දෙවැනි ඉනිම කියන්නේ රසික හදවත්වල ආදරය දිනාගත්තු ලංකාවේ අංක එකේ ටෙලි සිත්තම.
මේ ටෙලි සිත්තම සමන් එදිරිමුණිගේ සුපිරි හැකියාවෙන් ලියැවුණු අපූරු කතාවක්.
ඔහු සිදුකළ සමහර ප්‍රකාශ නිසා අන්තර්ජාලයේ ලොකු කතාබහක් ඇතිවුණු අවස්ථාද තිබුණා.
මේ සමන්එදිරිමුණි සමඟ සිදුකළ සුහද පිළිසදරක්.
දෙවැනි ඉනිමට දෙවැනි පාරත් ජනප්‍රිය ටෙලි නාට්‍ය සම්මානය හිමි වුණා. මොකද හිතෙන්නේ?
ඒක එහෙම වෙන බව දැනගෙන හිටියා. සතුටු වෙන්නත් බලාගෙන හිටියා. නමුත් සම්මානය ලැබෙන්න කලින්ම ඒ සතුට වතුරේ ගියා වගේ දැනුණා.
සම්මාන උළෙල පැවැත්වුණේ 20 වැනිදා. මම ඒ අදහස අතෑරියා 14 වැනිදා වෙද්දී.
ඒ මොකද?
එස්.එම්.එස්. මත විමසුම කැලේ දුවනවා කියලා හොඳටම දැනුණා. මිනිස්සු වැඩිපුර බලන්නෙ නැති ටෙලි නාට්‍යයක් හිටපු ගමන් යම් කතා බහක් තියෙන ටෙලි නාට්‍ය ගණනාවක් පසු කරගෙන එක දවසින් මනාප 20,000ක් අරන් අංක එක වුණා.
අනික් කාරණය ජනප්‍රියම නළුවාට හිමි සම්මානයට සාමාන්‍ය ජන විඥානය හැසිරෙන විදිහ අපිට තේරෙනවනේ. දැනෙනවනේ. පාරේ ගියත්, බස් එකේ ගියත් කඩපිළට ගියත් හැමෝම කතා කරපු නළුවා තුන්වැනි තැනට වැටිලා තිබුණා. ඒ ගැන සම්මාන උළෙලේ ෆේස්බුක් පිටුව තුළම මිනිස්සු සියයට අනූඅටක් පමණ ෙදාස් කියල තිබුණා. ඒක තමයි ජනමතය හැසිරුණ විදිහ. ඉතින් මට සම්මාන උළෙල ගැන විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳුණා.
රවීන් කනිෂ්කට සම්මානයක් නොලැබුණු එක ගැන එදිරි ඉන්නේ කලකිරීමෙන් වගේ?
ඔව් ඉතින්. රවීන් කනිෂ්ක නෙමෙයි වෙන නළුවෙක් එතැන හිටියත් ඒ කලකිරීම එනවා.
දක්ෂයාට නිසි ඇගයීම නොලැබුණාම, සුදුස්සාට සුදුසු දේ නොලැබුණාම කලකිරෙන්නෙ නැද්ද. ඉතින් මේ ලංකාවේ සිස්ටම් එක දැන් දුවන විදිහනේ.
ඒ නිසා ඒවට ලොකුවට බලපෑම් කරන්න තරම් බලයක් කලාකරුවන් වන අපිට නෑ කියන එකයි මගේ මතය. මේ සිස්ටම් එකට අභියෝග කරනවා නම් කළ යුත්තේ දීර්ඝ කාලීන සැලසුම් මඟින්.
එදිරි සුමති සම්මාන උළෙල වර්ජනය කළේ ඔය නිසාද?
ඔව්. එක අංකයකින් ඕන තරම් එස්.එම්.එස්. ගහන්න පුළුවන් සම්මාන උළෙලවල් වර්ජනය කරනවා කියලා මම හිතුවා.
මං හිතන්නෙ වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍යයේ පිටපත් රචකයාව සම්මාන උළෙලට ගෙන්වා ගන්න ඔවුන් අපොහොසත් වුණා.
ඒක ඊටත් එහා යයි කියලා මම හිතුවේ. නමුත් හැමෝම මං වගේ නෑ. ඒ වගේම තමයි හැමෝම මං වගේ විය යුතුත් නෑ. ඒක මගේ තීරණය.
මං ඒ තීරණ ලෝබ කමක් නැතිව ගත්තා. මිනිස්සු කල්පනා කරන්න ඕන එක දෙයයි. තමන්ගේ නමට දෙන සම්මානයක් මිනිහෙක් ඇයි එපා කියන්නෙ කියලා.
ඒකට ලොකු හේතුවක් තියෙනවා. ඒ හේතුව ගැන කල්පනා කරන්න කියලයි මං කියන්නෙ.
නමුත් දෙවැනි ඉනිමේ කණ්ඩායම ඒ සම්මානනීය අවස්ථාවට සහභාගි වුණා. ඔබට කණ්ඩායමෙන් බලපෑමක් නැද්ද මේ වර්ජනය ගැන?
මට කිසි කෙනෙක් බලපෑම් කළේ නෑ. මම කිසිවෙක්ට බලපෑම් කරන්නෙත් නෑ. කෙනෙක්ගේ තීරණයකට බලපෑම් කරන්න තව කෙනෙක්ට බෑ. මම හැම කෙනකුගේම තීරණවලට ගරු කරනවා. හැබැයි එකඟතා ගැන යම් යම් නොගැළපීම් තියෙනවා. ඒවා එහෙම තමයි. ඔවුන් එයට සහභාගි නොවුණා නම්, සම්මාන උළෙලවල්වල තීරණ ගැනීමේ සාධාරණත්වය යහමඟට ගැනීම සඳහා අපිට රතු එළියක් දැල්විය හැකිව තිබුණා කියන විශ්වාසය මගේ තිබුණා. හැබැයි ඒක අවාසනාවන්ත ලෙස මඟහැරුණා.
ඔබ එස්.එම්.එස්. සම්මාන පිළිගන්නේ නැද්ද මින් පස්සේ?
එක් අංකයකින් එක් මනාපයක් කියන තර්කයට මම එකඟයි. අඩුම තරමින් එක් අංකයකින් මනාප 5ක්. බැරිම නම් 10ක්.
හැබැයි මේක එහෙම නෙමෙයි. මනාප ලක්ෂ ගණනක්…? වෙන්න පුළුවන්ද? එක් අංකයකින් එවිය හැකි මනාප ප්‍රමාණය කුඩා ප්‍රමාණයකට සීමා කරන්න ඕන. ඒක මං පිළිගන්නවා.
කලින් සම්මාන උළෙලෙත් එහෙම නේද සම්මානය දුන්නේ. ඒත් ඔබ ඒක පිළිගත්තානේ?
ඔව්. ඒ වෙලාවෙත් ඒ අදහස තිබුණා. ඒ ගැන කල්පනා කරමින් සහභාගි වුණා. දැකපු ගමන්ම කුපිත වෙන්න ඕන වුණේ නෑ. නමුත් එකම වරද වරදක් බව දැන දැන දෙවරක් කිරීම දරුණු වරදක්. මා එයින් වැළකී සිටියා.
හැඳුනුම්කමට, යාළුකම්වලට චාන්ස් දෙන්නේ නැති කෙනෙක්ද එදිරි කියන්නේ?
අපි යාළුවන්ට උදවු කරගන්නවනේ රස්සාව තුළදී.
නමුත් අපි රස්සාව කැලේ යන්න ඇරලා උදවු කරගන්නෙ නෑනේ. කාටත් කරදරයක් නොවන පරිදි හැකි උදවුවක් කරනවා.
අමනුෂ්‍යයෙක් නෙමෙයිනේ මං. කරන උදව්ව නිසා ක්ෂේත්‍රයටත් ඔහුටත් අපේ නිර්මාණවලටත් ප්‍රගමනයක් තියෙන්න ඕන. එහෙම උදවු කරනවා.
සිඳු ජනප්‍රිය අවස්ථාවේදී ඔබ ඒක අතහැරලා දැම්මා.
නමුත් තවමත් සිඳු එක්ක ජනතාව ඉන්න බව පේනවා. දැන් සිඳුගේ ගමන ගැන ඔබට මොකක්ද හිතෙන්නේ?
ඒ ගැන කතා කිරීම වෘත්තීමය වශයෙන් මට දැන් අදාළ නැති කාරණයක්. සිඳු ගැන මට අතීතයෙන් වචනයක් අරන් කියන්න පුළුවන්. සිඳු කියන්නෙ ලංකාවේ ටෙලි නාට්‍යය ක්ෂේත්‍රයේ නවතම හැරවුම් ලක්ෂ්‍ය ඒක පිටපත් රචකයෙක් ලෙස මගේ ආගමනය. ටෙලි නාට්‍යයක් ලෙස දෙරණ නාළිකාවට වාසනාව කැන්දාගෙන ආපු නිර්මාණය. ඊට දායක වෙන්න ලැබීම සතුටක්. එය හැකිතාක් කාලයක් ජනතාව අතර තියෙන්න ඕන. ඒ නිර්මාණය හරියට මට මගේ දරුවෙක් වගේ.
සිඳුගෙන් පස්සේ එදිරිගේ දෙවෙනි දරුවා වුණු දෙවෙනි ඉනිමත් යම් හෙයකින් අතරමඟ අතාරින්න වුණොත් ඒකටත් සූදානම්ද?
අත්හැරීම් නම් හොඳටම පුරුදුයි. නමුත් දෙවෙනි ඉනිම අත්හරින්න මට නිර්මාණය පැත්තෙන් කිසිම හේතුවක් නෑ තවම. එය කතාවක් විදියට තවම මා තුළ ලියලමින් පවතිනවා.පුළුවන් තරම් ලියලා, තවදුරටත් ලියන්න දෙයක් නැති වුණාම එය මා ලියන එක නතර කරනවා. වට සීමාව දන්න නිසා කියන්නෙ, දෙවෙනි ඉනිම කියන්නෙ විශාල කතාවක්.
ඕනෑම දෙයක් කාලයක් ගතවෙනකොට රහ නැති වෙනවා. කතාව ඇදෙද්දී තිබ්බ රහ ප්‍රේක්ෂකයන්ට නැති වෙයි කියලා හිතෙන්නේ නැද්ද?
ඕනම දෙයක් එහෙම තමයි. හැබැයි සමහරු කතා නතර කරන්න කියලා කියන්නෙ රහ නැතිවම නෙමෙයි. ඒවා දිගින් දිගට යෑම ක්ෂේත්‍රයට කරදරයක් නිසා. මම ඒ කීම් නම් අහන්නෙ නෑ. මාව විශ්වාස කරන්න. මට රහක් දැනෙන්නෙ නැතිව මටම ලියන්න බෑ. මට දැනෙනවා දැන් මේක රහද නැද්ද කියලා. රහ නැති බව දැනෙනකොට නතර කරනවා. ලෝබකමට ඇදන් යන්නෙ නෑ. මොකද කතාවක් නතර කරලා තව කතාවක් පටන් ගන්න ශක්තියක් මට තවම තියෙනවා.
එදිරි මෙගා විතරද ලියන්නෙ?
කොටස් 100ට වඩා අඩුවෙන් අවසන් වන ටෙලි නාට්‍ය කිහිපයක් ලිවීමේ උනන්දුවක් තියෙනවා. ඉදිරියේදී ඒ ගැනත් හිතලා බලනවා.
ආරාධනා ලැබිලා තියෙනවද?
අපොයි ඔව්. මගේ ප්‍රමාදය තියෙන්නෙ.