ලංකාවේ දුෂ්කර ප්‍රදේශ වල පිහිටි පන්සල් වල වැඩ සිටින මහා සංඝරත්නය දහස් නමක් උදෙසා වෙසක් පොහොය යෙදුණු පසුගිය වෙසක් පොහෝ දින (29 ) චීන බෞද්ධ දූත පිරිසක් විසින් පූජා කිරීමට සුදානම් කරන ලද පිළිම වහනසේලාට රජය විසින් ලක්ෂ තිස් දෙකක (32,000,00 ක) බදු මුදලක් නියම කිරීම නිසා එම පිලිම බෙදා දිමට නොහැකි වීම පිළිබඳ සමාජයේ දැඩි කතාබහට ලක්වූ සිදුවීමක් වුණා.
කෙසේ වෙතත් මෙම පිළිම වහන්සේලා විහාරස්ථානයන් වෙත බෙදා දීමේ පුණ්‍ය උත්සවය ඓතිහාසික මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියෝ ප්‍රධානත්වයෙන් (17) සිදු කෙරුණා.
කිලෝ ග්‍රෑම් 1500ක් බරින් යුතු රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුතු බෝධිසත්ව පිළිම වහන්සේලා, බුද්ධ ප්‍රතිමා වහන්සේලා විසි නමක් හා තුන් සූත්‍රය සහිත අධිතාක්ෂණික උපකරණ පූජා කිරීමත් මෙහිදී සිදුවිය.
මේ පිළිබඳව අනුශාසනාවක් කළ පූජ්‍ය වලවාහැංගුණවැව ධම්මරතන නායක ස්වාමීන් වහන්සේ මෙසේ දේශනා කළහ.
“මෙම උත්සවය පවත්වන්න සංවිධානය කරලා තිබුණේ පසුගිය වෙසක් පොහොය පැවති 29 වැනිදා. නමුත් රුපියල් ලක්ෂ 32ක රේගු බදු ගෙවීමට සිදුවීම නිසා එය මුදා ගැනීමට අපහසු වුණා. මෙම පුවත මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමග සමස්ත ලෝකවාසී බෞද්ධයන්ට පමණක් නෙමෙයි බෞද්ධ නොවන ජනතාවටත් මහා කම්පන තරංගයක් නිකුත් වුණා.
මේ පුවත අන්තර් ජාලයෙන් කොරියාව, ජපානය, චීනය, ඇමෙරිකාව, ඔස්ට්‍රේලියාව වගේ රටවල්වලටත් ගියා. එහි සිටින බෞද්ධයන් මට දුරකථනයෙන් ඊමේල් පණිවිඩවලින් මුදල් දෙන්න කතා කළා. මගේ බැංකු ගිණුම් අංක ඉල්ලුවා.සීදුවේ කතෝලික තරුණයෙකුත් විහාරස්ථානයට ඇවිල්ලා සියලු මුදල් දෙන්න පෙරොන්දු වුණා.මට දෙන්න එහෙම ඒවා නෑ කලබල වෙන්න එපා රටේ නායකයන් මොනවා හරි කරේ නැත්නම් අපි මුදල් එකතු කරමු කියලා.
මාධ්‍ය මගින් කළ අනාවරණය සමග රටේ ප්‍රබල දේශපාලඥයින් රැසක් තමාට කතා කළ බවත් මේ සඳහා බොහෝ උපකාර කළ බවත් උන් වහන්සේ වැඩිදුරටත් සඳහන් කළා.
