නෙත්මි මේ දවස්වල මොනවද කරන්නේ?
පහුගිය කාලේදී කොවිඩ් නිසා ෂූටිං නතරවෙලා තිබිලා ආයෙත් ෂූටිං පටන් ගත්තා. ඒ නිසා දෙවැනි ඉනිමේ ෂූටිංවලට ආයෙත් යනවා. ඊට අමතරව ආදරණීය ප්‍රාර්ථනා කියලා අළුත් ෆිල්ම් එකක වැඩ පටන් ගත්තා. ඒ වගේම 31 ගී වැඩසටහනේ නර්තන පුහුණුවීම්වලට සහභාගී වෙනවා. ඒ හැම දෙයක්ම නිසා මේ දවස්වල නම් චුට්ටක් විතර බිසී.
ජීවිතේ පටන් ගත්තේ කොතැනින්ද?
මගේ ජීවිතේ පටන්ගත්තේ පවුලේ වැඩිමහල් දරුවා විදිහටයි. මට තව නංගියෙකුයි, මල්ලියෙකුයි ඉන්නවා. ඉතින් ඒ දෙන්නයි, අම්මයි, මායි තමයි අපේ පවුලේ ඉන්නේ. මේ වනවිට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ මම ඉගෙනුම ලබනවා.
පුංචි කාලේ හීන දැක්කේ කවුරු වෙන්නද?
පුංචි කාලේ මම හීන දැක්කේ නම් වෛද්‍යවරියක් වෙන්නයි. මගේ අම්මි මට මම පුංචි කාලේ Doctor Set එකක් ගෙනැත් දීලා තිබුණා. ඒ Set එකට මට පුදුම ආසයි. මම ගෙදරට එන හැමකෙනාගේම උණ ඒ සෙල්ලම් ඩොක්ටර් නලාවෙන් බලනවා. ආච්චිගේ පරණ බෙහෙත් ලියුම් කවරවල දාල බෙහෙත් දුන්නා. මම ඉස්කෝලේදී විද්‍යාවට හරි ආසයි. හැබැයි මම නර්තනයටත් හරි කැමැතියි. ඉගෙනගත්තේ කඩුවෙල බෝමිරිය ජාතික පාසැලෙයි. හැබැයි උසස් පෙළ තෝරාගනිද්දී කවුරුවත් නොහිතුව විදිහට මම වාණිජ අංශය තෝරාගත්තා. ගෙදර අපට වගේම ගුරුවරුන් පවා ඒ ගැන පුදුම වුණා. හැබැයි මගේ අම්මාවත්, තාත්තාවත් කොමස් කරන්න එපා කියල කිව්වේ නැහැ. ඒ දෙන්නා මම කැමැති දේ කරන්න මට ඉඩදුන්නා. ඉස්සර ඉස්කෝලේ අධ්‍යාපනයට අමතරව බාහිර ක්‍රියාකාරකම් හැමදේම කළා. විවාද කළා, නර්තනය කළා. ශිෂ්‍ය නායිකාවක් වුණා. හැබැයි උසස් පෙළ පැත්තේදී ඒ හැමදේම නතර කරලා අධ්‍යාපනයට මුල්තැන දුන්නා. අවසානයේදී උසස් පෙළට A – 3 අරගෙන මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට තේරුණා.
උසස් පෙළට වාණිජ තෝරාගත්තු කවදාවත් නිළියක් වෙන්න හීන නොදැකපු නෙත්මි නිළියක් වුණේ කොහොමද? ජීවිතේ ඒ හැරවුම වුණේ කොහොමද?
පුංචි කාලේ ඉඳන්ම හැමෝම මට අවුරුදු කුමාරි තරගයට යන්න කිය කියා කිව්වා. අපෙ අම්මාත් මට අවුරුදු 16 වෙන කාලේ ඉඳන්ම අවුරුදු කුමාරි තරගයකට යමු කියලා කිව්වා. අම්මා ආස වුණාට තාත්තානම් ඒකට කැමැති වුණේ නැහැ. හැබැයි විශ්වවිද්‍යාලයේ පළමු වසරේදී තාත්තාගේ කැමැත්ත ලැබුණා. ඒ අනුව නොහිතපු විදිහට මගේ අම්මගේ හීනය හැබෑවෙලා. 2019 අවුරුද්දේ ජාතික රූපවාහිනිය අවුරුදු කුමරිය තරඟයට තේරුණා. මම හිතන්නේ මගේ කලා ජීවිතේ හැරවුම වුණේ ඒ ජයග්‍රහණයයි.
මෑතකාලේදී ජීවිතේ කරපු ලොකුම දඩබ්බර වැඩේ මොකක්ද?
මට ලයිසන් තියෙනවා. හැබැයි මට ස්කූටර්වලට විතරයි ලයිසන් තියෙන්නේ. දෙවෙනි ඉනිමට එද්දී මට තාත්තා කාර් එක පුරුදු කරන කාලෙයි. මම ඩ්‍රයිව් කරන්න පුරුදුවුණේ තාත්තා මාත් එක්ක කාර් එකේ යද්දිමයි. කොහොම හරි මම හොඳට පුරුදු වුණා. තාත්තාත් දවසක් මට කිව්වා එයා නැතිවත් කාර් එක තනියම අරගෙන යන්න කියලා. දවසක් තාත්තා ගෙදර හිටිය නැති දවසක මම කාර් එක අරගෙන යන්නද කියලා නංගිගෙන් ඇහුවා අනේ… එපා… මට නම් බෑ… ඔයා එක්ක එන්න යන්න එපා කියල කිව්වා. මම මල්ලිට අඬගැහුවා. හරි… යමු…. යමු… කියල මල්ලි මාත් එක්ක යන්න ආවා. කොහොම හරි අන්තිමට නංගිත් ආවා… අපි තුන්දෙනා තාත්තාට නොකියා කාර් එකේ වටයක් ගියා. ගෙදර ඇවිත් තාත්තාට කෝල් කරල කිව්වට තාත්තා පිළිගත්තේවත් නැහැ. නංගිලා තමයි තාත්තාට ඇත්තටම කතාව කිව්වේ. එදා මම පොඩි දඩබ්බර වැඩක් කළාට එකෙන් කාටවත් වරදක් නම් වුණේ නැහැ.
ජීවිතේ තමන්ගේ මහන්සියත් හම්බකරපු මුදල කීයද?
අවුරුදු කුමාරි තරඟයෙන් මට ලක්ෂ දෙකක් ඇතුළුව තවත් තෑගි ලැබුණා. ඒ ලැබුණු මුදල් මගේ අම්මයි, තාත්තායි මගේ බැංකු පොතට දැම්මා. දැන් මම හම්බකරන සල්ලිවලින් මම වියදම් කරනවා. ඉතුරුත් කරනවා. මම ගාව තිබ්බොත් වියදම් කරනව කියල මගේ අම්මා දන්නවා. ඒ නිසා පොතට තමයි අම්මා දාන්නේ. මම ඔය ස්විට්වලට එච්චර ආස කෙනෙක් නෙමෙයි. හැබැයි ඇඳුම්වලට නම් හරි ආසයි. වැඩිපුරම වියදම් කරන්නේ අඳුම්වලටයි. සමහරදාට තාත්තා එක්ක ඇඳුම් ගන්න ගියාම මම ළඟට ඇවිත් දැන් ඔය ඇතිනේ කියල තාත්තාම කියනවා.
ජීවිතේ ලැබුණු ලොකුම අභියෝගය මොකක්ද?
මට ජීවිතේ ලැබෙන හැම එකක්ම අභියෝගයක්. මාත් එක්ක කෙනෙක් තරහ වුණත් ඒකත් මට අභියෝගයක්. කවුරුහරි මට අභියෝග වෙන තරමට මම හරි කැමැතියි.
ප්‍රථම ප්‍රේමය….?
ඉස්කෝලේ කාලේදී ක්‍රෂ් එකක් තිබුණා. හැබැයි දැනෙන ප්‍රේමයක් තාමත් මගේ ජීවිතේ තිබුණේ නැහැ. මම ඔය සම්බන්ධකම් ඇති කරගන්න හරි බයයි. මං අඬන්න හරි බයයි. ඉස්කෝලේ යන කාලේදී මම නපුරු කෙනෙක්. දැන්නම් එහෙම නැහැ. ඉතින් ඉස්කෝලේ යන කාලේදී පිරිමි ළමයි චොක්ලට් ගෙනත් දීලා තියෙනවා. ඒ හැම දෙයක්ම ගෙදර ගිහින් මම අම්මට කියනවා. ඒ නිසා මම අම්මටත් ඉස්කෝලේට එක්කගෙන ගිහින් තියෙනවා. ඒ නිසා දැනෙන ආදරයත් තාම මම විඳලා නැහැ.
අක්කා නිසා නෙත්මිට විවාහ යෝජනා ඇවිත් නැද්ද?
තියෙනවා. සමහරු අම්මාගෙනුයි, තාත්තාගෙනුයි ඇවිත් අහලා තියෙනවා. තාමත් මට ඒවාගේ දේකට අත්දැකීම් අඩුයි. මම වෙන අයගේ ජීවිත දකිනවා. ඒ නිසා තාමත් මම ඒ ගැන හිතන්නේ නැහැ. මට මවපු කෙනා හරි වෙලාවට මම ළඟට ඒවි කියලා මට හිතෙනවා.
පෙම්වතෙකුගේ ආදරයක් නැතිවුණාම සුරතල් සතුන්ගේ ආදරය නම් නෙත්මිට අසීමිතයි නේද?
අම්මෝ ඔව්. මට අවුරුදු දෙකේ, තුනේ ඉඳන් අපෙ අම්මා මම සතුන්ට ආදරේ කරන හැටි කියල දුන්නා. මුලින්ම අම්මා පාරේ හිටිය චූටි බලු පැටියෙක්ට තමයි මට තෑගි කළේ. එන කාලයක් අපේ ගෙදර බල්ලෝ විසි එකක් හිටියා. දැන්නම් බල්ලෝ හතයි, පූසෝ හතරයි තමයි ඉන්නේ. අපේ ගෙදර හැමෝම සතුන්ට හරි ආදරෙයි. අපිට සතුන් එක්ක බැඳීම් ඇතිකර ගත්තහම ප්‍රශ්න නැහැ. ඒ ආදරය, ඒ බැඳීම් මතයි මම මේ ලෝකේ වැඩියෙන්ම ආස කරන බැඳීම තමයි සත්තුයි, මිනිස්සුයි අතර තියෙන බැඳීම්. ඒක මාරයි. මම ඒ බැඳීමට හරිම ආදරෙයි.
සුමුදු හේවාපතිරණ