‘සිරකරුවෝද මනුෂ්‍යයෝය‘ මෙරට සියලු සිපිරි ගෙවල්හි දක්නට ලැබෙන මේ වදන්පෙළ කියාපාන්නේ සිර දඬුවම් විඳින්නන් වුවත් ඔවුන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් හිමි විය යුතු බවයි.
එහෙත් 8900ක පමණ පිරිසක් රැඳවිය හැකි සිපිරි ගෙවල් හෙවත් බන්ධනාගාර තුළ මේ වන විට 27000ක පමණ පිරිසක් දඬුවම් විඳිමින් කල් ගෙවති. ඔවුන්ට සෞඛ්‍ය පහසුකම්, නවාතැන් පහසුකම් පමණක් නොව සනීපාරක්ෂක පහසුකම් පවා නිසි ලෙසින් නොමැත. එවන් තත්ත්වයක් මත ‘සිරකරුවන්‘හෙවත් රැදවියන්ගේ අනාගතය ඉතාම අවිනිශ්චිතය. එයට හේතු වන්නේ බන්ධනාගාරගත වූවන්ගෙන් සැලකිය යුතු පිරිසක් මත් ද්‍රව්‍ය සම්බන්ධව වැරැදිකරුවන් වී සිරගත වූවන් වන හෙයිනි.
සුළු ඉඩකඩක අධික පිරිසක් සිටීම නිසා එම පිරිස හා අසීමිත ලෙසින් ඇසුරට වැටෙන සුළු වැරැදිවලට බන්ධනාගාර ගත වූවන් මත් කුඩු හා සම්බන්ධ වූ පිරිස්හි ඉත්තන් බවට පත්වීම නිරායාසයෙන්ම සිදුවන්නකි.
විශේෂයෙන් මත් කුඩු ජාවාරම්කරුවන් හෝ මත් කුඩු බෙදාහරින්නන්ගේ ඇසුරට වැටෙන දඩ මුදල් ගෙවා ගත නොහැකිවීමෙන් වැනි සුළු වැරැදිවලට බන්ධනාගාරගත වන්නන්ට සිදුවන්නේ එම පිරිස් විසින් පෙන්වා දෙන මාර්ගයන්හි ගමන් කිරීමටය.
බන්ධනාගාරයෙන් දඬුවම් විඳ පිටව යන තැනැත්තා නිදහස් වුවද සමාජයට සිරකරුවෙකි. ඔහුට කිසිදු රැකියාවක් ලබා දෙන්නට කිසිවෙක් ඉදිරිපත් නොවේ.
අවසානයේ ඔහු යළිත් වැරැදි ක්‍රියාවන්ටම යොමු වේ. බොහෝ අය බන්ධනාගාරයේදී ඇසුරු කරන්නට ලැබුණු පුද්ගලයන්ගේ කල්ක්රියාවන් කෙරෙහි අවධානය යොමු කර ඒ ලෙසින් ක්‍රියා කරන්නටද කටයුතු කරයි.
අවසානයේ යළිත් බන්ධනාගර ගත වන්නට ඔවුන්ට සිදු වේ. කෙටි කලකින් බන්ධනාගාරය ඔහුගේ සාමාන්‍ය නිවසම බවට පත් වේ.
තමා නිදහස්ව ගොස් යළි සිපිරිගෙට පැමිණෙන විටත් පෙර තමන් ඇසුරු කළ අය ඔවුනට හමු වේ. ඒ ඇසුරින් ඔවුන් ගජ මිතුරන් බවටද පත් වේ. අවසානයේ දෙදෙනාම එක සමාන වැරැදිකරුවන් ලෙසින් සමාජ ගත වේ. එක් අයකු භයානක මත් ජාවාරම්කරුවකු වන්නට ඇත. අනෙක් තැනැත්තා දුම්රියේ හෝ බස් රියේ ප්‍රවේශ පත්‍ර නොමැතිව ගමන් කර හෝ වෙනත් දඩ මුදලක් ගෙවා ගන්නට නොහැකිව හෝ බන්ධනාගාර ගත වූවන් වන්නට පුළුවන.
මේ තත්ත්වය බන්ධනාගාර සංස්කෘතියක් ලෙසින් දිගින් දිගටම දම්වැලක පුරුක් මෙන් ඉදිරියට ඇදී යයි. මේ නිසා නිදහස ලබා බන්ධනාගාරයෙන් නික්මෙන තැනැත්තා යළිත් වැරැදි කරා යොමු වීම සිදුවනවා හැරෙන්නට ඔවුන් සමාජගත කිරීමේ කිසිදු වැඩපිළිවෙළක් අපේ රට තුළ නිසි ලෙසින් ස්ථාපිත කර නැත. සිරකරු සුබසාධක කමිටු මගින් හා වෙනත් ආයතන හරහා යම් යම් සමාජගත කිරීම් සඳහා කටයුතු යොදන්නට උත්සාහ කළද ඒ කිසිවකින් සාර්ථක ප්‍රතිඵල ලැබී නැත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද පසුගිය දිනක වැලිකඩ බන්ධනාගාරයේ විශේෂ නිරීක්ෂණයකට සහභාගි වූයේ බන්ධනාගාරයේ තත්ත්වය සියැසින් දැක බලා ගැනීමටය. එහිදී ජනාධිපතිවරයාටද දැක ගැන්මට ලැබුණේ අප පෙර සඳහන් කළ කරුණුමය.
දීර්ඝ කාලයක් තිස්සේ විසඳුමක් නොලැබුණු ගැටලුවකට එක්වරම විසඳුමක් සෙවීම උගහටය. ජනාධිපතිවරයාද නියම කෙළේ මේ ගැටලුවලට කඩිනමින් විසඳුමක් සපයන ලෙසයි.
මේ කතාවන් මෙසේ සිදුවෙද්දී සමාජයේ කිසිවකුත් නොදන්නා කතාවක් තිරය පිටුපස සිදුවෙමින් පැවතුණි. ඒ මාසයකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි ඇවන්ගාඩ් ව්‍යාපාර සමූහයේ සභාපති විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපති මහතා විසින් බන්ධනාගාරගත රැඳවියන් වෙනුවෙන් විශේෂිත ව්‍යාපෘතියක් සැලසුම් කර තිබීමයි.
එය වඩාත් අගය වන්නේ අප ඒ ගැන කියනවාට වඩා ඔහුගේ කතාවෙන්ම ඒ ගැන පවසනවානම් ය.
‘‘යම් කිසි හේතුවක් මත මට බන්ධනාගාර ගත වන්නට සිදු වුණා. සමාජය විසින් බන්ධනාගාරයට යොමු කර තිබුණු අය එහිදී මට සලකපු හැටි මම දැක්කා. නැති බැරි දාට කවුරුත් ළඟ නැහැ කියපු කතාව බොරුවක් බව මට ඒ වෙලාවෙ තේරුණා. ඒ රැඳවියන් තමන්ගේ දරුවන් බලා ගන්නා ලෙසින් තමයි මාව බලා ගත්තෙ. මත් ද්‍රව්‍ය බෙදා හැරීමේ යෙදුණු පුද්ගලයෙක් මට හොදට සැලකුවා.
මම ඇහුවා ‘ඇයි මට මේ විදිහට සලකන්නෙ‘ කියලා ඇහුවා.
‘සර් මේ රටේ යමක් කරන්න පුළුවන් කෙනෙක් කියල ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. ඒක නිසයි මම ඒ විදිහට සර්ට සලකන්නෙ කිව්වා. අපේ දරුවන්ට පාරෙ යන්න බැහැ, අපිට රස්සාවක් දෙන්න කෙනෙක් නැහැ. පොලිස් සහතිකයක් ගන්න බැහැ.‘ මේ වගේ කතා ගොඩක් කිව්වා.
ඒ වෙලාවෙ මම තේරුම් ගත්තා මේ රැදවියන් වෙනුවෙන් යමක් කළ යුතුම බවට. මම බන්ධනාගාරයේ සිටම මේ අය වෙනුවෙන් කළ හැකි සැලසුමක් හැදුවා.
මට ඇප දීල එළියට ගන්න අවස්ථාව තිබුණත් ඒ අවස්ථාවලදී මම ඇප මත නිදහස්ව එළියට ඒමට අකමැති වුණා. ඒ වෙන කිසිවක් නිසා නෙමෙයි මේ කාර්යය සාර්ථක කර ගන්න මට බන්ධනාගාරයේ ඇතුළෙම ඉදල ඒ සම්බන්ධව තවත් සැලසුම් සකස් කරන්න පර්යේෂණ කරන්න අවශ්‍ය වූ නිසා. ඒ අනුව මම ව්‍යාපෘතියක් සකස් කරා මේ අය වෙනුවෙන්. ඒ ව්‍යාපෘතිය හරහා මේ ජනතාව සමාජගත කිරීම අපහසු කටයුත්තක් නොවන බව මම දැන ගත්තා.
ඒ අනුව පළමුවෙන්ම ඔවුන්ට භාෂා දැනුම වර්ධනය කිරීම අවශ්‍ය බව මම පසක් කර ගත්තා. විශේෂයෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් වැඩ කටයුතු කරන්නට පුළුවන් නම් ඔවුන්ට සමාජයේ ඉහළ තැනක් ලැබෙන බවත් තවත් භාෂා හැකියාවන් අනුව අන්තර්ජාතිකව ඔවුන්ට රැකියා සඳහා යොමු විය හැකි බවත් මම දැන ගත්තා.
ඒ අනුව බන්ධනාගාරයන්හි තෝරා ගත් රැදවියන් උදෙසා පළමුව ඉංග්‍රීසි, ප්‍රංශ, ජර්මන් අරාබි වැනි භාෂාවන් ඉගැන්වීමට කටයුතු කරනවා. එමෙන්ම දෙවනුව වෘත්තීය පුහුණුව ලබා දී ඒ සඳහා ‘එන් වී කිව්‘ සහතිකයක් ලබා දෙනවා. ඊට අවශ්‍ය ක්‍රමවේදය හදන්න මේ වන විට නිමල් සිරිපාලද සිල්වා මහතා සමඟ එක්ව සාකච්ඡා කර කටයුතු යොදා තිබෙනවා. ‘‘
සේනාධිපති මහතාගේ කතාව එතැනින් නතර වන්නේ නැත.
ඔහු විසින් සිදු කිරීමට අදහස් කරන ක්‍රියාවලිය අපට තව දුරටත් මෙසේ පෙන්වා දිය හැකිය.
ඇවන්ගාඩ් සමූහ ව්‍යාපාරය විසින් බන්ධනාගර රැදවියන් උදෙසා ‘වැඩසහන සේවයේ යෙදවීම ව්‍යාපෘතිය‘ යටතේ වසර 5 ක් ඉදිරියට බන්ධනාගාරගතව සිටින එමෙන්ම යහපත් කල්ක්රියාවක් ඇති රැඳවියන් 5000 ක් තෝරා ගැනෙනු ඇත. ඒ අය මේ ව්‍යාපෘතියේ ප්‍රතිලාභීන් ලෙස තෝරා ගනු ලැබේ. පුහුණු කාලය මාස තුනකි. මෙහිදී ඉංග්‍රීසි භාෂාව අනිවාර්යය කෙරේ. මෙරට හා අන්තර්ජාතික ක්ෂේත්‍ර තුළ වැඩිම ඉල්ලූමක් ඇති පෙදරේරු, වඩු කාර්මික හා ජල නළ කාර්මික ශිල්පය යන තෙවැදෑරුම් කර්මාන්ත වලින් ඔවුන් වෙත එම මාස තුන තුළදී න්‍යායික හා ප්‍රායෝගික මනා පුහුණුවක් ලබා දෙයි.
එක් වරකට පන්සියක් බැගින් පිරිසක් තෝරා ගෙන මෙම පුහුණු කිරීම් සිදු කරනු ලබන අතර එම කාලය තුළ රැඳවියන්ට අවශ්‍ය ඇඳුම් පැළඳුම් ආහාරපාන ඇතුළු සියලු පහසුකම් ඇවන්ගාඩ් සමූහ ව්‍යාපාරය විසින් සපයනු ලැබේ.
මාස තුනකට වරක් මෙසේ පන්සීයක් බැගින් පුහුණු කරන ශ්‍රමිකයන් 5000 ක් දක්වා වැඩි කෙරේ. ඒ අයුරින් මේ ව්‍යාපෘතිය හරහා පුහුණු ශ්‍රමිකයන් පන්දහසක් රටේ ඉදිකිරීම් ක්ෂේත්රයට ලබා දෙනු ඇත. එම ඉලක්කය සපුරා ගැනීමෙන් පසු වසරකට රජයට රුපියල් බිලියනයක මුදලක් ලබා දීමට හැකි වේ. රැදවියන්ටද එම මුදලින් කොටසක් හිමි වන නමුත් එම මුදල් ඔවුන් අතට ලබා නොදෙන අතර රැදවියන් නිදහස් වී යන විට විශාල මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වනු ඇත.
මේ ව්‍යාපෘතිය සඳහා රජයට කිසිදු මුදලක් වැය වන්නේද නැත. සියලු වියදම් දරන්නේ ඇවන්ගාඩ් ආයතනය විසිනි.
මේ සඳහා රුපියල් මිලියන 300 ක මුදලක් නිශ්ශංක සේනාධිපති මහතා විසින් මේ වන විට වෙන් කර ඇත. එසේම විදේශ රටවලටද මේ ශ්‍රමිකයන්ට ගමන් කිරීමට අවශ්‍ය පහසුකම් සලයා දීමටද ඇවන්ගාඩ් ආයතනය විසින්ම කටයුතු යොදනු ඇත.
විවිධ භාෂාවන් කතා කරන පුහුණු ශ්‍රමිකයෙක් වෙනුවෙන් ලෝකයේ වැඩි වැටුප් ගෙවනු ලබන හෙයින් එම භාෂාවන් සම්බන්ධයෙන් වැඩි අවධානය යොමු කෙරෙනු ඇත. විශේෂයෙන්ම මත් ද්‍රව්‍යවලට වැරැදිකරුවන් ලෙස පත් වූ අය ඉදිරියට කිසිසේත්ම ඒ වැරැදි කරා යොමු නොවන සේ මේ කටයුතු සිදු කෙරේ.
මේ ව්‍යාපෘතිය පසුගිය 18 වැනිදා අඟහරුවාදා වැලිකඩ බන්ධනාගාර මූලස්ථාන පරිශ්‍රයේදී නිල වශයෙන් ආරම්භ කෙරිණි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා පැවසුවේ බන්ධනාගාරගත රැඳවියන් බන්ධනාගාරගත වන්නේ කිසිදු කැමැත්තකින් නොවන බවත් එසේ බන්ධනාගාර ගත වූ විට ඇතැමුන් එයට හුරුවන බවයි. කෙසේ වුවත් බන්ධනාගාරගත රැඳවියන් සම්බන්ධව කරුණු 3ක් යටතේ අවධානය යොමු කර කටයුතු කළ යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.
ඒ අනුව ආරක්ෂාව ලබා දීම, රැකකවරණය හා පුනරුත්ථාපනය කිරීම සිදු කළ යුතු බවද ඔහු පෙන්වා දුන්නේය. ඒ සඳහා රජයට මහත් බරක් වූ මෙවන් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම ඉතාම වැදගත් බවත් එවැනි කටයුත්තක් සඳහා අවශ්‍ය උපරිම සහාය ලබා දීමට අමාත්‍යාංශයේ උපරිම දායකත්වය ලාබ දෙන බවද ඒ මහතා පැවසීය.
ඇවන්ඩ්ගාඩ් සමූහ ව්‍යාපාරය විසින් සිදු කරන්නට යෙදුණු මේ සමාජ සත්කාර ක්‍රියාදාමය නිසා රටටත් බන්ධනාගාර රැඳවියන්ටත් අත්වන ප්රතිලාභ රාශියකි.
ඒ අතර රැඳවියන්ට විදේශීය භාෂාවන් උගැනීමට හැකියාව ලැබීම හා වෘත්තීය පුහුණුව ලැබීම හා එමඟින් රැකියා අවස්ථා හිමි වේ.
ඊට අමතරව තවත් ප්රතිලාභ රාශියකි.
ඒ අතර පුහුණු උපදේශකයින් හරහා පුනරුත්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමත් රජයේ රුක් රෝපණ වැඩ සටහනට දායකත්වය ලබා දෙමින් තේක්ක ගස් 25000ක් රෝපණය කිරීමේ ව්‍යාපෘතියත් බන්ධනාගාරයට අවශ්‍ය පුස්තකාල පහසුකම් ලබාදීමත් සිදු කෙරේ.
සිරකරුවකුට ඩොලර් 4000ක මාසික ආදායමක් ලැබෙන විදේශ රැකියා පුහුණුව
එමෙන්ම රටට අවශ්‍ය එළවුළු හා අනෙක් වගාවන් ආරම්භ කිරීම හා මේ රැදවියන් පිළිගත් සමාගම්වලට අනුයුක්ත කිරීමත් සිදුකෙරේ.
එමෙන්ම දඬුවම් කාලය නිමවීමෙන් පසුව ඩොලර් 4000කට වැඩි ආදායමක් හිමි වන යුරෝපා රටවල රැකියා අවස්ථා ලබා දීමද සිදු කෙරේ.
මේ හරහා රැඳවියන් රටේ නිෂ්පාදනය උදෙසා වැඩි දායකත්වයක් ලබා දීම ද සිදු කෙරේ. ඒ හරහා ජාතික වශයෙන් පවතින ශ්‍රම හිඟයට පිළියමක් ලබා දීමද සිදු කෙරේ. එසේම අප මුලින් සදහන් කළ බන්ධනාගාර තුළ පවතින තදබදය අඩු කිරීමටද මෙය මහත් පිටිවහලක් වනු ඇත. නැවත නැවත බන්ධනාගාර ගත වීමට ගනු ලබන උත්සාහයන්ද ඒ හරහා වළකිනු ඇත.
මේ ව්‍යාපෘතියේ නියමුවන් වන නිශ්ශංක සේනාධිපති යනු නිකම්ම නිකම් හමුදා නිලධාරියකු නොවේ. යුද අත්දැකීම් මෙන්ම තමන් ලද අනෙක් පෞද්ගලික අත්දැකීම් ඔස්සේ නවමු මං පෙත් සොයා යන්නෙකි. නව නිර්මාණකරුවෙකි. ඒ නිර්මාණ නිරතුරුවම ආර්ථික වර්ධනයට දායක වන බවද ඉතාම පැහැදිලිය.
මීට පෙර අවස්ථාවකදීද රැඳවියන් 70 කට වෘත්තීය පුහුණුව ලබාදීම සඳහා නිශ්ශංක මහතා විසින් පියවර ගෙන තිබුණි. එම පිරිස් ඉදිකිරීම් ක්ෂේත්රයේ දේශීය ආයතන කිහිපයක සේවාවන්ට යොදවන ලදී. ඒ තුළින් ඉදිකිරීම් ආයතනවලට ලාභයක් සිදු වූවාක් මෙන්ම රජයටද සැලකිය යුතු අතිරික්ත මුදලක් විය. රැදවියන්ටද සලකිය යුතු මුදලක් හිමි විය.
සිරකරුවකුගේ දිනක ආහාර වේල සදහා පමණක් රුපියල් 750.00ක වියදමක් දැරීමට සිදු වේ. ඒ අනුව ඇවන්ඩ්ගාඩ් සමූහ ව්‍යාපෘතිය හරහා මේ සිදු කර ඇත්තේ රටේ ආර්ථිකයට මහත් වූ දායකත්වයකි. මත්කුඩු වසංගතය දුරුලීම සදහා අත හිත ලබාදීමකි. මේ ව්‍යාපෘතිය ඉදිරියට වැඩි දියුණු කිරීම සදහා කටයුතු සැලසීමට අමාත්‍යාංශ මට්ටමින් කටයුතු කරනු ලබන බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා මෙන්ම ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතාද පෙන්වා දෙයි. බන්ධනාගාරගත රැඳවියන් මෙවන් වෘත්තීය පුහුණුවකට යොමු කිරීම සම්බන්ධව ප්‍රතිපත්ති මට්ටමින් ගත යුතු තීරණවලට මේ වන විට අමාත්‍යාංශයේ අවධානය යොමු කර අදාළ කටයුතු සිදු කරමින් පවතී.
අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව හා ඇවන්ගාර්ඩ් සමුහ ව්‍යාපාරය එක්ව මේ සහන ව්‍යාපෘතිය දියත් කරනු ලැබේ.
මේ ආරම්භයක් පමණි. රජයේ චක්‍රලේඛවලට හිරවී සහන සේවාවන් මෙන්ම රටට කළ හැකි බොහෝ දේ අපට සමාජගත කිරීමට නොහැකි වී තිබේ. එහෙත් ඒ චක්‍ර ලේඛ ප්‍රතිපත්තිවලට ඉහළින් සමාජයට රටට වැඩ දායක වන සියල්ල ඉදිරියට ගෙන ඒමේ ක්‍රියාවලියක් මේ හරහා ආරම්භ වී තිබේ. එය දිගින් දිගටම සාර්ථක කර ගැනීම අප සියලු දෙනාගේම වගකීමකි.
උපුටා ගැනීම – සිළුමිණ පුවත්පත