දුර්ලභ ගණයේ දැඩි විකිරණශීලී මැණික් වර්ගයක් වන ඒකනයිට් වර්ගයට අයත් විශාල මැණිකක් වැලිමඩ ප්‍රදේශයෙන් හමු වුණා. එය ලොව විශාලම ඒකනයිට් මැණිකයැයි සැළකෙන මැණික් ගල මෙන් තුන් ගුණයකටත් වඩා විශාල වීම විශේෂත්වයක්.
මෙම දුර්ලභ ගණයේ මැණික් ගල පිලිබඳ රත්නපුර ප්‍රදේශයේදී මාධ්‍යයට හෙලිකළේ එය මිලදී ගත් එම ප්‍රදේශයේ වෙළඳ ව්‍යාපාරිකයෙකුයි. වැලිමඩ ප්‍රදේශයේ කලුගල් කොරියකින් මෙම මැණික හමුවී ඇති අතර ඔහු එය කැබලි 7කට වෙන්කර ඔප දමා තිබෙනවා.
එහි බර කැරට් 498 කට වැඩි වන අතර ලොව කපා ඔප දැමූ විශාලතම ඒකනයිට් මැණිකෙහි බර කැරට් 168ක් වනවා. එයද හමු වී ඇත්තේ රත්නපුර ඇහැළියගොඩ ප්‍රදෙශයෙන්. ඒ 1985 වසරේදීයි.
එම මැණිකෙහි ‘නූල්’ හෙවත් රේඛා 08 ක් ද ඇතුළත් වෙන බව මැණික් විශේෂඥයින් පවසා තිබෙනවා. එහි වර්ණය ඉස්තරම් ‘පැණි’ පැහැයයි. මැණික ඇතුළත, දෝෂ පළුදු රහිත පැහැදිලි පෙනුමකි. මැණික ඇතුළත බෙහෙවින් වර්ණවත්. මැණික කපා, ඔප දමා ඇත්තේ ‘කැබිෂන්’ මෝස්තරයෙනි. ප්‍රවීණ මැණික් විද්‍යාඥයන් 2016 ජනවාරි 23 වැනි දින මැණික පරීක්ෂාකර තත්ත්ව සහතිකයක් ද නිකුත්කර තිබෙනවා.
ඒකනයිට් මැණික් ගල්වලින් විකිරණ නිකුත් වන බැවින්, මනුෂ්‍ය භාවිතාවට එය නොගැනේ. ඒවා තැන්පත්කර තබන්නේ ද මිනිස් වාසයෙන් බැහැරවයි. ඒ දැඩි ආරක්ෂක විධික්රම යටතේයි.
ඒකනයිට් ඛනිජය ලොව මුලින්ම සොයා ගෙන ඇත්තේ වර්ෂ 1953 දී ශ්‍රී ලංකාවෙනි. ඉන් පසුව ශ්‍රී ලංකා මැණික් විද්‍යාඥයෙකු වන එෆ්. එල්. ඩී. ඒකනායක මහතා ඒ ගැන පර්යේෂණ සිදු කර තිබෙනවා. ඉන් හෙළි වූයේ එය ඉතා දුර්ලභ නව මැණික් විශේෂයක් බවයි.
දුර්ලභ මැණිකක් වන ඒකනයිට් දැනට ශ්‍රී ලංකාව, රුසියාව, ඇමරිකාව සහ කැනඩාව යන රටවලින් හමුවී තිබෙනවා.
