Gossip

ඔබ නොඇසූ ආචාර්ය කේමදාසයන්ගේ අවසාන ගීත විස්ස

cvr

මෙරට සංගීත ක්ෂේත‍්‍රයට සුවිසල් මෙහෙවරක් සිදුකළ මහා සංගීතඥ පේ‍්‍රමසිරි කේමදාසයන්ගේ අවසන් සංගීත නිර්මාණ එකතුව එළඹෙන ඔක්තෝබර් මාසයේදී එළිදැක්වීමට සියලූ කටයුතු සැලසුම්කර ඇත. ගීත 20 කින් සමන්විත මෙය නම්කර ඇත්තේ ‘ආදර රහස්’ යන නමිනි. මෙම සීඞී තැටියේ අන්තර්ගත ගීත නිශාන්ත විජේසිංහයන් විසින් රචනා කර ඇති අතර එය එළඹෙන ඔක්තෝබර් මස 23 වැනිදා පස්වරු 6.30 ට නෙලූම් පොකුණ රඟහලේදී දොරට වඩියි. එහිදී සීඞී තැටියේ අඩංගු ගීත අදාළ ගායක ගායිකාවන් විසින් සජීවීව ගායනා කරනු ඇත. අමරසිරි පීරිස්, ටී. එම්. ජයරත්න, කසුන් කල්හාර, ඉන්දිකා උපමාලි, උමාරියා සිංහවංශ, ඩබ්ලිව්. ඞී. ආරියසිංහ, උමාලි තිලකරත්න සහ සුබුද්ධි ලක්මාලි ඇතුළු ගායක ගායිකාවෝ රැුසක් මෙම ප‍්‍රසංගයේදී ගී ගායනා කරති.

 

12

පේ‍්‍රමසිරි කේමදාසයන් යනු මෙරට සංගීතයේ නිම්වළලූ පුළුල් කළ මහා සංගීතඥයෙකු බව අමුතුවෙන් කිවයුතු නොවේ. දේශීය සංගීතය සාම්ප‍්‍රදායික සීමාමායිම්වලින් ඔබ්බට ගෙනයාමට එතුමන්ගෙන් සිදුවූයේ අමිල මෙහෙවරකි. ශී‍්‍ර ලාංකීය ජන සම්ප‍්‍රදායන්ගෙන් මෙන්ම හින්දුස්ථාන් සහ බටහිර සංගීත සම්ප‍්‍රදායන්ගෙන්ද අභාෂය ලබමින් තමන්ට අනන්‍ය වූ සුවිශේෂී සංගීත ආරක් ගොඩනැගීමට එතුමන් සමත් විය.
‘ආදර රහස්’ ගීත එකතුවේ ඇති සංගීත රටා, මිනිස් මොළයට උචිත සංඥා පරාසයක් උත්තේජනය කරන බව විද්‍යාත්මකව ඔප්පු කර ඇති බව, මෙම ප‍්‍රසංගයේ සංවිධායකවරු පවසති. එය මතකය, නිර්මාණශීලීත්වය සහ බුද්ධිය උද්දීපනය කරන ඇසිදිසි නිර්මාණයක් ලෙස ඔවුහු හඳුන්වති.
සීඞී තැටියට අමතරව ‘ආදර රහස්’ නමින් සුවිශේෂී ග‍්‍රන්ථයක්ද මෙම උත්සවයේදී එළිදැක්වෙනු ඇත. මෙහි සෑම ගීතයක් සඳහාම වෙනම පරිච්ෙඡ්දයක් වෙන්කර ඇති අතර, සංගීතයේ මනෝ විද්‍යාත්මක පැතිකඩ එහිදී විස්තර කෙරේ. එමෙන්ම එය උපතේ සිට මරණය දක්වා මානව පේ‍්‍රමයේ අධ්‍යාත්මික පසුබිම මනෝ විද්‍යාත්මකව විස්තර කරයි. ජීවිතයේ සාර්ථකත්වයට සහ පෞරුෂ වර්ධනයට වැදගත්වන කරුණු රැුසක්ද ඇතුළත් මෙම පොත දෙමාපියන්ට, යෞවන යෞවනියන්ට, මනෝ විද්‍යාව හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහ පොදුවේ මුළුමහත් සමාජයටම බෙහෙවින් ප‍්‍රයෝජනවත් වනු ඇත.

11
1992 දී පේ‍්‍රමසිරි කේමදාසයන් විසින් මෙම පදනම ආරම්භ කරන ලද්දේ විශේෂයෙන්ම දිවයිනේ අඩු පහසුකම්ලාභී පවුල්වල දරුවන්ට සංගීතය හැදෑරීමේ අවස්ථාව ලබාදීමේ උදාර අරමුණිනි. මෙම ප‍්‍රසංගයේ මූලික අරමුණක් වනුයේ කේමදාස පදනමේ ශිෂ්‍ය අරමුදලට ආධාර සපයාගැනීමයි. මෙමගින් ලැබෙන මුදලින් කොටසක් ඒ සඳහා වැයකොට එහි අනාගත සැලසුම් සකස් කිරීම ප‍්‍රසංගය අවසානයේදී සිදුවේ.

ප‍්‍රසංගයේ නිෂ්පාදක මහේන් ජේකොබ් මහතා මහනුවර ප‍්‍රදේශයේ සුප‍්‍රකට විද්‍යා ගුරුවරයෙකු වන අතර, මීට පෙර ඒ මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය වරයෙකු ලෙසද සේවය කර ඇත. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ප‍්‍රථම පන්තියේ උපාධියක් හිමි ඒ මහතා ඉගැන්වීම සම්බන්ධයෙන් හසළ දැනුමක් සහ අත්දැකීම් සම්භාරයක් හිමි අයෙකි. ඒ මහතා පවත්වාගෙන යන භෞතික විද්‍යා පාඨමාලා වැඩසටහන මහනුවර සහ කුරුණෑගල ප‍්‍රදේශවල සිසුන් දහස් ගණනකට විශ්ව විද්‍යාල ප‍්‍රවේශය සඳහා මහෝපකාරී වී තිබේ. විද්‍යා විෂයන් ඉගැන්වීමෙහි නිරත වී සිටින නමුත් තමන් කවදත් සාහිත්‍යයට හා කලාවට ඇලූම් කළ බව පැවසූ ඒ මහතා, මෙම ප‍්‍රසංගයට අනුග‍්‍රහකත්වය සඳහා ලැබුණු ආරාධනාව තමන් ඉතාමත් සතුටින් භාරගත් බව පැවසූ අතර, මෙවැනි වැඩසටහනක් ඔස්සේ රටේ සංගීත කලාවට මෙහෙවරක් ඉටුකිරීමට ලැබීම තමන් ලද ගෞරවයක් බවද අවධාරණය කළේ ය.

 

ප‍්‍රසංගයේ අරමුදල් භාවිතා කරමින් නව සංගීත පාඨමාලාවක් ආරම්භ කිරීමටද කේමදාස පදනම අපේක්ෂා කරයි. ආරම්භයේ සිට කේමදාස පදනම මගින් දේශීය හා ජාත්‍යන්තර සංගීත ක්ෂේත‍්‍රය ජයගත් සංගීත ශිල්පීන් හා ශිල්පිනියන් රාශියක් බිහිකර ඇත. ප‍්‍රථම දැක්මේදීම රු. මිලියන 3.7 ක ආදායමක් ලැබූ ‘දොරමඩලාව’ ඔපෙරාව මෙන්ම ‘පිරිනිවන් මංගල්‍යය’, ‘සොඳුරු වර්ණදාසි’ සහ ‘අග්නි’ යනු කේමදාස පදනමේ සුප‍්‍රකට නිර්මාණ අතරින් කිහිපයකි. 2008 වසරේ පේ‍්‍රමසිරි කේමදාස මහතාගේ අභාවයෙන් පසුව කේමදාස පදනම නව අධ්‍යක්ෂ මණ්ඩලයක් යටතේ ප‍්‍රතිසංවිධානය වී ඇති අතර එය දිගින් දිගටම මෙරට සංගීත ක්ෂේත‍්‍රයේ උන්නතියට සහ සංගීත ශිල්පීන්ගේ සුභසිද්ධියට කටයුතු කරමින් සිටී.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!