පාතාලය යැයි සමාජය විසින් හඳුන්වනු ලබන සංවිධානානාත්මක අපරාධකරුවන්ගේ ලේඛනයට අලුතින්ම එක් වුණු නාමය වන්නේ ශානුක මදුෂාන් හෙවත් ඕලු මරාය. වෙන්නප්පුව කේන්ද්‍ර කර ගනිමින් සිය පාතාල අධිරාජ්‍ය ගොඩනඟමින් සිටි ඕලු මරා තවමත් පසු වන්නේ විසිතුන් වන වියේය. කප්පම් ගැනීමත් මත්කුඩු ජාවාරමත් සිය ප්‍රධාන ආදායම් මාර්ගය බවට පත් කරගෙන සිටින ඔහු වෙන්නප්පුවේ යමක් කමක් ඇති ව්‍යාපාරිකයන්ට නිදහසේ ඉන්නට ඉඩ දුන්නේද නැත. ඔහු කප්පම් ගත්තේ ලක්ෂ ගණනනි. ව්‍යාපාරිකයන්ට මරණ බිය ඇති කරමින් ඔහු කප්පම් ගත්තේ අනුරාධපුරය හොල්ලාගෙන සිටින එස්.එෆ්. ලොක්කා නැමැති පාතාලයේ අපරාධකරුගේ අඩි පාරේ යමිනි.
වසන්ත සොයිසා අනුරාධපුරයේදී සහසික ලෙස මරා දැමුවේ එස්.එෆ්. ලොක්කාය. දේශපාලන සම්බන්ධකම්ද නොඅඩුව ඇති එස්.එෆ්. ලොක්කා පසුගිය දිනවල ප්‍රධාන ජනපති අපේක්ෂකයෙකුට සහාය පළ කරමින් සිටියේ එම අපේක්ෂකයාගේ පෝස්ටරයක් පවා සිය සුඛෝපභෝගී ප්‍රාඩෝ රථයේ ප්‍රදර්ශනය කරමිනි. පොලිස් අණට පවා කීකරු නොවී අනුරාධපුරයේ අස්සක් මුල්ලක් නෑර එම පෝස්ටරය ප්‍රදර්ශනය කරමින් දැඟලූ එස්.එෆ්. ලොක්කා දැන් ඉන්නේ අනුරාධපුර බන්ධනාගාරයේය. ඒ ජනාධිපතිවරණ සමයේදී ඔහු එළියේ සිටියහොත් අනුරධපුරයේ ඡන්ද භීෂණයක් ඇති වන බව පොලිස් ලොක්කන් වටහාගැනීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. පොලීසිය පැත්තෙන් කියැවෙන ආකාරයට අනුව ජනපති අපේක්ෂකයාගේ පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් ඔහු අනුරාධපුරයේ කරක් ගැසූ ප්‍රාඩෝ රථය පවා එකලස් කරන ලද්දකි. එම රථය දැන් ඇත්තේ පොලිස් භාරයේය.
ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන එස්.එෆ්. ලොක්කා වැඩ පෙන්නන්නට ගියේ අනුරාධපුරයේ පමණක් නොව, වෙන්නප්පුව පැත්තේද කරක් ගැසුවේය. ඒ ඕලු මරාගේ සහාය ඇතිවය. දෙන්නා ගජ මිතුරෝය. මේ දෙන්නාගේ මිතුදම ගොඩනැඟෙන්නේ අනුරාධපුර බන්ධනාගාරයේදීය. වසන්ත සොයිසා ඝාතනයට සැකපිට ඕලු මරා සහ එස්.එෆ්.ලොක්කා එකිනෙකා දැන හඳුනා ගන්නේ අනුරාධපුර බන්ධනාගාරයේය. ඒ 2016 වසරේදීය. ඒ වන විට එස්.එෆ්.ලොක්කා බන්ධනාගාරගතව සිටින්නේ වසන්ත සොයිසා ඝාතනයටය. එම ඝාතනය සිදුවන්නේ 2015 වසරේ ඔක්තෝම්බර් 24 වෙනිදාය.
ඊට දින කිහිපයකට පසු එස්.එෆ්. ලොක්කා පොලීසිය අත්අඩංගුවට ගන්නේ හලාවත පැත්තේදීය. අනුරාධපුරය හොල්ලන පාතාලයේ වැඩකරුවෙකු බවට එස්.එෆ්. ලොක්කා පත් වන්නේද වසන්තගේ ඝාතනයත් සමඟිනි. ඒත් එක්කම ඔහු හිරේ සිට අනුරාධපුරයේ ව්‍යාපාරිකයන් බිය ගන්වමින් කප්පම් ගත්තේ බන්ධනාගාරයේ සුරසැප විදීමට අතපය දිගහැර වියදම් කරන්නටය.
ඕලු මරාට එස්.එෆ්. ලොක්කා මුණ ගැසෙන්නේ ඔය අතර තුරදීය. ඕලු මරා බන්ධනාගාරගත වන්නේ 2016 වසරේ අප්‍රේල් 17 වෙනිදා ඔහු අතින් සිදු වන ඝාතනයකට සැකපිටය. එදා ඔහු අතින් ඝාතනය වන්නේ ලුණුවිල පැත්තේ ගණන්කාරයෙකු වූ තැඹිලි කුමාර නැමැත්තාය. ලුණුවිල කෝන්ගහයාය පාරේ නිවසක පදිංචිව සිටි රේන්දගේ රසික ක්‍රිෂාන්ත පෙරේරා හෙවත් තැඹිලි කුමාර නැමැත්තා කපා කොටා මරා දමන්නේ ඕලු මරා සිය ගෝල බාලයන් සමඟ එක්වය. ඊට මුල් වන්නේ යැයි කියැවෙන්නේ තැඹිලි කුමාර විසින් ඕලුමරාගේ පියාට කළ පහරදීමකි.
අපරාධ ලෝකයේ ඕලු මරාගේ නාමයට තැනක් හිමි වන්නේ ඒත් එක්කමය. එහෙත් ඔහුට වැඩි කල් නිදහසේ දඟලන්නට ඉඩක් නොවීය. පොලිස් විශේෂ කාර්ය බළකායේ කණ්ඩායමක් ඕලු මරාව අල්ලා සිරගෙදරට යවන්නේ ඔහුගේ සහෝදරයෙකු සහ ගෝලබාලයන් දෙදෙනෙකු සමඟිනි. ඕලු මරා මත්කුඩු ජාවාරමට අතපොත් තබන්නේ බන්ධනාගාරයේදීය. ඒ එස්.එෆ්. ලොක්කාගේ ආශිර්වාදය ඇතිවය.
එස්.එෆ්. ලොක්කාත් ඕලු මරාත් රඳවා සිටියේ එකම සිර මැදිරියකය. එම සිරමැදිරිය තුළ එස්.එෆ්. ලොක්කාට අඩුවකට තිබුණේ ගැහැනියක පමණි. සෙසු සියලුම සැප සම්පත් ඔහු සිරකුටියේ සිට වින්දේය. ඒ අනුරාධපුර ව්‍යාපාරිකයන්ගෙන් ගන්නා කප්පම් මුදල්වලිනි. ඕලු මරාද වෙන්නප්පුවේ ව්‍යාපාරිකයන් බිය වද්දවමින් කප්පම් ගැනීමට පෙලඹෙන්නේ එස්.එෆ්. ලොක්කාගේ අඩි පාරේ යමිනි. හිතේ හැටියට ජංගම දුරකතන පරිහරණය කරමින් ඕලු මරා අනුරාධපුර බන්ධනාගාරයේ සිට වෙන්නප්පුවේ භීෂණයක් වැපුරුවේය. ඒ පොලීසියට පවා ඒ ගැන කිසිදු පැමිණිල්ලක් නොලැබෙන ලෙස ඉතා සූක්ෂමවය.
ඕලු මරා හිරෙන් එළියට එන්නේ වෙන්නප්පුවේම බලය සියතට ගෙනය. මත්කුඩු ජාවාරමේදීද ඔහුට ඉහළින් යන්නට වෙන්නප්පුවේම කිසිවෙක් නොවීය. සිය හයිය ඔහු පෙන්වූයේ ගිනි අවියක් ඇතැතිව සිය රාජධානිය පිහිටි සිරිගම්පළ පැත්තේ යතුරු පැදියකින් කරක් ගසමිනි. ගමේ කිසිවෙකු පොලීසියට ඒ ගැන කියන්නට නොගියේ දරුණු පලවිපාකවලට මුහුණ දෙන්නට සිදු වන බව දන්නා බැවිනි.
ඕලු මරාගේ මැර වැඩ ගැන කෙසේ වෙතත් ඔහුගේ මත්කුඩු ජාවාරම ගැන වෙන්නප්පුව පැත්තට අලුතින් පත් වූ සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරාගේ කන වැකීමට එතරම් කාලයක් ගත නොවීය. පොලිස් දෙපාර්තමේන්තුවේ සිටින දක්ෂ නිලධාරීන් අතර ඉදිරියෙන් සිටින්නෙකු වන එරික් පෙරේරා පොලිස් විශේෂ කාර්ය බළකායේද සේවයේ නිරතව සිටි කීර්තිමත් නිලධාරියෙකි. එල්.ටි.ටී.ඊ.යේ ඝාතන ලැයිස්තුවේ පවා ඉහළින්ම ඔහු සිටියේය.
එරික් පෙරේරා ඉතා රහසිගතව ඕලු මරා ගැන තොරතුරු රැස් කළේය. වෙන්නප්පුවේ තරුණ පරපුර ඒ වන විටත් ඔහු බිලි ගනිමින් සිටින බව ඔහුට පෙනී ගියේය. පාසල් සිසුන් ඔහුගේ ප්‍රධාන ඉලක්කයක් බවට ඒ වන විටත් පත් වී ඇතැයි ඔහු තේරුම් ගත්තේය. හතේ පන්තියට පමණක් පාසල් ගොස් ඇති අයෙකු වූ ඕලු මරා අපරාධ ලෝකයට අතපොත් තබා ඇත්තේද පාසල් යන වකවානුවේදීම බව එරික් පෙරේරාට පෙනී ගියේය. එකල ඔහු සොර දෙටුවෙකි. ඔහු වැඩි වශයෙන් සොරාගන්නේ මාළුය. එකල ඔහුට නම පට බැඳෙන්නේ මාළු හොරා යැයි කියාය. ඕලු මරා බවට පද පෙරළෙන්නේ මාළු හොරා කණපිට පෙරළීමෙනි.
පොලීසියේ ඇති තොරතුරුවලට අනුව ඕලු මරා එකල වෙන්නප්පුවේ නම ගිය සොරෙකි. නිවෙස් බිඳුම් සහ සොරකම්වලට ඔහු පොලීසියට කිහිප විටක්ම හසුවී ද ඇත. නමගිය හොරා නමගිය පාතාලයේ මැරයෙකු බවට පර්වර්ථනය වීමේ හැරවුම් ලක්ෂ්‍ය තැඹිලි කුමාරගේ ඝාතනයයි. එදා ඕලු මරා අතින් තැඹිලි කුමාර මිය නොයන්නට අනුරාධපුර බන්ධනාගාරයේදී එස්.එෆ්. ලොක්කාව ඔහුට ඇසුරු කරන්නට ඉඩක් ලැබෙන්නේ නැත. එසේ නම් ඔහු අදටත් හොරෙකු පමණි.
පාතාලයේ කෙරුමෙකු ලෙස මෙන්ම මත්කුඩු ජාවාරමේ දැවැන්තයෙකු ලෙස බන්ධනාගාරයෙන් අතපොත් තබා එළියට පැමිණ වැඩ පෙන්වමින් සිටි ඕලු මරා සිය ගෝලබාලයන් කිහිප දෙනෙකුද සමඟ එරික් පෙරේරා විසින් එළූ දැලකට කොටු වන්නේ ඉකුත් 09 වැනිදාය. ඒ මත්කුඩු තොගයක්ද සමඟිනි. ඕලු මරා එතෙක් කලක් රහසිගතව පවත්වාගෙන ගිය වදකාගාරයක තොරතුරු හෙළි වන්නේ ඉකුත් සතියේදීය. ඒ පොලිස් භාරයේ තිබුණු ඕලු මරාගේ ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේදීය. එහි තරුණයන්ට වදහිංසා දෙන වීඩියෝ සහ ඡායාරූප ගොන්නකි. දෑත් ගැට ගසා බාල්ක වල එල්ලමින් ම්ලේච්ඡ ලෙස තරුණයන්ට වද දෙන වීඩියෝ දර්ශන පමණක් නොව, වද හිංසා දරා ගැනීමට නොහැතිව සිහිසුන් වූ තරුණයන්ගේ අඩ නිරුවත් ඡායාරූපද එම ජංගම දුරකතනයේ මතක ගබඩාවේ තැන්පත් වී තිබිණි.
එම ඡයාරූප ගැන කෙරුණු විමර්ශනයේදී එරික් පෙරේරා හෙළි කර ගන්නේ එම වදකාගාරය ඔහු පවත්වාගෙන ගොස් ඇත්තේ වෙන්නප්පුව සිරිගම්පළ පිහිටි සිය මහ ගෙදර කේන්ද්‍ර කරගෙන බවය. ඕලු මරාගේ ජංගම දුරකතනයේ සටහන් වී ඇති වදහිංසනයට ලක් වන කිසිවෙකු ඒ වන විටත් කිසිදු පොලීසියකට පැමිණිල්ලක්ද කර තිබුණේ නැත. ඒ ඕලු මරාට ඇති බිය නිසාය.
මේ අපේ රටේ සංවිධානාත්මක අපරාධකරුවෙකු විසින් පවත්වාගෙන ගිය පාතාලයේ එකම වදකාගාරය නොවේ. පාතාලයේ වදකාගාර කොතෙකුත් තීබී ඇත. පාතාලයේ වදකාගාර බොහෝමයක්ම ක්‍රියාත්මක වූයේ කොළඹ කේන්ද්‍ර කරගනිමිනි. වදකාගාර පමණක් නොව, පාතාලයේ පොලීසි මෙන්ම උසාවිද ක්‍රියාත්මක වූ යුගයක් අපේ රටේ පැවතිණි.
දේශපාලන ආශිර්වාදයෙන් මාලිගාවත්ත කේන්ද්‍ර කරගත් මුස්ලිම් පාතාලය පවා බිහි වන්නේ පාතාලයේ වදකාගාර නිසාය. ඒ කතාව 90 දසකයේ මුල් බාගය දක්වා දිව යන්නෙකි. එකල තලෙයි මන්නාරම පොලිස් සථානය ආසන්නයේ තේ කඩයක් පවත්වාගෙන ගිය ඉසගමුත්තු සුදාකරන් ගෙන්දගම් පොළොවේ පහස විදින්නට එන්නේ එල්.ටී.ටී.ඊ.යේ සැලසුමකට අනුවය. ඒ පැමිණි ඔහු ප්‍රකෝටිපතියෙකු බවට පත් වන්නේ මත්කුඩු ජාවාරමෙනි. ග්‍රෑන්ඩ්පාස් පොලීසියට යාබදව සිය අධිරාජ්‍ය ගොඩනඟාගත් සුදාකරන් සිය බලය මාලිගාවත්ත දක්වා ව්‍යාප්ත කරන්නට යන්නේ මුස්ලිම් තරුණයන්ට අඩත්තේට්ටම් කරමිනි. මාලිගාවත්තේ මුස්ලිම් තරුණයන් පැහැරගෙන ඇවිත් ග්‍රෑන්ඩ්පාස් හී පිහිටි ඔහුගේ නිවසේදී වදහිංසනයට ලක් කරමින් එම තරුණයන් සිරගත කරන්නේ බලු කූඩුවල දමාය. සුදාකරන්නේ මුදල් බලය හමුවේ පොලීසියද වැටී සිටියේ ඔහුගේ සාක්කුවේය. ඒ තත්ත්වය මත මුස්ලිම් තරුණයන්ට අවි පුහුණුව ලබාදෙමින් මුස්ලිම් පාතාලයක් බිහි වෙයි. නැගෙනහිරදී ජිහාඩ් සංවිධානයේ පුහුණුව ලැබූවන්ගෙන් අවි පුහුණුව ලබන මුස්ලිම් තරුණයන් සුදාකරන් මාලිගාවත්තෙන් පලවා හැර ඔහුගේ පාතාලය බිද දැමීමෙන් නතර වූයේ නැත. සුදාකරන් නතර කළ තැනින් ඔවුන් මත්කුඩු ජාවාරම කරගෙන යන්නට මුල පිරුවේය.
පාතාලයේ වදකාගාර වෙනුවට පාතාලයේ උසාවියක් මුලින්ම බිහි කරන්නේ මුස්ලිම් පාතාලය විසිනි. මුස්ලිම් පාතාලයේ ගෝඩ් ෆාදර් ලෙස සැලකෙන ෆාජිගේ යටතේත් අයුබ්ඛාන් යටතේත් මාලිගාවත්තේ බී.සී.සී. ඇළ මායිමට වන්නට පිහිටි ගොඩනැගිල්ලක පාතාලයේ උසාවිය ක්‍රියාත්මක විය. වැඩි හරියක්ම එම පාතාල උසාවියට පැමිණිලි ගලාවිත් තිබුණේ ව්‍යාපාරික ආරවුල්ය. එදා එම පාතාල උසාවියේ විනිසුරුවරුන් ලෙස කටයුතු කළ කිසිදු පාතාල අපරාධකරුවෙකු අද ජීවතුන් අතර නැත. ඒ අය අකාලයේ මරුමුවට පත් වී ඇත්තේ පොලිස් වෙඩි ප්රහාරවලිනි.
සංවිධානාත්මකව පාතාලයේ උසාවියක් පවත්වාගෙන ගිය පාතාලයේ ප්රබලයෙකු වන්නේ කිඹුලාඇළ ගුණාය. ජීවතුන් අතර සිටින පාතාලයේ පැරණි ප්‍රබලයන් අතළොස්ස අතර සිටින්නෙකු වන කිඹුලාඇළ ගුණා අද වන විට ජීවත්වන්නේ ඉන්දියාවේය. ඔහුගේ පාතාල රාජධානිය පිහිටා තිබුණේ කොළඹ මෝදර කිඹුලා ඇළේය. දේශපාලන හයි හත්තියද ඇතිව වැජඹුණු ගුණාගේ රාජධානියට එකල පොලිස් නිලධාරියෙකු පවා අඩියක් තබන්නේ දෙවරක් සිතාය. එකල කිඹුලා ඇළ ජනතා ප්‍රශ්න විසදුවේ ගුණාය. උසාවියක් ඔහු පවත්වාගෙන ගියේ ඒ වෙනුවෙනි. පවුල් ආරවුල් වලට පවා ගුණා මැදිහත් විය.
පොලීසිය මෙන් නොව, ගුණාගේ උසාවියට ලැබෙන පැමිණිලි විසඳන්නට දින ගණනාවක් ගත වන්නේ නැත. ඒ මොහොතේම ගුණා ප්‍රශ්නය විසඳයි. ගුණාගේ උසාවිය මරණිය දණ්ඩනය පවා ඇතැමුන්ට ලබාදුන්නේය. ඒ නිසාම මෝදර පොලීසියට පැමිණිලි කරන්නට යනවා වෙනුවට කිඹුලා ඇළ පැත්තේ වැඩි හරියක් දෙනා ගියේ ගුණාගේ උසාවියටය. ගුණාගේ පාතාලයේ උසාවිය ගැන කාලයක් තිස්සේම ඇස ගසාගෙන සිටියෙකු වන්නේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩිය. එකල ඔහු බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාය. ගුණාගේ පාතාලයේ උසාවිය නිහඬ කරනු ලැබුවේ ඔහුය.
දේශපාලන හයියෙන් කාලයක් කොළොන්නාවේ රජ කල චූටි පුතා නැමැති පාතාලයේ අපරාධකරුද පාතාලයේ වදකාගාරයක් පවත්වාගෙන ගියේය. කොළොන්නාව සිංහපුරේ පිහිටි ලෑලි නිවසක එම වදකාගාරය පවත්වාගෙන ගියේය. ඉතා රහසිගතව පවත්වාගෙන ගිය එම වදකාගාරය වටලන්නේ එකල වැල්ලම්පිටිය පොලිස් අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස සේවයේ නිරතව සිටි මෙරිල් රංජන්ය. දැන් ඔහු පොලිස් ළමා හා කාර්යාංශයට අනුයුක්තව සේවයේ නිරතව සිටින සහකාර පොලිස් අධිකාරීවරයෙකි. එදා ඔහු චූටිපුතාගේ වදකාගාරය වටලන විට එල්ල වුණු දේශපාලන බලපෑම් බොහෝය.
මේ අකාරයට පාතාලයේ වදකාගාර උසාවි මෙන්ම පොලීසි ද වැසි වැසී තිබුණු වකවානුවක් අපේ රටේ පැවතිණි. ඕලු මරාගේ වදකාගාරය හැරුණු කොට වසර පහකින් දහයකින් මෙහා සංවිධානාත්මකව ක්‍රියාත්මක පාතාලයේ වදකාගාරයක් ගැන අසන්නට නොවීය. ඒ වෙන කිසිවක් නිසා නොව, පාතාලයට දැන් ඉස්සර තරම් වැඩ දාන්නට පොලීසියෙන් ඉඩක් නොලැබෙන බැවිනි.
උපුටා ගැනීම – සිළුමිණ පුවත්පත