ජීවිතේ එක තැනක් වැරදුනොත් සමහරවිට ඒක මුළු ජීවිත කාලෙටම බලපාන්න පුළුවන්.
ඒ නිසා ගන්න හැම තීරණයකදිම දෙපාරක් හිතන එක ගොඩක් වටින දෙයක්.
හිතන්නේ නැතිව හැඟීමට වහල්වෙලා ගත්ත තීරණයක් නිසා ජීවිතය නැතිවුණු තරුණියකගේ ජීවිත කතාවකි මේ.
කවුද සරත් කියන්නේ?
සරත් තමයි අපේ වත්ත අයිතිකාරයාගෙ පුතා.
එයා ඉගෙන ගත්තේ කොළඹ ලොකු ඉස්කෝලෙක.
මම ඉගෙන ගත්තේ ගමේ ඉස්කෝලේ. තාත්තා මැරුණට පස්සේ අම්මා වත්තේ බංගලාවේ වැඩට ගියා.
අම්මත් එක්ක මමත් ගියා. ගෙදර බංගලාවේ හිටියේ සරත් මහත්තයාගේ අම්මයි තාත්තායි විතරයි.
සරත් මහත්තයා ගෙදර ආවේ නිවාඩුවට. මම සාමාන්‍ය පෙළ පන්තියට විතරයි ඉගෙන ගත්තේ.
නංගි ඉහළට ඉගෙන ගත්තා. සරත් මහත්තයා මට හරිම ළෙන්ගතුයි. ආදරෙයි. මං හිතුවේ නැහැ එයා මට පිටුපාවී කියලා.
ඒත් අපේ ආදරේ අන්තිමට මාව අතරමං කළා. සරත් මහත්තයා නිසා මට දරුවෙක් ලැබෙන්න ආවා.
එතකොට මට වයස අවුරුදු විසිඑකයි. සරත් මහත්තයාට අවුරුදු විසි හතරක් විතර ඇති.
ඔය කාලෙම තමයි මහත්තයාට එයාගේ අම්මා එක එක පෝසත් ගෙවල්වලින් මංගල යෝජනා ගේන්න ගත්තේ. මට මගෙ දුක කියන්න කෙනෙක් හිටියේ නැහැ.”
දරුවෙක් ලැබෙන්න හිටිය බව අම්මා දන්නෙ නැද්ද?
“මං අම්මට දැනගන්න ඉඩ තිබ්බේ නැහැ. මං නංගිට කිව්වෙත් නැහැ. ඒත් මම සරත්ට කිව්වා.”
‘අපි දරුවා නැති කරමු’ එයා මට කිව්වා.
ඉතිං දරුවා නැති කළාද?
“නැහැ. මං ඒ තිරිසන් වැඩේ කළේ නැහැ. මට සරත් එක්ක පුදුම තරහක් ආවේ. ඒ වගේම මට මං ගැනත් දුකක් කළකිරීමක් ඇති වුණේ. මං හිතාගත්තා ගෙදරින් යනවා කියලා. මං සරත්ට ඒ ගැන කියන්න ගියේ නැහැ.”
ඇයි ඒ?
දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්ත දවසේ ඉඳලා එයාට ඕන වුණේ දරුවා නැති කරන්න.
ඒත් මම ඒකට අකමැති වුණ නිසා එයා මා එක්ක තරහින් හිටියේ.
අම්මා ගෙදර නැති වෙලාවක සරත් අපේ ගෙදරට ඇවිත් මට බලෙන් මොනවද පොවන්න ගියා. ඒත් මං පැනලා දුවපු නිසා බේරුණා.
මට ඕන වුණේ මගේ කුසේ ඉන්න දරුවව ජීවත් කරන්න. ඒ නිසා මං ගෙදරින් යන්න තීරණය කළා. එතකොට දරුවා ලැබෙන්න ඇවිත් මාස 3 ක් පහු වෙලා.
කෙහෙටද ගියේ?
“යන්න තැනක් තිබුණේ නැහැ. මං කාවවත් අඳුරන්නෙත් නැහැ. ඒත් මං ගෙදරින් එළියට බැස්සා.
ආයේ කවදාවත් මං මගේ ගමට ගියේ නැහැ. අම්මා, නංගි ඉන්නවද මැරුණද කියලවත් හොයලා බැලුවේ නැහැ.”
ගෙදරින් ඇවිල්ලා කොහේද ගියේ?
මහ පාන්දර ගමෙන් එන බස් එකේ නැගලා කොළඹ කොටුවට ආවා.
අතේ එකතු කරගත්ත සල්ලි වගයක් තිබුණා. දවල් තිස්සේ කඩ සාප්පු ගානේ ඇවිද්දා. පාරේ තියෙන ඇපල් තට්ටුවලින් ඇපල් අච්චාරු ජාති අරගෙන කෑවා.
රෑ වෙනකොට නම් හිතට බයක් ආවා යන්නේ කොහෙද කියලා.
මං බස්ටෑන්ඩ් එකේ වාඩිවෙලා හිටියා. මිනිස්සු කිහිප දෙනෙක්ම මං වටේ කැරකෙන්න ගත්තා.
මොකක් ද වෙන්න යන්නේ කියලා දැනුමක් තිබුණේ නැහැ. කොහොම හරි රෑ මුර සංචාරයේ යෙදෙන පොලිස් නිලධාරින් මාව පොලීසියට අරගෙන ගියා.
“එතැනදි මගෙන් ගෙදර තොරතුරු ඇහුවා. මං කිව්වා දන්නේ නැහැ කියලා. පහුවදා මාව උසාවි දැම්මා. වෛද්‍ය වාර්තාවක් ගන්න එතැනින් මාව රෝහලට යැව්වා. මට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්තම මාව පරිවාසයට යැව්වා.”
දරුවට මොකද වුණේ?
“දරුවා ලැබෙනතුරුම මං හිටියේ පරිවාසයේ. එතැන ජීවිතය හරි දුකක්. වෙලාවකට මට හිතුණා මම සරත් කියපු දේට කැමති වුණා නම් හොඳයි කියලා.
නූපන් දරුවා ගැන මගේ හිතේ දවසින් දවස ආදරය වැඩිවෙන්න ගත්තා.
මට ලැබුණේ පුතෙක්. මාස කිහිපයක් ගියා. දවසක් මැඩම් මට කිව්වා මගේ දරුවව හදාගන්න කාට හරි දෙමු කියලා.
මගේ කැමැත්තක් තිබුණේ නැහැ ඒකට. ඒ වුණත් හැමදේම එපා කියලා පාරට බැහැපු මට ඉන්න ගෙයක් දොරක්, ජීවත් වෙන්න ක්‍රමයක් නැතිව දරුවෙක් හදාගන්නේ කොහොමද කියලා හිතුවා. දවස් ගණන් අඬ අඬ මං මගේ දරුවා ගැන හිතුවා. අවසානයේ දරුවගෙ යහපත ගැන හිතලා මම දරුවව මහත්තයෙකුටයි නෝනා කෙනෙකුටයි හදාගන්න දුන්නා.
එදායින් පස්සේ මං කවදාවත්ම මගේ පුතාව දැක්කේ නැහැ. දැන් ඔහු තරුණයෙක් වෙන්නැති.”
ඊට පස්සේ මොකද වුණේ?
පරිවාසයෙන් එළියට ගියාට පස්සේ කරන්නේ මොනවද කියලා මට තේරුමක් තිබුණේ නැහැ. මං පාරක් පාරක් ගානේ ඇවිද්දා. ඔය අතරේ මං ගෙවල් කිහිපයකම වැඩ කළා.”
ගමට යන්න ඕන කියලා හිතුණේ නැද්ද?
“සමහර වෙලාවට හිතුණා. නමුත් මං ගමේ ගියේ නැහැ. ඔය අතරේ තමයි මට මල්ලිකා නෝනව හමුවුණේ. එයා මගේ ජීවිතේ ලස්සන කළා. මං එයා ගැන මුලින් හිතුවේ ඒ විදිහට.
ඒත් මට දෙවැනි පාරටත් ජීවිතේ වැරදුණා. මල්ලිකා මෝනා මාව මිනිස්සුන්ට විකුණුවා.
මුලින් මුලින් හැම දෙයක්ම වුණේ මගේ අකමැත්තෙන්. පහුවෙන කොට මං ඒ ජීවිතේට හුරු වුණා. ඒක මහ කාලකණ්ණි ජීවිතයක්. මට දැන් මං ගැනම අප්‍රසන්නයි. ඒත් මට මේ ජීවිතෙන් මිදෙන්න බැහැ. කිහිප පාරක්ම හිරේ ඉන්නත් වුණා.”
දැන් වයස කීයද?
“දැන් අවුරුදු හතලිස් නවයයි. මේ අවුරුදු හතලිස් නවයට තුන් පාරක් හිරේ ඇවිත් තියෙනවා.
ඒත් මං හැමදාම හිතුවේ මගේ ගැලවුම්කාරිය මල්ලිකා නෝනා කියලා. එයා හැමදාම අපිව බේරගත්තා. මේ පාර මාත් එක්ක පස් දෙනෙක් හිරේ ආවා. තුන් මාසයක් තිස්සේ අපි මෙහෙ. තව සුමානෙකින් අපි එළියේ.”
එළියට ගිහින් මොකද කරන්නේ?
“මොනවා කරන්නද, පරණ ජීවිතයම තමයි. අපි එළියට යන දවසට මල්ලිකා නෝනා ඇවිල්ලා අපිව එක්කරගෙන යාවි.
අපිට හොඳට කන්න බොන්න, අඳින්න දේවි. අන්තිමට නන්නාඳුනන මිනිස්සුන්ට අපිව විකුණාවි.”
ලැබෙන සල්ලිවලට මොකද කරන්නේ?
“සල්ලි ඉතිරි කරලා තේරුමක් නැහැනේ. ඒ හින්දා මං මට හිතෙන හිතෙන විදියට මෝස්තර. අඳිනවා. කනවා, බොනවා. චිත්‍රපට බලනවා. ජීවිතේ ගෙවෙන්නේ එහෙම තමයි.”
විවාහයක් කරගෙන පිළිවෙලක් වෙන්න ඕනෑ කියලා හිතෙන්නේ නැද්ද?
“මට අද මෙහෙම වුණේ පිරිමියෙක්ව විශ්වාස කරලා. මගේ තරුණ ජීවිතය නාස්ති වුණා.
මට දැන් පිරිමි විශ්වාස නැහැ. අපි ළඟට ආව හැම පිරිමියෙක්ම විවාහ වෙලා දරුවෝ ඉන්න අය.
කොහොමද මිනිස්සු විශ්වාස කරන්නේ. මට කිසිම කෙනෙක් විශ්වාස නැහැ. මං දැන් මේ ජීවිතයට හුරුවෙලා.”