මේ ලෝකෙට අපි පා තබන්නේ මරණයත් උරුම කරගෙනමයි.
ඒත් ඒ අවසන් ගමන හිතුවෙවත් නැති විදිහට අකාලයේ යන්න වුණොත් ඒක සමීපතමයන්ට දරාගන්න අමාරුයි.
ඒ විදිහට කඳුලක් ඉතිරි කරමින් අවසන් ගමන් ගිය සොයුරියක් ගැන මුහුණුපොත පුරාම කතාවෙනවා.
ඇය අනුදි රන්මුතු.
පෞද්ගලික බැංකුවක සේවය කරමින් සිටි අනුදි කවුරු අතරත් ජනප්‍රිය වුණේ ඇයගේ අතින් ලියවුණු අපූරු කවි, සහ පොත් නිසයි.
හදවත් සසල කරන ඒ වගේම හදවත් සුවපත් කරන පන්හිදවලට හුඟක් අය ආදරේ කළා.
ඒ නිසාම අනුදි ගැන සටහන් මුහුණුපොත පුරාමත් හුවමාරු වෙනවා.
ඇය පසුගිය කාලේ පුරාම ඉඳලා තියෙන්නේ අසනීපෙන්.
ඉනෙන් පහළ පණ නැති වෙලා තිබුණු අනුදි ස්නායු රෝගයකින් පීඩා විදලා තියෙනවා.
ඉන්දියාවටත් අරන් ගිහින් සුව කරන්න හැදුවත් ඇයට ඒකට වාසනාවක් තිබිලා නැහැ.
කොහොම වුණත් පසුව නැවතත් ලංකාවට ඇවිත් ඇය පෞද්ගලික බැංකුවේ සේවයටත් ගිහින්.
ඊයේ කවුරුත් හිතුවේ නැති විදිහට ඇය ජීවිත ගමනට සමුදීලා තිබුණා.
අනුදි ගැන මුහුණුපොතේ මිතුරන් තැබූ සටහන් පහතින්…
ආයෙමත් එනවාද – ලිහිණි පියාපත් අරන් හෝ………
“අයියේ…ඇඩ්‍රස් එක දෙන්නකෝ”
‘ඇයි නංගි?’
“ඔයාට මගේ පොතක් එවන්න”
‘එපා නංගියෝ, මම සරසවි එකෙන් පොතක් අරගෙන එන්නම් ඔයාව බලන්න. ඒ අපු වෙලාවට මට අත්සනක් දාලා දෙන්න’
හුඟක් කාලෙකට කලින් ඒ කතාබහ ඉවර උනේ ඇය ගෙදරට එන විදියත් කියලා ෆෝන් නම්බර් එකත් දුන්නට පස්සේ. කොහොමහරි ඇයව හමුවෙන්න යන එක මග හැරුනා. ඒත් අපි පුළුවන් වෙලාවට කතා බහ කළා චැට් එකෙන්. මම මේ මුහුණු පොත ඇතුලේ දකින්න කතා බහ කරන්න එකට පින්තුරයක් ගන්න ආසාවෙන් ඉන්න අය අතුරෙන් ඇය එක් කෙනෙක්. ඒ වගේම සහෝදරියක් ගාණට මං හරි ආදරේ කල මට ශක්තියක් වෙච්ච කෙනෙක් එයා.
ඒ අනුදී රන්මුතු නැගණිය….
ඇය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යකඩ කෙල්ලෙක්. එන අභියෝග දරාගෙන මුහුණ දෙන අපහසුකම් විඳගෙන ජීවිතය විඳින්න උත්සාහ කල යුවතියක්…
ඒත් අද අහන්න උනේ පපුව පුච්චන කතාවක්…
“අනුදි නැති වෙලා”
ඒ වචන ටික අහනකොට මම උන්නෙත් පිළිකාවක් නිසා මියගිය දෙදරු මවකගේ මෘත දේහය අභිමුව. ජීවිතය කියන්නේ මහා පුදුම දෙයක් කියල එක පාරටම හිතුනේ. ඒ එක්කම පපුව පිච්චිලා ගියා. මොකද මං හමුවෙන්න ආසාවෙන්ම උන් කෙනෙක්.
ඒත් මම තවමත් ආසාවෙන් ඉන්නේ නුඹ හමුවෙන්න
ඉතින් ලිහිණි පියාපත් අරගෙන හරි
ආපහු එන්න
කොහේදී හෝ යලි හමුවෙන්න
එතකන්
බලන් ඉන්නම්
සුබ ගමන් නැගණිය!!!!!