උණ රෝගයෙන් මරු මුවට පත් වූ රජරට සරසවි සිසුවියගේ මව හඩා වැටෙමින් කියා සිටී
එයාගේ වෙලාවටද මන්දා කවුරුවත් එයාව උනන්දුවෙන් බැලූවේ නැහැ… – පෙම්වතා කියයි
විශ්ව විද්‍යාලේ නිවාඩු දුන්නා නම් , අදටත් මගේ කෙල්ල ජීවත් වෙනවා. මෙච්චර කාලයක් මං කළේ ලෙඞ්ඩුන්ට ආව තේව කරපු එක . මට මගේ කෙල්ල බේර ගන්න බැරි වුණා දෙයියනේ..
උණ රෝගය වැළඳීමෙන් මරු මුවට පත් වූ රජරට විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ ඔෂානි එරංගිකා පිටවල සිසුවිය ගේ මව වන අශෝකා රංජනී මහත්මිය එසේ කියමින් හඩාවැටුණාය.
ඔෂානි මහනුවර පිළිමතලාව මහ විද්‍යාල පාරේ පදිංචිව සිටියාය. ඇය මහනුවර ස්වර්ණමාලි බාලිකා විදුහලේ ආදි ශිෂ්‍යාවකි. උණ රෝගයෙන් පෙලූණු ඇය පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට හතේ වාට්ටුවේ නේවාසික ප‍්‍රතිකාර ලැබුවාය. රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කොට පැය විසිහතරක් යන්නට මත්තෙන් ඇය ජීවිතයෙන් සමුගෙන ගියාය.
ඉකුත් ඔක්තෝබර් විසිපස්වැනි දින ඔෂානි නිවසට පැමිණියේ තරමක උණ වැළඳීමත් සමගය. සෙනසුරාදා සහ ඉරිදා විශ්ව විද්‍යාල නිවාඩු දින බැවින් ඇය විවේකීව නිවසේ සිටියද ඉරිදා වනවිට යළි පාඩම් කිරිම ආරම්භ කළේ ඔක්තෝබර් විසිනවවැනි දින සිට දෙවැනි වසර විභාගය ආරම්භ කරන බවට දන්වා තිබූ නිසා යැයි මව කියා සිටියාය.
විභාගයට පෙනී සිටීම සඳහා ඔක්තෝබර් විසිනවවැනි දින රජරට විශ්ව විද්‍යාලය වෙත ගිය ඇය එදිනම සවස යළි නිවස ට පැමිණ ඇත්තේ දරුණු හිසරදයක් සහ ඇෙඟ් අමාරුව නිසාය. ඔෂානි පසුදින රෝහල් ගත කළද ඒවන විට ඇයගේ සිරුර ඇයට පාලනය කරගත නොහැකි ලෙස දුර්වලව තිබූ බව මව කියා සිටියාය.
ඔක්තෝබර් තිස් එක් වැනි දින ඔෂානි සදහටම මෙලොවින් සමුගෙන ගියාය. වෛද්‍ය වාර්තා අනුව ඇයගේ මරණයට හේතුව නිශ්චිත වශයෙන් සොයා ගත නොහැකි වූ බැවින් සිරුරේ කොටස් කොළඹ රස පරීක්ෂක වෙත යවා තිබේ.
ඔෂානි ගේ පියා වන ඩබ්ලිව්. සී. පිටවල මහතා විශ‍්‍රාමික රාජ්‍ය නිලධාරියෙකි. තරිඳු පිටවල බාල සොහොයුරා කොළඹ විශ්ව විද්‍යාලයේ කළමණාකරණ පීඨයේ සිසුවෙකි. ඔෂානි සමග වසර පහක් ළඟින් ඇසුරු කළ ඇයගේ පෙම්වතා පුද්ගලික ආයතනයක සේවයේ නියුතුව සිටී.
“අපි වසර පහක කාලයක් ආදරය කරනවා. ඔෂිනි කියන්නේ කිසිම වෙලාවක තරහා ගන්නේ නැති බොහොම හිත හොඳ කෙනෙක්. එයා මට වරින් වර කතා කර කර විස්තර කියනවා. මේ සැරේ උණ හැදුන වෙලාවේ ඉඳලාම කිව්වේ ‘‘ඇඟට හරිම අමාරුයි. කැම්පස් යන්න හිතෙන්නෙම නැහැ. ඒත් විභාගයට යන්නේ නැතුව බැහැනේ ’’කියලා. ඉස්පිරිතාලේදී එයාගේ වෙලාවටද මන්දා කවුරුවත් එයාව උනන්දුවෙන් බැලූවේ නැහැ. මම අන්තිම දවස් දෙකේ දකින කොට එයා ඉදිමිලා . දැන් කා ගැනවත් කියලා වැඩක් නෑ. ඔෂිනි අපිව දාලා ගිහින්… ඉදිරියේදිවත් මීට වඩා ලෙඩ රෝග ගැන තීරණ ගන්නා නිලධාරීන් අවධානය යොමුකළ යුතුයි කියලා විතරයි මම කියන්නේ..”
ඇය ගේ වියෝව විශ්ව විද්‍යාල පද්ධතියට ත් මේ සමාජයටත් තවත් එක් මරණයක් පමණක් වුවද , අදටත් මතුවටත් ඇයගේ පවුලේ සමීපතමයින්ට දරා ගත නොහි වේදනාවකි.