News

අද අගමැතිව ගෙදර යවන්න හදන විශ්වාසභංගයේ අතීත කතාව මෙන්න

භංග වේවා ! භංග වේවා ! යනුවෙන් ඇසෙන විට අතීත දේශපාලන රැස්‌වීම් මෙන්ම සමාජවාදී මැයි පෙළපාලි මගේ සිහියට නැඟේ. අප කුඩා කල එම යුගවල දේශපාලනය කළ පිරිස්‌ සාමකාමීව මහා හඬින් භංග වේවා ! යන වචනය පාලකයන්ට පැවසූයේ ඔවුන් කෙරේ තිබූ කලකිරීම පෙන්නුම් කිරීම වෙනුවෙනි.

එහෙත් නිල වශයෙන් රජය කෙරෙහි හෝ අගමැතිවරයෙක්‌ කෙරෙහි හෝ කථානායකවරයෙක්‌ කෙරෙහි හෝ වෙනයම් රජයේ අමාත්‍යවරයෙක්‌ කෙරෙහි හෝ රටේ ප්‍රජාවට විශ්වාසයක්‌ නැති බව හැඟවීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ විශ්වාසභංග යෝජනාවයි. මා එසේ කියන්නේ මෙයට අත්සන් කරන පාර්ලිමේන්තු නියෝජිතයන් ජනතාව පත්කර එවූ කොටසක්‌ නිසාවෙනි. එහෙත් විශ්වාසභංග යෝජනාවක්‌ ඉදිරිපත් කිරීම හෝ සකස්‌ කිරීමේ පිළිවෙල හෝ ආදිය සම්බන්ධව කිසිදු ලිත නීතිරීති සඳහන් නොවේ. මෙය සම්ප්‍රදාය මත අතීතයේ සිට පැවත එන්නක්‌ සේ සැලකේ. එසේම මෙම යෝජනාවකට අත්සන් කළ යුතු අවම මන්ත්‍රීන් සංඛ්‍යාවක්‌ පිළිබඳව ද සඳහනක්‌ නොමැත.

පාර්ලිමේන්තුවට යම් විශ්වාසභංග යෝජනාවක්‌ ඉදිරිපත් වූ පසුව එම යෝජනාව පාර්ලිමේන්තු සම්ප්‍රදායේ පවත්නා රීතීන්ට අනුකූල වේ නම් පාර්ලිමේන්තුවේ කථානායකවරයා එම විශ්වාසභංග යෝජනාව පිළිගනු ලබයි. එම ලියෑවිල්ල පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාට ‘දින නියමයක්‌ නොමැති යෝජනාවක්‌’ ලෙස පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්‌තකයට ත්‍රිභාෂාවෙන් ඇතුළත් කිරීම සඳහා භාරදෙනු ලබයි. ස්‌ථාවර නියෝග 23 (3) ප්‍රකාර එසේ න්‍යාය පුස්‌තකයට ඇතුළත් කළ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව අන්කිසි නියෝගයක්‌ කරතොත් මිස, දැනුම් දෙන ලද දින සිට සම්පූර්ණ දින 05 ක්‌ ඉකුත් වන තෙක්‌ මිස එම යෝජනාව න්‍යාය පත්‍රයට ඇතුළත් කර විවාදයට ගත නොහැකිය. පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්‌වීමක්‌ කථානායකතුමාගේ සභාපතිත්වයෙන් රැස්‌ වී යෝජනාව විවාදයට ගැනීම පිළිබඳව හා දින නියම කර ගැනීම සඳහා සහ ඡන්ද විමසීම සිදුකරන දිනය තීරණය කරයි. ඉන් පසුව පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇති එම යෝජනාව, අදාළ දිනයේදී විවාදයට ගෙන ඡන්දය විමසනු ලබයි.

සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවට යම් විශ්වාසභංග යෝජනාවක්‌ ඉදිරිපත් වූ පසුව පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කළහොත් එම යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්‌තකයේ ඇතුළත්ව තිබුණ ද යෝජනාව අහෝසි වේ. ඒ අනුව ඉදිරි සැසිවාරයේ නැවත ඉදිරිපත් කළ හැකිය.

අද මා විසින් විශ්වාසභංග යෝජනාවක්‌ සම්බන්ධ කරුණ සාකච්ඡාවට බඳුන් කරන්නේ, 2018 මාර්තු මස 21 වැනි බදාදා දින වර්තමාන රජයේ අග්‍රාමාත්‍යතුමා පිළිබඳව ඇති වී ඇතැයි කියන විශ්වාසය කියෑවීම සම්බන්ධව කථානායකතුමන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්‌ විසින් භාරදුන් නිසාවෙනි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ විවාදයට ගැනුණු 46 වැනි විශ්වාසභංග යෝජනාවට පසු එන 47 වැනි යෝජනාව ලෙස මෙය අධ්‍යයනයේදී මා හට හමුවිය. මා මෙහිදී සඳහන් කරන ලද්දේ පාර්ලිමේන්තුවේ විවාදයට ගැනුණු සංඛ්‍යාව පමණකි. මීට අමතරව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ නමුත් විවාදයට භාජන නොවූ විශ්වාසභංග යෝජනාවන් ද ඇති බව සඳහන් කරමි.

පාර්ලිමේන්තුවේ විවාදයට භාජන වූ විශ්වාසභංග යෝජනා පිළිබඳ ඉතිහාසය අධ්‍යයනය කරන්නකුට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මුල්ම විශ්වාසභංග යෝජනාව වශයෙන් හමුවන්නේ 1949.09.20 දින රජයට විරුද්ධව ඉදිරිපත් කළ විශ්වාසභංගයයි. මෙම අවස්‌ථාවේ පාර්ලිමේන්තුවේ කථානායක වූයේ (ශ්‍රීමත්) ෆ්‍රeන්සිස්‌ මොළමුරේ මැතිතුමාය. මෙම යෝජනාව ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා ඉදිරිපත් කර ඇති අතර, ස්‌ථිර කර ඇත්තේ කේ. රාජලිංගම් මන්ත්‍රීතුමන් ය. මෙම යෝජනාවට පක්‌ෂව ඡන්ද 30 ක්‌ හා විපක්‌ෂව ඡන්ද 55 ක්‌ ලැබී ඇත. යෝජනාව පරාජය වී ඇත.

2018 මාර්තු 21 දින ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයකුට විරුද්ධව ඉදිරිපත් කරන ලද 03 වැනි යෝජනාව වේ. ඒ අනුව මීට පෙර 1957.09.04 දින එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මැතිතුමා වෙනුවෙන් හා 1975.12.23 දින සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියට එරෙහිව විශ්වාසභංග යෝජනා ඉදිරිපත් කර ඇත. එම විස්‌තර පහත සඳහන් කරමි.

ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා පිළිබඳව විශ්වාසයක්‌ නොමැති බව දන්වා 1957.09.04 දින ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව අනුව පාර්ලිමේන්තු ඉතිහාසයට මුලින්ම එක්‌වන අග්‍රාමාත්‍යවරයා වන්නේ එස්‌. ඩබ්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මැතිතුමන්ය. ඒ වනවිට පාර්ලිමේන්තුවේ කථානායක ධුරය උසුලා ඇත්තේ එච්. එස්‌. ස්‌මයිල් මහතා ය. පාර්ලිමේන්තු මන්ත්‍රී සී. සුන්දරලිංගම් මහතා ඉදිරිපත් කළ මෙම යෝජනාව සී. වන්නිසිංහම් මන්ත්‍රීවරයා ස්‌ථිර කර ඇත. මෙම යෝජනාව පරාජයට පත් වී ඇත්තේ යෝජනාවට පක්‌ෂව 01 ඡන්දයක්‌ පමණක්‌ ලැබීමෙනි. යෝජනාවට විරුද්ධව ඡන්ද 45 ක්‌ ලැබී ඇත. මෙහි විශේෂත්වය වන්නේ යෝජකයා හෝ ස්‌ථිර කළ පුද්ගලයා හෝ දෙදෙනාගෙන් එක්‌ අයෙක්‌ පමණක්‌ ඡන්දය දී තිබීමයි. (වැඩි තොරතුරු හැන්සාඩ් වාර්තාව Vol.30(1) col. 148-194) අග්‍රාමාත්‍යවරයකු සම්බන්ධව දෙවැනි විශ්වාසභංග යෝජනාවට මුහුණ දී ඇත්තේ සිරිමාවෝ බණ්‌ඩාරනායක අග්‍රාමාත්‍යතුමියයි. 1975.12.23 දින මෙම යෝජනාව පාර්ලිමේන්තු විවාදයට ගෙන ඇත. මෙම වකවානුවේ කථානායක වශයෙන් කටයුතු කරන ලද්දේ ස්‌ටැන්ලි තිලකරත්න මහතාය. මෙම යෝජනාව ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කර ඇති අතර ප්‍රින්ස්‌ ගුණසේකර මහතා යෝජනාව ස්‌ථිරකර ඇත. මෙදින ඡන්ද විමසීමේදී යෝජනාවට කැමැත්ත පළකරමින් මන්ත්‍රීවරුන් 43 දෙනෙක්‌ ද විරුද්ධව 100 ක්‌ හා එක්‌ අයෙක්‌ ඡන්දය දීමෙන් වැළකී හිඳ, යෝජනාව පරාජය වී ඇත. (වැඩි තොරතුරු හැන්සාඩ් වාර්තාව Vol.17(11) col. 4279-4612)

අග්‍රාමාත්‍යවරයකුට එරෙහිව 2018 මාර්තු මස 21 දින ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු ඉතිහාසයට එක්‌වන 3 වැනි විශ්වාසභංග යෝජනාව 2018 අප්‍රේල් 04 වැනි දින විවාදයට ගැනීමට තීරණය වී ඇත. මෙහිදී පාර්ලිමේන්තුවේදී ඇතිවන්නා වූ වාද විවාද වර්තමාන මාධ්‍යකරණයේ දියුණුව සමඟ පාර්ලිමේන්තුවට නොපැමිණ වුව ද දැකබලා ගැනීමට හැකිය.

මෙසේ අග්‍රාමාත්‍යවරුන්ට අමතරව කථානායකවරුන්ට ද අතීතයේ විශ්වාසභංග යෝජනා ඉදිරිපත් වී ඇත.

ආර්. එස්‌. පැල්පොල (1963), ෂර්ලි කොරයා (1966) හා එම්. ඒ. බාකීර් මාකාර් (1980) එම කථානායකවරුන් ය. තව ද එම්. එච්. මොහොමඩ් කථානායවරයාට එරෙහිව 1991 සහ 1992 යන වර්ෂ දෙකෙහි විශ්වාසභංග යෝජනා ඉදිරිපත් කර ඇත. එකම කථානායකවරයාට දෙවරක්‌ විශ්වාසභංගයන්ට මුහුණ දීමෙන් එතුමා ද ඉතිහාසයට එක්‌වේ.

තවද විපක්‌ෂ නායකවරයකුට ද විශ්වාසභංග යෝජනාවක්‌ ඉදිරිපත් වී ඇත. එයට මුහුණ දුන් විපක්‌ෂනායකවරයා වූයේ ඒ. අමිර්තලිංගම් මැතිතුමාය. 1981.07.23 දින ඉදිරිපත් වූ මෙම විශ්වාසභංග යෝජනාවට පක්‌ෂව ඡන්ද 121 ක්‌ හා දෙදෙනකු ඡන්දය දීමෙන් වැළකී හිඳ, එම විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව අමිර්තලිංගම් මහතාට විපක්‌ෂනායක ධුරය අහිමි විය.

තවද, කථානායකවරයාට මන්ත්‍රී කණ්‌ඩායමක්‌ විසින් භාරදෙනු ලබන විශ්වාසභංග යෝජනා සම්බන්ධව පාර්ලිමේන්තු ඉතිහාසයේ දැන සිටින්නා වූ හා භාවිත කර ඇති රීති ප්‍රකාරව ප්‍රතික්‌ෂේප කිරීමට ද කථානායකවරයාට හැකියාව ඇත. ඒ අනුව 1981.08.04 දින රජයට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව සලකා බලා සාකච්ඡා කර එය විවාදයට ගැනීම කථානායකවරයා ප්‍රතික්‌ෂේප කර ඇත. දෙවනුව 1983.08.09 දින ද රජයට ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව ද විවාදයට ගත නොහැකි බවත් තව ද 1991.10.09 දින ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව අවලංගු (lapsed) වී ඇත.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 19 වැනි සංශෝධනය ක්‍රියාත්මක වීමට පෙරාතුව සම්මත වී තිබුණේ යම් ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාවක්‌ එම තැනැත්තා හෝ රජය පරාජයට පත්වුවහොත් ඒ තැනැත්තා තම ධුරයෙන් ඉල්ලා අස්‌වීම හෝ රජය පාලනයෙන් ඉවත් වී ඉදිරි කටයුතු කිරීම සඳහා මඟ පාදා දීමක්‌ වේ. අප පාර්ලිමේන්තුවේ මෙවැනි තත්ත්වයක්‌ මෙතෙක්‌ උද්ගත වී නොමැති බැවින් ඒ පිළිබඳව මා හට අත්දැකීම් නොමැත.

පාර්ලිමේන්තු ඉතිහාසය ගත් කල ඉහත සඳහන් විපක්‌ෂනායකවරයාට විරුද්ධව සම්මත වූ විශ්වාසභංග යෝජනාව හැර පවතින රජයක අගමැතිවරයකුට හෝ කථානායකවරයකුට හෝ අමාත්‍යවරයකුට හෝ එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනා පාර්ලිමේන්තුවේ මෙතෙක්‌ ජයග්‍රහණය කර නොමැති බව පෙනේ.

පී. ලක්‌ෂ්මන් කුමාර

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව

උපුටා ගැනීමකි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!