ඌව පළාතේ ප්‍රබල දේශපාලඥයෙකු විසින් ඌව පළාත් සභාව විසින් පාලනය වන බදුල්ලේ දෙමළ බාලිකා පාසලක විදුහල්පතිනියක් තම නිල නිවසට ගෙන්වා දණ ගස්වා දඩුවම් දී ඇති සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසට ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
අදාළ දෙමල පාසලට සිසුවියක් ඇතුලත් කර ගැනීමට සිසුවියගේ දෙමව්පියන් විසින් අදාළ දේශපාලනඥයාගෙ ලිපියක් රැගෙන විදුහල්පතිනිය හමුවීමට ගොස් ඇති අතර අදාළ විදුහල්පතිනිය එම ලිපිය ප්‍රතික්ෂේප කරමින් තමන් දේශපාලඥයන්ගේ නියෝග ක්‍රියාත්මක කිරීමට බැඳී නොසිටින බවත් අධ්‍යාපන අමාත්‍යංශ බලධාරීන්ගේ නියෝගවලට අනුව පමණක් තමන් කටයුතු කරන බවත් එම දෙමාපියන්ට පවසා තිබෙනවා.
ඉන් අනතුරුව මේ බව එම මව්පියන් විසින් එම දේශපාලනඥයා වෙත දැන්වීමෙන් පසුව ඌව පළාත් අධ්‍යාපන බලධාරීන් හරහා එම විදුහල්පතිනිය බදුල්ලේ පිහිටි තම නිල නිවසට ගෙන්වා ගෙන තමන්ගෙන් වැඳ සමාව ගන්නා ලෙස අදාළ විදුහල්පතිනියට දන්වා බලහත්කාරයෙන් වන්දවා ගෙන ඇති බව කැෆේ සංවිධානය යොමු කළ ලිපියේ සඳහන් වනවා.
මෙම ක්‍රියාව රාජ්‍ය සේවයේ ගරුත්වය කෙලෙසන ශිෂ්ඨ සම්පන්න නොවන, අමානුෂික ක්‍රියාවක් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ හැඟීම බැවින් මේ පිළිබඳව සොයා බලා සුදුසු පියවරක් ගන්නා මෙන් තමන් ඉල්ලා සිටින බවටත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වනවා.
