වසර හයක සිර දඬුවමක් නියමවූ පුද්ගලයෙකු අධිකරණය මග හරිමින් වසර දෙකක පමණ කාලයක් කට්ටි පනිමින් නිවෙස් මංකොල්ලකෑමේ යෙදී සිටියදී සපුගස්කන්ද පොලිසීය මගින් පෙරේදා (11) වැනිදා පස්වරුවේ සියඔලාපේ ප්රදේශයේදී අත් අඩංගුවට ගෙන ඇත.
ඒ සමගම මොහු සමග මෙම මංකොල්ලකෑම් වල යෙදුන මොහුගේ සගයන් දෙදෙනෙකු ද ඊයේ (12) වැනිදා ලූණුගම්වෙහෙර ප්රදේශයේදී අත්අඩංගුවට ගැනුණි.
මේ අතර මෙම මංකොල්ල කල්ලියේ තවත් පුද්ගලයන් හතර දෙනෙක් සැඟවී සිටින අතර ඔවුන් ද අත්අඩංගුවට ගැනීමට දැන් කටයුතු කර ගෙන යති.
මෙම මංකොල්ල කල්ලියේ නායකයා මොහු වන අතර එම කල්ලිය විසින් හෙයියන්තුඩුව, සූරියවැව, බඩල්කුඹුර, කතරගම, වීරඹුගෙදර, කුලියාපිටිය හා බියගම යන ප්රදේශවල නිවාස දහයක් පමණ මංකොල්ලකා රන් ආභරණ හා මුදල් පැහැර ගෙන ගොස් තිබේ.
මේ සඳහා යොදා ගත් නවීන පන්නයේ මෝටර් රථ දෙකක්, ඩි්රල් මැෂින්, උල්පිහි, ඉස්කුරුප්පු නියන් , අත් වැසුම් , මුහුණු ආවරණ හා බූට් යනාදිය පොලිස් භාරයට ගෙන ඇත.
මොවුන් විසින් ස්මාර්ට් ජංගම දුරකථන ඔස්සේ ගුගල් මැප් හරහා දිවයිනේ ධනවත් නිවාස බලා නවීන පන්නයේ මෝටර් රථ හා වෑන්රථවලින් ගොස් මංකොල්ලකෑම් සිදු කර තිබෙන අතර ඒවායින් පැහැර ගත් රන් ආභරණ දැනට සැඟවී සිටින ඵම කල්ලියේ පුද්ගලයන් හතර දෙනාගේ මාර්ගයෙන් විකුණා තිබෙන බවට තොරතුරු ලැබී ඇත. ඵම මුදල්වලින් ප්රධාන සැකකරු නවීන පන්නයේ මෝටර් රථයක් මිලදී ගෙන තිබේ.
ඉකුත් 2007 වසරේ දී මොහු අත් අඩංගුවට ගැනීමට ගිය උප පොලිස් පරීක්ෂකවරයෙකුට පිහියෙන් ඇන පළා ගිය අතර පසුව මොහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් වසර හයක සිර දඩුවමක් ඔහුට නියම විය. මොහු රක්ෂිත බන්ධනාගාරයේ සිටියදීම රූපවාහිනී නාලිකාවක පැවැති වැඩ සටහනකටද ඉදිරිපත් වී ඇත. මොහු මල්වාන ප්රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකු වන අතර සගයන් දෙදෙනා ලූණුගම් වෙහෙර ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 23 හා 26 වන වියේ පසුවන්නන් වෙති.
මොවුන් මහර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
දෙල්ගොඩ ඩබ්ලිව් ඞී. විතාන
