පසුගිය පාස්කු ඉරිදාවේ එල්ලවූ බෝම්බ ප්රහාරයන්ට අදාලව ආරක්ෂක අංශ විසින් දිවයින පුරා සිදුකරන සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වනවා.
මෙම මෙහෙයුම් අතරතුරදී සැකකටයුතු පුද්ගලයින් මෙන්ම භාණ්ඩ රැසක් ද ආරක්ෂක අංශ නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.
කොළඹ මධ්‍යම දූෂණ මර්දන ඒකකය විසින් කෙසෙල්වත්ත මොහන්දිරම් පටුමග ප්‍රදේශයේ නිවසක සිදු කළ සෝදිසි මෙහෙයුමකදී ජතිවාදය අවුස්සන සුළු සීඩී තැටි 28ක් සමග මොහොමඩ් අස්මීර් නැමැති පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර අනුරාධපුර කඩ 50 වැව් බැම්ම අසල දමාගොස් තිබූ පැරා වෙඩි පතොරම් සහ එම තුවක්කුවක් අනුරාධපුර පොලීසිය විසින් සොයාගත්තේය.
ආරක්ෂක අංශ විසින් අලවතුගොඩ නවය කණුව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී කඩුවක් , මන්නා පිහි 02ක්, වීඩීයෝ කැමරා 03ක් හා මෙරට භාවිතයට අනුමැතිය නොමැති රුධිරය ලබාගැනීමේ උපකරණ හා ආම්පන්න සමග පුද්ගලයින් 06දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා..
මේ අතර කළුතර නීතිය බලගැන්වීමේ ඒකකයට ලද තොරතුරකට අනුව වැලිපැන්න , ගල්අස්සේ ගොඩ මුස්ලිම් දේවස්ථානය අසල පාලු ඉඩමක වලදා තිබූ පුපුරණ ද්‍රව්‍ය හා ඇමෝනියා
නයිට්රේට් රසායනික ද්‍රව්‍ය අඩංගු පාර්සලයක්ද ආරක්ෂක අංශ විසින් සොයාගෙන ඇත.
අදාල පාර්සලය තුළ තිබී අඩි එකහමාරක් පමණ දිග බට තුනක නිෂ්පාදය කරන ලද බෝම්බ තුනක් සොයාගත් අතර පුද්ගලයින් දෙදෙනෙකුද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා..
මේ අතර මාතලේ වරකාමුර ප්‍රදේශයේදී ආරක්ෂක අංශ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී රුපියල් ලක්ෂ 05ට අධික වටිනාකමකින් යුත් ඇඳුම් තොගයක් සමග පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වලස්මුල්ල ප්‍රදේශයේ වෙළඳ සැලක හිමිකරුවෙකු අයි එස් අයි එස් ත්‍රස්ථ සංවිධානයේ ප්‍රචාරණ කටයුතු ඔහුගේ ෆේස්බුක් ගිණුම හරහා සිදුකරගෙන යන බවට ලද තොරතුරකට අනුව ඔහුව අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහුගේ නිවසේ තිබී වෝකි ටෝකි යන්ත්‍ර 02ක් ජංගම දුරකථන 05ක් හා වයර් රෝල් 02ක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
මේ අතර සීදුව පොලීසිය විසින් ඊයේ රාත්‍රියේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී කටුනායක ගුවන් හමුදා කඳවුර පාරේ නිවසක තිබූ ඩ්‍රෝන කැමරා 02ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.
එමෙන්ම කටුනායක නායක පාරේ කර්මාන්ත ශාලාවක සිටි මුස්ලිම් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී තව්හිද් ජමාද් සංවිධානයේ සාමජිකයින් දෙදෙනෙක් බවත් ඔවුන් දෙදෙනා සහෝදරයින් බවත් අනාවරණය වී ඇති බවයි අද දෙරණ වාර්තාකරු පැවසුවේ.
ඔවුන් දෙදෙනා වත්තල පදිංචිකරුවන් වන අතර ඔවුන් සතුව තිබී පරිගණක දෙකක් හා හමුදා ඇඳුම් හැඳ ලබාගත් ඡායාරූප කිහියක්ද සොයාගෙන තිබෙනවා.
මේ අතර සීදුව වෙලබොඩ පාරේ පාලමක් අසල දමා ගොස් තිබූ ගුවන් යානා නාශක ජීවී උණ්ඩ 05ක්, එස් එල් ආර් උණ්ඩයක් හා ටී 56 වර්ගයේ උණ්ඩයක් පොලීසිය විසින් සොයාලගනු ලැබුවේය.
එමෙන්ම සීදුවේ හෝටලයක තිබී කඩු තුනක් සමග පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර දර්ගා නගරයේදී අයි එස් සංවිධානයේ මෙරට සාමාජිකයින්ගේ ලැයිස්තුවේ ඇති පුද්ගයෙකු අලුත්ගම පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.
ඔහු රෙදිපිලි ව්‍යාපාරිකයෙකු වන අතර මොහොමඩ් රාසික් මොහොමඩ් රවුසාන් නැමැති පුද්ගලයෙක්.
මේ අතර ඊයේ (03) පස්වරුවේ යුධ හමුදව හා පොලීසිය එක්ව අනුරාධපුර තිසා වැව මීරාවිය රජයේ තේක්ක රක්ෂිතයේ සිදුකළ සෝදිසි කිරීමකදී රක්ෂිතයේ වලදමා තිබූ බෝර 12 පතුරම් තුවක්කුවක කොටස් දෙකක් , ජීව පතුරම් 06ක්, හිස් පතුරම් කොපු 08ක් සහ ඊයම් මූනිස්සම් 200කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇත.
තේක්ක රක්ෂිතයේ එක් ස්ථානයක අලුත කැපූ පස් ගොඩක් තිබීම හේතුවෙන් එම ස්ථානයේ සිදු කළ සෝදිසි කිරීමකදී මෙම භාණ්ඩ සොයාගෙන තිබේ.