අපි හැමෝම ආසාකරන ගායකයකු තමයි අප අතරින් නැසී ගිය විශාරද ගුණදාස කපුගේ මහතා. ඔහු නික්ම ගිහින් කොතරම් කාලයක් ගත වුනත් ඔහුගේ ගීතනම් කිසිදාක ලාංකිකයන් අතින් නික්මෙන් නෑ. මේ ඔහු ගායනා කල අතිශය ජනප්‍රිය සිංහල සිංදු කියන ගීතයේ සැගවුනු සත්‍ය කතාව පිලිබදව සමකාලීන කලාකරුවෙකු තැබු සටහන.
එය 1994 ට ආසන්න කාලය වියයුතුය. මහ රෑ ප්‍රවීන සාහිත්‍යධර රත්න ශ්‍රී විජේසිංහයන්ගේ දුරකථනය නාද වෙනව. වහාම දුරකථනයට පිළිතුරු දෙන රත්න ශ්‍රී ට අනෙක් පසෙන් ලැබෙන්නේ මෙබදු පිළිතුරක්.
“රත්නෙ මේ මාසෙ සිවුදෙස සඟරාව කියෙව්වද?
මෙහෙම අහන්නේ විශාරද ගුණදාස කපුගේය. මාත් ඒ කාලෙ බොහොම ආසාවෙන් කියවපු හැමදෙනා අතර ඉතා ජනප්‍රිය වූ කවියෙක් හා මාධ්‍යවේදියකු වූ දයාසේන ගුණසේනයන් සංස්කරණය කළ මාසික සගරාව තමයි “සිවුදෙස” කියන්නෙ. කපුගේ කියන්නෙ ඒකෙ තිබුණු ලිපියක් කියවන්න කියල රත්න ශ්‍රී ට. ඒකෙ අපූරු කතාවක් ගැබ් වෙලා තිබුණා.
කතාව කෙටියෙන් මෙහෙමයි. දකුණු පළාතෙ එක්තරා ගමක කාන්තාවක් පොලිස් නිළධාරිනියක් හැටියට සේවයට එනවා අගනුවරට. ඇය මිරිහාන හා කිරුලපන පොලිස් ස්ථාන වල සේවය කරනව. ඇයට එහිදී මුණගැහෙනව උතුරේ සිට සේවයට පැමිණි දෙමළ ජාතික පොලිස් නිළධාරියෙක්. දැන හැදිනගැනීමෙන් කතාබහෙන් පස්සෙ මේ දෙන්නගෙ ඇසුර ප්‍රේමයක් බවට පත්වෙනව. ප්‍රේමයට ජාති, කුල, ගොත් නොපෙනේ. පසුව මේ සම්බන්ධයට දෙපාර්ශවයෙන්ම බාධා එල්ලවෙනවා.
විශේෂයෙන්ම කාන්තාවගේ පැත්තෙන්. මේ විරෝධතාව නොතකා දෙදෙනා විවාහ වෙනවා. ඒ එක්කම රටේ නොසන්සුන්තාවයක් හටගත්ත. ඒ 83 කළු ජූලියයි. එහි ප්‍රථිපලයක් ලෙස තරුණයාගේ රැකියාව අහිමි වෙනවා. ඔහුට වෙන කළහැකි දෙයක් නොවූයෙන් තම මනාලියද රැගෙන උතුරෙහි තම ගම්බිම් බලා ගමන්කරනව.
එතකොට උතුරේ වර්ගවාදී යුද්ධය ආරම්භ වෙලා. කියවමින් සිටි ලිපිය මදකට නවතා කොල කැබැල්ලක් ගෙන රත්න ශ්‍රී මෙසේ සටහන් කරන්නට වුණා.
“සිංහල සිංදු කියන නලලේ තිලක තියන කිරිල්ලී.. තුඩින් හදවතත් අරගෙන ගිනිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී..
මේක සත්‍ය කතාවක්. සියල්ල සිදුවී හමාරය. තවත් සැගවියයුතු තැන් ඇතැයි මා නොසිතමි. මෙහි කතා නායිකාව මාතර කඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි විනිතා සමරසිංහ ගුණසේකරයි. ඔහුගේ දමිල ජාතික පෙම්වතාගේ නම ඇසුවොත් ඔබ පුදුමයට පත්වේවි. ඔහු පසු කළක එල්.ටී.ටී.ඊ. සංවිධානයේ දේශපාලන අංශයේ නායකයෙකු වූ නඩේසන්ය. මොහුගේ නාමය පසුගිය කාලයේ බොහෝවිට මාධ්‍ය වලින් ඇසිණි. මේ දෙදෙනාම අවසන් සටන් වලදී මියගිය බව අසන්නට ලැබුණා.
කපුගේට හොඳ ඉවක් ඇත. රත්න ශ්‍රී ට ලිපිය කියවන්නට කීවේ කුමකටදැයි ඔහු හොදින්ම දැන සිටියේය. එහි ප්‍රථිපලය තමා අද මේ ඔබ රසවිදින ගීය. ගේය පදරචනාව දැකීමෙන් කපුගේ ඉමහත් සන්තෝෂයට පත්ව එහි තනුව හා සංගීතය ඔහුම නිර්මාණය කරන්නට වුණා. ගීතයට උපරිම සාධාරණයක් සංගීතයෙන් ගෙනෙන බව හොදින්ම පැහැදිලියි. මෙහි දෙමළ ජාතික ප්‍රේමවන්තයා හැගවීමට යෙදූ උපමාව මේ ගීතයේ මා ආසම කරන යෙදුම වන්නේය.
“දිව නුහුරු බසින් පෙම් කවි කී කුරුල්ලාට වශී වී”
දකුණට බොහෝ නෑකම් කියන ගීතයක් යැයි මා මුලින්ම පැවසූයේ කතා නායිකාව, කපුගේ, රත්න ශ්‍රී යන සියල්ලෝම දකුණුලක ඉපදුනු නිසාවෙනි. මාද එහි කොටස් කරුවෙකු බැවින් සියුම් සතුටක් නැතුවාම නොවේ. අද ප්‍රේමවන්තයෝ ද නැත. කපුගේ ද නැත. එහෙත් මේ ගීතය තව පරම්පරා ගණනාවක් පවතින බවට සැකයක් නැත. රත්න ශ්‍රී විජේසිංහයන් ගීතය හමාර කරන්නේ
“ආදරය නුඹට බාරයි රැක ගනින් දේවතාවී”
මෙයට දයානන්ද රත්නායක මහතා අදහස් දක්වමින් මෙලෙසද අදහස් එක කර තිබුනා.
ඔන්න ඔය වකවානුවේ මේ ගීය ගැන එල්.ටී.ටී.ඊ. සංවිධානයටත් තොරතුරු ලැබිල තිබූ නිසා ඒ සංවිධානය “ප්‍රභා සහ නඩේසන්” සිය චරපුරුෂයන් යොදවා. මේ කැසට් පටය පිටකොටුවෙ මල්වත්ත පාරෙ කැසට් කඩේකින් ගෙන්වා ගෙන තිබුණා. නඩේසන් විනිතා යුවල විතරක් නෙවෙයි මේ පිළිබඳව ලැබුණ තොරතුරු අනුව නම් ප්රභාකරන් පවා මේ ගිතය සහ කපුගේ ගේ ගිත අහලා බොහොම සතුටින් කතා කළා කියලයි ගිත රචකයාගෙන් සහ කපුගේගෙන් මම පෞද්ගලිකව දැනගත් තොරතුරු වල තියෙන්නෙ. එක්තරා අවස්ථාවක මගේ මතකයේ හැටියට යුද විරාමයක් තිබූ කාලෙක තමයි කපුගේට කපුගේගේ ගිත පිලිබඳව එල්ටීටීඊ දැක්වූ ප්‍රතිචාර පිලිබඳව මේ සියලු තොරතුරු දැනගන්න ලැබෙන්නෙ.
මේ ගිය විතරක් නෙවේ එල්.ටී.ටී.ඊ. සංවිධානය ප්‍රිය කරපු කපුගේ ගැයූ තවත් ගීයක් තියෙනවා ඒ “තල්වැට අයිනේ” ගීයයි.
උපුටා ගැනීමකි.