කොරෝනා වෛරසය පැතිර යාම ආරම්භ වූ චීනයේ වුහාන් නගරයෙන් හා ඊසාන දිග චීන ප්‍රදේශයක් වන ජිලින් ප්‍රදේශයෙන් සති ගණනාවකට පසු අලුතින් කොරෝනා වෛරස් පොකුරු (ක්ලස්ටර් ) සොයා ගත් බව චීන බලධාරීන් විසින් (11දා) ප්‍රකාශ කිරීමත් සමගම එරට දෙවැනි වරටත් කොරෝනා වසංගත රැල්ලක් පැතිරීමේ අවදානමක් මතුව අතී බව විදෙස් මාධ්‍ය පවසයි.
චීනයේ කොරෝනා වෛරසය පැතිර ගිය කේන්ද්‍රස්ථානය වූ වුහාන් නගරයෙන් ඉකුත් අප්‍රේල් මස මුල සතියෙන් පසු කොරෝනා වෛරස් ආසාදිතයින් 05 දෙනෙකු හඳුනාගෙන තිබේ. චීනයේ සෞඛ්‍ය බලධාරීන්ට අනුව කුඩා කොරෝනා පොකුරු හරහා මතු වී ඇති මෙම අලුතින් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 05 දෙනාම වුහාන් නගරයේ කොරෝනා වෛරසය පැතිර යාම ඇරඹි නිවාස සංකීර්ණයෙන්ම සොයා ගෙන තිබේ.
වුහාන් නගරයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සහ කොරෝනා මරණ සංඛ්‍යාවේ ශීග්‍ර අඩු වීමක් දක්නට ලැබීම හේතුවෙන් චීනය ඉකුත් මස මුල සිට වුහාන් නගරය ඇතුළු අගුලු දමා තිබු හුබෙයි ප්‍රදේශයේ නගර වල අගුලු දැම්මේ සීමාවන් ඉවත් කිරීමට පියවර ගත්තේය.
වුහාන් නගරයෙන් ඊයේ (11) දිනයේ වාර්තා වී ඇති අලුත් කොරෝනා ආසාදිතයින් 05 දෙනාගෙන් එක් අයෙකු ඉකුත් අප්‍රේල් මාසයේ වුහාන් නගරයෙන් වාර්තා වූ 39 හැවිරිදි කොරෝනා ආසාදිතයාගේ බිරිය බව අනාවරණය වී තිබේ. කෙසේ වුවද වාර්තා වී ඇති සියලු කොරෝනා ආසාදිතයින් කැස්ස ,උණ වැනි කොරෝනා ආසාදන රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන අය වීම නිසා ඔවුන් හරහා තවදුරටත් වෛරසය සමාජය තුළ පැතිර තිබීමට ඉඩ ඇති බවටද මත පළ වී තිබේ.
මේ අතර චීනයේ ජිලින් ප්‍රදේශයේ ශුලාන් නගරයෙන්ද ඉකුත් සති අන්තයේ කොරෝනා ආසාදිතයින් 11 දෙනෙකු වාර්තා වීම නිසා ඉරිදා සිට එම නගරය තුළ හමුදා නීතිය ක්‍රියාත්මක කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන ඇති අතර නගරයම මේ වන විට අගුලු දමා තිබේ. වෛරසය පැතිරීම වැළක්වීම සඳහා නගරයේ මහජනතාව ගැවසෙන සියලු පොදු ස්ථාන තාවකාලිකව වසා දැමීමටද මේ වන විට පියවර ගෙන තිබේ.
ඒමන්ති මාරඹේ
