සාමාන්‍ය දේ තුල අසාමාන්‍ය සුන්දරත්වයක් දැකීම බොහෝ නිර්මාණ ශිල්පීන් සතු වන විශේෂ හැකියාවක් වෙයි. ඉවෙලිනා බ්ලගොඒවා එවැනි හැකියාවක් ඇති ඡායාරූප ශිල්පිණියකි.
ඇය මෙලෙස කිසිවෙකුත් නොදකින සුන්දරත්වයක් දකින්නේ අප එදිනෙදා ජීවිතයේ දකින ජල බිඳිති තුළයි. අතු රිකිලි, මකුළු දැල්, මල් පෙති අග රැඳී ඇති ජල බිඳිති විශාලනය කරමින් ඇය මෙම අපුරු දසුන් කැමරා ඇසට හසු කරගෙන තිබේ.
ඇය සිය ඡායාරූප හරහා නරඹන්නා පිනවීමට මෙන්ම ඔවුන්ට වැදගත් පණිවිඩයක්ද ලබාදීමට උත්සාහ කරයි. ඒ එදිනෙදා ජීවිතයේ හමුවන කුඩා සහ නොවැදගත් යැයි සැලකෙන දේ පවා අප අගය කළ යුතු බවයි. ඇය ඒ බව සිය ඡායාරූප හරහාද මැනවින් විදහා දක්වා තිබේ.
