් බවට පත්වීමට තව වසර මිලියන 200 ක් ගත වුණත් ඒ සඳහා වූ ක්‍රියාවලිය දැන් ඇරඹී තිබෙනවා. පෘතුගාලයේ ලිස්‌බන් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් අත්ලාන්තික් සාගරය හරහා ඇති දැවැන්ත පැල්මෙහි සිතියමක් දැනටමත් නිර්මාණය කර තිබෙනවා. මේ පිළිබඳ නැෂනල් ජියොග්‍රැෆික් සංගමය විශේෂ වාර්තාවක් සකස් කර ඇති අතර එමගින් කියෑවෙන්නේ පෘථිවියේ Plate දෙකක් එකිනෙකට මුහුණලා විත් ගැටී තෙරැපීමක් ඇති කරන විට වඩා ශක්‌තිමත් Plate එක දුර්වල Plate එක යටින් ඇති ස්‌ථරය විදගෙන ගමන් කරන බවයි. එවිට, දුර්වල Plate එක ක්‍රමයෙන් එසැවෙනවා. එය විශාල කඳුවැටියක් හෝ පස් වැටියක් ලෙස සැතපුම් දහස් ගණනක් දිගට දැක ගැනීමට හැකියි. දැනට ඇල්ජීරියාව හරහා මේ වැටියෙහි ආරම්භක අවස්‌ථාව දැක ගැනීමට පුළුවන්. වර්තමානයේදී පැල්මක් ලෙස පෙනෙන එය තව වසර මිලියන ගණනකට පසු එය ක්‍රමයෙන් පැලීම් රේඛාව දිගේ පොළව තුළටම කඩා වැටෙනවා.
මේ පැල්ම පිළිබඳ පුවත මේ වසරේ ජුනි මස 6 වැනිදා ප්‍රකාශයට පත් වු Geology නමැති ජාත්‍යන්තර සඟරාව විසින් වාර්තා කරනු ලැබුවා. මේ ක්‍රියාවලිය දිගින් දිගටම සිදුවෙන අතර තව වසර මිලියන දහසක් පමණ ගත වීමේදී පෘථිවියේ සියලුම ගොඩබිම් එකතු වී තනි භූමියක් සෑදෙන අතර ඒ භූමියට පොදු තනි සාගරයක් පහළ වනවා ඇති. මේ ක්‍රියාවලිය පෘථිවිය පහළ වූ දා පටන් මේ දක්‌වා ගතවූ වසර බිලියන 4 තුළ අඩුම වශයෙන් තුන් වරක්‌වත් සිදුවී තිබෙනවා. අවසානයට සෑදුණු තනි භූමියට හෙවත් සුපිරි මහාද්වීපයට අප කියුවේ පැන්ජියාව කියලයි. මෙවර සෑදෙන සුපිරි මහාද්වීපයට අනාගත ශිෂ්ඨාචාරය විසින් සුදුසු නමක් යොදනු ලබනවා ඇති.
පෘථිවිය හරහා සෑදී ඇති නව පැල්ම ගැන පර්යේෂණය මෙහෙය වන්නේ ලිස්‌බන් විශ්වවිද්‍යාලයේ ජොආඩ් ඩුවාරුත් නමැති පර්යේෂකයායි. අනාගතයේදී බිහිවන සුපිරි මහද්වීපය පෙනුමෙන් පැන්ජියාව හා සමාන වනු ඇති බවයි ඔහුගේ මතය.
අත්ලාන්තික් සාගර පත්ල හරහා තිබෙන පැල්ම වැටී ඇත්තේ පෘතුගාලයට නිරිත දිගින් සැතපුම් 120 ක් දුරින්. කඩින් කඩ ඇතිවුණු පැලුම් සමූහයක් වන මෙහි දිග සැතපුම් 180 යි. පැල්ම හටගෙන ඇත්තේ යුරේසියානු භූ ස්‌ථරය මත යෑයි කීවොත් වඩා නිවැරැදි. සමස්‌ත යුරෝපයටත් ආසියාවේ වැඩි ප්‍රමාණයකුත් මේ යුරෝපීය භූ ස්‌ථරයට හෙවත් Plate එකට අයත් වෙනවා. මේ අනුව තව කලකට පසු යුරේසියානු භූ ස්‌ථරය දෙකඩ වෙනවා. පෘතුගාලයට යාබදව භූ ස්‌ථරයෙහි පැල්මක් ඇතිවීමේ සූදානමක් තිබෙන බව විද්‍යාඥයන් දිගු කලක පටන් සැක කළා. මේ ප්‍රදේශය අතීතයේ පටන් භූ කම්පන සහ වෙනත් විචල්‍යතාවන් රැසකට පාදක වූ භූමියක්. උදාහරණක් වශයෙන් 1755 දී පෘතුගාලයේ ලිස්‌බන් නුවර විශාල භූමිකම්පාවක් හට ගත්තා. එය එකල මිනිස් ජීවිත සහ දේපළවලට විශාල හානි ඇති කළා. මෙහි බලය රිච්ටර් මාපකයේ 8.7 ක් සටහන් කළ හැකි තරම් ප්‍රබල බව පසුගියදා හෙළි වුණා. (1755 දී රිච්ටර් මාපකය සොයාගෙන තිබුණේ නැහැ.) මේ වර්ගයේ භූ කම්පන පසුගිය කාලයේදී පැසිෆික් කලාපය පිහිටි පැසිෆික් භූ තලයේත් සිදු වුණා. මේ ප්‍රදේශය හඳුන්වන්නේ ගිනි වළල්ල හෙවත් Ring of Fire ලෙසයි. එයට එම නම ලැබී ඇත්තේ ලෝකයේ දරුණුම සහ වඩාත්ම ක්‍රියාකාරී යමහල් මේ ප්‍රදේශයේ පවතින නිසයි. වසර 2011 දී මේ ප්‍රදේශයේ හටගත් භූමි කම්පාවක් නිසා දරුණු සුනාමියක් ඇති වුණා.
ලිස්‌බන් විශ්වවිද්‍යාලයට අනුයුක්‌ත ජොආඩ් ඩුආරතේ පර්යේෂකයා කියන විදියට පසුගිය වසර 20 පුරාම ඔහු ඇතුළු කණ්‌ඩායම ගිනි වළලු ප්‍රදේශයට අයත් සාගර පත්ලේ සිතියම් සකස් කර තිබෙනවා. යුරේසියානු භූ ස්‌ථරයේ ගිනි වළලු ප්‍රදේශය සෑදී ඇත්තේ විශාල ඝනත්වයක් ඇති පාෂාණ ස්‌ථරයකින් දැනට තිබෙන පැල්ම වර්ධනය වූ පසු ඒ ස්‌ථරය දෙකඩ වී වඩා බර කොටස පෘථිවි මධ්‍යයට ගිලා බැසීමට පටන්ගනු ඇති. උතුරු ඇමරිකාව සහ යුරෝපය එකතු වන්නේ මෙහි ප්‍රතිඵලයක් ලෙසයි. එවිට අත්ලන්තික් සාගරය යන එන මං නැතිවී ලෝකයේ වෙනත් සාගරවලට එකතු වේවි.
එයින් පසු අප්‍රිකානු මහාද්වීපය උතුරු ඇමරිකානු යුරෝපීය භූමියට එකතු වීමට නියමිතයි. එහි ප්‍රතිඵලය වන්නේ මධ්‍යධරණී සාගරයත් අතුරුදන් වීමයි. එහි ජලයත් ලෝකයේ වෙනත් සාගරවලට එකතු වෙනවා. ඊළඟට එසේ එකතු වූ තැන හිමාලය කඳුවැටිය වැනි විශාල කඳුවැටියත් නිර්මාණය වනවා.