“සිඳු” ටෙලි නාට්‍යය කියන්නේ හැමෝගෙම ආදරය දිනාගත් ටෙලි නාට්‍යයක්.
සිඳූ නාට්‍යය රූගත කළේ පොල්පිතිගම, දාගම ඓතිහාසික කැබැල්ලෑලෙන පුරාණ රජ මහා විහාරස්ථාන භූමියේයි.
මෙම විහාරස්ථානයේ පිහිටි ඉපැරණි ලෙන් විහාරයෙන් බුදු පිළිම, බිතු සිතුවම් හා වියන් සිතුවම් රැසක් විනාශවෙමින් තිබෙනවා.
මෙවන් ඓතිහාසික විහාරයක් තිබෙන බව බොහෝ මිනිසුන් දැනගෙන ඇත්තේ මේ නාට්‍යය නිසයි.
මෙම විහාරය දෙවන පෑතිස් සමයේ ආරම්භ වූවක් වන අතර ලෙන් විහාරය කොටස් තුනකට බෙදා වෙන්කොට ඇති අතර එහි මුල් කාමරය විෂ්ණු දේවාලය වනවා.
දෙවැනි කොටස ධර්ම ශාලාවක් සේ ප්‍රයෝජනයට ගැනෙනවා. තෙවැනි කොටස විශාල බුදු මැඳුරකි. එහි ඇතුළු වන දොරටුව දෙපස බිත්තිය පිට පැත්තේ සිංහ රූප දෙකකි. ඒ දෙපස දේව රූප දෙක බැගින් මූර්තිමත් කොට ඇත. මේ වනවිට ඒවාද කඩා වැටෙමින් පවතින බවයි වාර්තා වන්නේ.
බිතු සිතුවම් පතුරු වශයෙන් ගැලවී යමින් තිබෙන අතර ඒවා දුර්වර්ණ වෙමින් තිබෙනවා. සූවිසි විවරණ කතා, මාර පරාජය සිතුවම් අතර ප්‍රධාන තැනක් ගන්නවා.
ඔත් පිළිමය පාමුල බිත්තියේ බුද්ධ පරිනිර්වාණය සහ ආදාහන උත්සවය සිතුවමට නගා තිබෙන අතර, ඒවාද මැකී යමින් පවතිනවා.
පැරණි ස්ථූපය ගරා වැටී තිබෙන අතර අවස්ථා ගණනාවකදී නිදන් හොරුන්ගේ ග්‍රහණයට හසුවී ඇති බවටත් වාර්තා සපයනවා.
එම ස්ථූපය කංචුක ස්ථූපයක් බව පුරා විද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන්ද ප්‍රකාශ කර තිබෙනවා. විහාරයෙහි වත්මන් තත්ත්වය පිළිබඳව අදහස් දැක්වූ විහාරාධිපති රාවාඇල සුධම්ම හිමියෝ පවසා ඇත්තේ මෙවන් කතාවක්.
“දේවාලයක්, ධර්ම ශාලාවක් විහාරගෙයක්, ගල් ලෙනක් තුළ තිබෙන එකම පුදබිම මෙයයි. 1965 දී මෙම පුදබිම පුරා විද්‍යා සංරක්ෂණ පුදබිමක් බවට පත්කර තිබෙනවා.
හැබැයි කළ සංරක්ෂණයක් නම් නැහැ. අපට මේවා සංරක්ෂණය කරන්නත් බැහැ. විහාරස්ථානයට කිසිම ආදායම් මාර්ගයක් නැහැ දායකයන් එකසිය පනහයි සිටින්නේ. තිබුණු ධර්ම ශාලාව කඩා වැටුණා. අලුත් ශාලාවක් ඉදිකරන්න පටන් ගත්තා. ඒත් මුදල් නැති නිසා ඉදිකිරීම් නැවතිලා “සිඳූ” ටෙලි නාට්‍යය රූගත කළේ මෙම විහාර භූමියේදීයි. එය නැරඹූ අය දැන් විහාරය වන්දනාමාන කරන්න එනවා. මෙහෙම ඓතිහාසික විහාරයක් තිබෙන බව මිනිස්සු දැනගත්තේ ඒ නාට්‍යය නිසයි. විහාරය වන්දනා කරන්න එන අයට පහසුකම් සලසන්න විදියක් නැහැ.
