ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ එක්රැස් වන නන්විධ තරුණ තරුණියන්ගේ මිතුරු සමාජ වෙනුවෙන් පවත්වන සාද හෙවත් ෆේස්බුක් සාද මෑතක සිට ‘රැල්ල’ක් බවට පත්වෙමින් තිබේ. නගරවල පමණක් නොව ඈත ගම්දනව් කරාද මෙකී ෆේස්බුක් සාද දැන් දැන් ව්‍යාප්ත වී හමාරය. මීට වසර පහ-හයකට පමණ පෙරදී තරුණ තරුණියන් අතරට ආ ෆේස්බුක් සාද මේ වන විට මුළු සමාජයටම පිළිලයක්ව ඇති බව ගම්‍ය වන්නේ එකී සාදවල සිදු වන නොයෙක් අකටයුතුකම් නිසාවෙනි. මත්ද්‍රව්‍ය, මත්පෙති, මත්පැන් පමණක් නොව තරුණ තරුණියන් අතර ලිංගික හැසිරීම්ද පසුගිය කාලයේ ෆේස්බුක් සාදවලදී වාර්තා විය.
මීට වසර දෙකකට පමණ පෙරදී වේයන්ගොඩ පැරැණි වලව්වක පැවැති ෆේස්බුක් සාදයක් පිළිබඳ අප පුවත්පතද තැබූ සටහනකදී වැටලීම සිදු කළ වේයන්ගොඩ පොලිස් නිලධාරින් පැවසුවේ අලුයම් කාලයේ සාදය වටලන විටදී අධික ලෙස මත් ගතියෙන් සිටි ඇතැම් තරුණ තරුණියන් අඩනිරුවත්ව තැන තැන වැටී සිටියේ ලිංගික හැසිරීම්හි සාක්ෂිද සටහන් කරමින් බවයි.
ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාගන්නා (Share) හෝ සමාජ මාධ්‍ය කණ්ඩායම් (Group) ඔස්සේ බෙදා ගන්නා දැන්වීමක් හරහා මෙකී සාදවලට තරුණ තරුණියන් එක්වන්නේ එවැනි සාදවල සිදුවන්නෙ කුමක්ද යන්න ගැන නිසි අවබෝධයක්ද නොමැතිවය.
මෙසේ ෆේස්බුක් ඔස්සේ එක්තරා තරුණයකුගේ උපන් දින සැමරුමක් වෙනුවෙන් පළ කළ දැන්වීමක් (පෝස්ට්ටුවක්) හරහා නීති විරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය සමඟ තරුණයන් පිරිසක් පැවැත් වූ ෆේස්බුක් සාදයක් පසුගිය 12 වැනිදා මධ්‍යම රාත්රියේදී වටලනු ලැබීය. ඒ, මීගමුව කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරා මහතාට ලැබුණු තොරතුරක් අනුවයි.
පසුගිය 12 වැනිදා පෙරවරුවේ කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ශ්‍රිනික ජයකොඩි හමුවීමට වයස අවුරුදු පනහක් පමණ වන පුද්ගලයකු පැමිණියේ හිරිමල් වියේ පසුවන තරුණයකුද සමඟිනි. කොච්චිකඩේ, කම්මල්තොට ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු වන නිහාල් නමැති එකී පුද්ගලයා පොලිස් ස්ථානාධිපතිවරයාට පවසන්නට වූයේ,
“සර්… මගේ පුතාගේ 18 වැනි උපන් දිනය යෙදෙන්නෙ මේ 13 වැනිදාට. දරුවට යාළුවෝ ටික ගෙනල්ලා හෝටලේක අද රෑට උපන් දිනය සමරන්න අවශ්‍යයි කියනවා…”
ඊට පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රතිචාර දක්වා තිබුණේ, “ප්‍රශ්නයක් නෑ… හැබැයි කොරෝනා නීති රෙගුලාසිවලට යටත්ව සිදුවිය යුතුයි… පී.එච්.අයි මහත්තයට දැනුම් දිය යුතුයි… ඒ වගේම අසල්වැසියන්ට බාධා වෙන්නත් බෑ…”
එලෙස පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් ලැබුණු අනුමැතිය සමඟ කොච්චිකඩේ පොලිසියෙන් නික්මෙන්නට සූදානම් වෙද්දී නිහාල්, යළි පොලිස් ස්ථානාධිපතිවරයාට කීවේ, “සර්ටත් පුළුවන්නම් එන්න… අපි සාදරයෙන් පිළිගන්නවා…” කියාය.
ලැබුණු ආරාධනය එසැණින් ප්‍රතික්ෂේප කළ පොලිස් ස්ථානාධිපතිවරයා අපට කීවේ, එම ප්‍රකාශයේ සැඟවුණු අර්ථය හෙළි වන්නේ පොලිසිය විසින් සාදය වැටලීමත් සමඟ බවයි.
ඒ අතරේ නිහාල් එදින රාත්‍රියේ උපන් දින සාදය පැවැත්වීමට අවසර ගත් කොච්චිකඩේ, කම්මල්තොට හොයෝ හෝටලයට වැල නොකැඩී තරුණයන් ඇදී එන බවට මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට තොරතුරක් ලැබිණි. ඒ සැණින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඒ ගැන සොයා බැලීමට කොච්චිකඩේ පොලිසිය දැනුවත් කළේය.
ඒ වන විට තරුණයන් නවීන පන්නයේ මෝටර් රථ මෙන්ම යතුරුපැදි, ත්‍රිරෝද රථ ඇතුළු විවිධ රථවාහනවලින් එම හෝටලයට ඇදී එමින් සිටියහ. එසේ එම හෝටලයට තරුණයන් රැස් වන්නේ කුමක් අරබයාද යන්න සෙවීමට පොලිස් ස්ථානාධිපතිවරයා විසින් පොලිස් නිලධාරියකු සහ නිලධාරිනියක උපාය දූතයන් සේ වෙස් ගන්වා යතුරුපැදියකින් මධ්‍යම රාත්‍රිය එළැඹෙද්දී සාදය පැවැති හෝටලයට යැව්වේය. ඒ වන විටත් සාදයට එක්ව සිටි තරුණයෝ මහත් ඝෝෂාකාරී ඩීජේ සංගීතයට අනඟ රැඟුම් පාමින් සිට ඇත්තේ මත්පැන්, මත්කුඩු, සහ මත්පෙතිවලින්ද සප්පායම් වෙමින් බව උපාය දූතයන් දැනගන්නට ලැබිණි. තරුණ පිරිස් රැස්ව සිටි ශාලාවට ඇතුළුවීමට තැත් කළ උපාය දූතයන්ට එහි දොරටුව අසල සිටි අයෙක් කීවේ, “ඇතුළට යන්න නම් රුපියල් 1200ක ටිකට් පතක් ගන්න ඕනෙ…”කියාය.
ඒ සැණින් උපාය දූතයන්ට වැටහුණේ එම ස්ථානයේ උපන් දින සාදයක් නොව කිසියම් අකටයුත්තක් සිදුවන බවයි. උපාය දූතයන් දෙදෙනා පොලිස් ස්ථානාධිපතිවරයා අමතා කීවේ, “සර්… මෙතන තියෙන්නෙ උපන්දින සාදයක් නෙවෙයි. විවිධාකාරයේ වාහනවලින් කොල්ලො එනවා. ඇතුළට යන්න ටිකට් කඩනවා…”
ලැබුණු තොරතුර පිළිබඳව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේද උපදෙස් මත කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපති ශ්‍රිනික ප්රමුඛ නිලධාරින් විස්සකට අධික කණ්ඩායමක් අලුයම 1.40ට පමණ හෝටලය වටලනු ලැබීය. ඊට අවට පොලිස් ස්ථානවල නිලධාරිහුද එක්ව සිටියහ.
“ඒ වෙලාවෙ තරුණයෝ 153 දෙනෙක් පමණ හිටියා. සියලු දෙනාම අවුරුදු 18ත් 25ත් අතර. අපි වටලන වෙලාව වෙනකොට තමයි මේ සාදයේ උපරිම තත්ත්වය ආරම්භ වුණේ… ඒ වෙලාවෙත් කපල්ස් වාහනවලින් එමින් හිටියේ. පස්සෙ හැඳුනුම්පත් තිබුණ අය අවවාද කරලා මුදාහැරියා. තිස්දෙනෙක් හිටියා අනන්‍යතාව තහවුරු කිරීමට නොහැකිව. ඔවුන් අතර මත්පැන්, මත්ද්‍රව්‍ය සහ මත්පෙති ගත් පිරිස හිටියා. ඒ අය අත්අඩංගුවට ගත්තා.”
ඒ අතර සිටි සාදය සංවිධානය කළ 18 හැවිරිදි තරුණයා සහ ඔහුගේ පියා වන නිහාල් නීතිවිරෝධි මත්කුඩු, මත්පෙති, මත්පැන් සහිතව සාදයක් සංවිධානය කිරීමට ආධාර අනුබල දීම නිසා අත්අඩංගුවට ගැණින. මෙකී නීතිවිරෝධි සාදය පැවැත්වීමට අවසර ගැනීමට සිය පුත්‍රයා සමඟ නිහාල්ද පොලිසියට පැමිණියත් සාදය ජංගම දුරකථනය ඔස්සෙ සමාජ මාධ්‍ය උපයෝගීකොට සංවිධානය කර තිබුණේ ඔහු සමඟ පොලිසියට පැමිණි පුත්‍රයා විසිනි.
පොලිස් අත්අඩංගුවට පත් තරුණයන් 31 දෙනා අතර මාරවිල, දංකොටුව, කොච්චිකඩේ, පමුණුගම, මීගමුව, සීදුව, හලාවත ආදි පෙදෙස්හි විවිධ තරාතිරමේ පිරිස් වූහ. ඒ අතර සිටි ඇතැම් දෙනා ඉහළ පවුල් පසුබිම් සහිත අධ්‍යාපනයෙන්ද ඉහළටම ගිය තරුණයන්ය. පොලිස් බාරයට පත් තරුණයන් පාපෝච්චාරණය කළේ,
“සර්… අපි මුකුත්ම දන්නෙ නෑ… ෆේස්බුක් එකේ තිබුණේ අසවල් හෝටලයේ උපන්දින සාදයක් තියෙනවා, එන්න කියලා…”
එහෙත් වර්තමානය වන විට රටේ බොහෝ තරුණ තරුණියන් ෆේස්බුක් සාද යනු කුමනාකාරයේ සාදයක්ද යන්න හොඳින් දනී. පොලිස් බාරයට පත් තරුණයන් 30 දෙනාගේ මවුපියන්ද කොච්චිකඩේ පොලිසියට කැඳවිණි. එකී තරුණයන්ගේ ඇතැම් මවුපියෝ පොලිසිය තුළදීම දරුවන්ට දඬුවම් කර තිබුණේ තැන නොතැනද නොතකමින් ඔවුනට පැමිණි ආවේගය නිසාවෙනි.
මෙකී නීති විරෝධි සාදය පැවැති හෝටල් බලධාරින්ගෙන්ද පොලිසිය ප්‍රශ්න කෙරිණි. ඔවුහු පවසා ඇත්තේ ශාලාව වෙන්කර ගත්තේ උපන්දින සාදයකට බවත් එහෙත් එතුළ සිදු වන්නේ කුමක්ද යන්න සොයා බැලීමක් නොකළ බවත්ය.
කොරෝනා නිසා හෝටල්වලටද සිදුව තිබෙන ලාබපාඩු පියවා ගැනීමට කිසිදු සොයා බැලීමකින් තොරව හෝටල් බලධාරින්ද හෝටල් ශාලා ලබාදෙන බැවින් මේ දිනවල මෙවැනි සාද ඇතුළු බොහෝ නීතිවිරෝධි කටයුතු සිදු වන බව පොලිසිය පවසයි. කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපතිවරයාද මෙකී සාදය පැවැති හෝටලයේ බලධාරින්ට දැඩිව අවවාද කළේ නිසි සොයා බැලීමකින් තොරව දිගින් දිගටම මෙවැනි දෑ සඳහා හෝටලය ලබාදුනහොත් නීතිමය පියවර ගන්නා බවටයි.
මෙකී සාදය වැටලීමට මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරාගේ උපදෙස් මත කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපති ශ්‍රිනික ජයකොඩි, පොලිස් පරීක්ෂක දේවප්‍රිය, උපපොලිස් පරීක්ෂකවරුන් වන ජයකොඩි, ලක්ෂ්මන්, පොලිස් සැරයන්වරුන් වන 51833 තෙන්නකෝන්, 51750 නිහාල්, 12780 නිලුක යන නිලධාරින් සමඟ මීගමුව අවට පොලිස් ස්ථාන කීපයකම නිලධාරිහු එක්වූහ.
කොච්චිකඩේ පැවැති මෙකී සාදය සේම ෆේස්බුක් සාදයක් ගෙවී ගිය සතියේ දිනෙක පිළියන්දල ප්‍රදේශයේ ස්ථානයකද පවත්වා ඇති අතර එයද පොලිසිය විසින් වටලා තරුණයන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබිණි.
සමාජයට පිළිලයක් වන මෙවැනි ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යයන්ගෙන් තරුණ තරුණියන් එක්ව මත්පෙති, මත්ද්‍රව්‍ය, මත්පැන් භාවිත කරමින් දින ගණන් එක දිගට අනඟ රැඟුම් පානා සාදවල මෑතකාලීන ඉතිහාසය පිරික්සීමේදී 2018 වසරේ වාද්දුවේ සැප්රෝන් හෝටලයේ පැවැති සාදය මෙතෙක් මෙවැනි සාදයකදී ඛේදනීයම සිදුවීම වූ සාදය වේ. ඒ, එම සාදයේදී අධික ලෙස මත්පෙති පානය නිසාවෙන් තරුණ ජීවිත හතරක්ම මෙලොව හැර යෑම නිසාවෙනි. නීති විරෝධි මත්ද්‍රව්‍ය භාවිත කරමින් පැවැත්වූ මෙවැනි ෆේස්බුක් සාදයක් ගැන මුලින්ම වාර්තා වන්නෙ 2013 වසරේදීය. ඒ, රාජගිරිය ප්‍රදේශයෙනි. සමාජ මාධ්‍ය ඔස්සෙ රටේ විවිධ පෙදෙස්වල තරුණ තරුණියන් එක්රැස්ව විශේෂයෙන්ම වෙරළබඩ පෙදෙස් ආශ්‍රිතව සිදු වන මෙවැනි සාද 148ක් පමණ මේ වන විට වටලා ඇති බව පොලිසිය සඳහන් කරයි. එය තවත් ඉහළ යන්නේ සුරාබදු දෙපාර්තමේන්තුවද පසුගිය කාලයේ ෆේස්බුක් සාද රැසක්ම රටේ විවිධ පෙදෙස්වලදී වටලනු ලැබ ඇති හෙයිනි. එසේම ගිය වසරේ ජූලි මාසයේදීද මිරිස්සෙන් දියඹට ගිය අධි සුඛෝපභෝගී නෞකාවක පැවැති මෙවැනිම ෆේස්බුක් සාදයක් වැටලීමට මාතර කොට්ඨාස දූෂණ මර්දන ඒකකය සමත් වූයේය. එදිනද තරුණ තරුණියන් 74 දෙනෙක් පොලිස් බාරයට පත් විය.
කෙතරම් වැටලීම් සිදුකළද මෙවැනි සාද රටපුරා විශේෂයෙන්ම සති අන්තයේ නගර ගම්දනව් සිසාරා කෙතරම් පැවැත්වෙනවාද යන්න දන්නේ ඊට සහභාගි වන තරුණ පිරිස් ය. ඇතැම් තරුණ තරුණියන් මෙවැනි සාදවලට එක්වීමට කිලෝමීටර් සිය ගණන් දුර ගෙවා එති. එම නිසා මෙවැනි සාදවලට එක්වන දරුවන්ගේ මවුපියන් සිය දූපුතුන් පිළිබඳව බොහෝ සේ අවධානයෙන් සිටිය යුතුමය.
උපුටා ගැනීම – සිළුමිණ පුවත්පත