වැඩවසම් යුගයේ ඉදන්ම මිනිස්සු හොයන්නෙ කාගෙවත් පාලනයකට යටත් නොවී නිදහසේ ජීවත් වෙන්න. ඒත් දේශපාලනය නිසා දැන් ලෝකයේ සෑම රාජ්‍යයක්ම දූෂිත වෙලා තියෙන්නෙ. ගොඩක් අයට මේ දූෂිත දේශපාලනයෙන් ඉවත් වෙලා යන්න ඕන. ඒත් ඉතිං තමන් ඉන්න ගෙදර ඉඩම පිටින් උස්සන් ගිහින් මුහුදේ තියා ගන්න බෑනේ. ඒ නිසා අකමැත්තෙන් හරි දේශපාලනඥයින් යටතේ ඉන්න මිනිස්සුන්ට සිද්ධ වෙලා තියෙනවා. හැබැයි තව දුරටත් එහෙම ඉන්න ඕනෑ කමක් නෑ. ලෝකයේ පළවෙනි වරට “පාවෙන රාජ්‍යයක්” නිර්මාණය කරන්න යනවා.
2020 දී පැසිපික් සාගරයේදී තමයි මේ පාවෙන රාජ්‍ය නිර්මාණය කරන්න යන්නෙ. මේ පාවෙන දූපත නිවාස,රෝහල්, හෝටල්, කාර්යාල, පාසල් ආදී මිනිසුන්ට අවශ්‍ය කරන සෑම දෙයකින්ම සමන්විත වෙනවා. “සිස්ටිඩීන් ඉන්ස්ටිටියුට්” අායතනය තමයි මේ අපූරු ඉදිකිරීම කරන්නෙ. මේ පෙරළිකාර සැලසුමට මුදල් දෙන්නේ ලෝක ප්‍රකට පේපෑල් ජාලයේ නිර්මාතෘ පීටර් තියෙල්. දේශපාලනඥයින්ගේ බලපෑමෙන් ඉවත් වෙලා මිනිසුන්ට නිදහසේ ජීවත්වෙන්න ඉඩ සලසන එක තමයි ඔවුන්ගේ අරමුණ. මේක පීටර් තියෙල් කාලයක් තිස්සේ දැකපු හීනයක් කියලයි ඔහු කියන්නේ. සීස්ටිඩින් ඉන්ස්ටිටියුට් ආයතනයේ සභාපති ජෝ කුවර්ක් කිව්වේ 2050 එකිනෙකට වෙනස් තමන්ටම ආවේණික වුන මේ වගේ රාජ්‍ය දහස් ගණනක් බිහිවෙයි කියලා. කිසිම ලාභ අපේක්ෂාවක් නැති මේ ව්‍යාපෘතියේ එකම අරමුණ දේශපාලනඥයිනගෙන් මානව සංහතියට විමුක්තිය ලබා දෙන එක කියලා.
මේ පාවෙන රාජ්‍යයන්ගේ ජලජ ශාක සහ සතුන් බෝ කරන ගොවිපොළවල්, වෛද්‍ය පර්යේෂණ ආයතන, තිරසර බලශක්ති බලාගාර පවා ඉදිකරනවාලු. ඒ වගේම මේ රාජ්‍යයේ තනි ඒකක ඉදි කරන්නෙ සෘජුකෝණාස්‍ර, පංචාස්‍ර වගේ හැඩවලින්. ඒකට හේතුව එහි නිවැසියන්ට හිතුන වෙලාවට ඕන තැනකට අරන් යන්න පුළුවන් වෙන්න. මේ පාවෙන ගොඩනැගිලි හදන්නේ දිග මීටර් 50 ක් සහ පළල මීටර් 50 වෙන වේදිකාවක. වසර 100 ක් විතර කල් පවතින සිමෙන්ති තමයි මේකට යොදා ගන්නෙ.
පාවෙන රාජ්‍යයන් වල තියෙන විශේෂත්වය තමයි එහි වැසියන්ම නිර්මාණය කර ගත්ත පාලනයකින් පාලනය වෙන එක. ඔබට ඒ නගරයේ පාලනයට කැමති නැත්තම් තමන්ගේ නිවස තමන් කැමති වෙනත් පාවෙන නගරයකට පැදගෙන යන්න පුළුවන්. ඒ නිසා පාලකයන්ටත් වැසියන්ව ආකර්ෂණය වෙන විදියට පාලනය කරන්න වෙනවා. හැබැයි ඉතිං කොච්චර දුරට මේ සංකල්පය සාර්ථකද කියලා බලන්න වෙනවා. මොකද හොද වගේම වැරදි දේවල් සඳහාත් ලේසියෙන්ම භාවිතා කරන්න පුළුවන් නිසා.
උපුටා ගැනීමකි.