මම තරුණද? හදවතින් තරුණ වුණත් පෙනුමෙන් වයසට නොගියත් මම අද මිත්තනියක්. ඇත්තටම හැමදාම නිරෝගිව වයසට වඩා තරුණ පෙනුමකින් ඉන්න එකේ ලොකුම රහස තමයි සතුටින් ඉන්න එක. ලස්සන කියා මා දකින්නේ මා ඉදිරියේ සිටින්නාට මාව පේන ස්වරූපය. ප්‍රියමනාව සතුටින් ඉඳීමයි වැදගත්.
කාන්තාවකට ලස්සන වැදගත්ද?
කාන්තාවක් පමණක් නොවේ. මේ ලෝකේ හැමෝම ලස්සනට ඉන්න ඕනේ. ලස්සන සාපේක්ෂයි කියා මට හිතෙන්නේම, මට ලස්සනට පේන කෙනෙක්ව ඔබට ලස්සනට නොපෙනෙන්න පුළුවන්. එය හුදෙක් තීරණය වන්නේ අප සමග තිබෙන බැඳීම, ආදරය සබඳතාවයන් මත. අපි ගොඩක් ආදරය කරන කෙනෙක්ව අපිට ගොඩක් ලස්සනට පේනවා. අපි අකමැති කෙනෙක්ව ලස්සන වුණත් ඇතැම් විට ලස්සනට නොපෙනෙන්න පුළුවන්. පොදුවේ මම හිතනවා රූප සුන්දරියක් ලෙසින් හිස කිරුළු නොපැලඳුවත් මෙලොව සිටින සෑම කාන්තාවක්ම ලස්සනයි. ඇයට ආවේණික වුණ කුමන හෝ ලස්සනක් තියෙනවාමයි.
යම් ක්ෂේත්රයකින් ඉදිරියට යාමට පුද්ගලයකුගේ ලස්සන වැදගත් වෙනවාද?
කොහෙත්ම නැහැ. කලා ක්ෂේත්රය ගත්තත්, වෙනයම් ක්ෂේත්රයක් ගත්තත් ඒ සෑම ක්ෂේත්රයකම දක්ෂයන් බිහි වී තිබෙන්නේ බාහිර ස්වරූපය නිසා නොවේ. දක්ෂතාවය, කැපවීම, වෘත්තිය කෙරෙහි දක්වන ආදරය, උනන්දුව මත.
ලස්සනට ඉන්න ඔබ මොකද කරන්නේ.
ලස්සනටත් වඩා නිරෝගීකම ආරක්ෂා කර ගැනීමටයි මම මුල්තැන දෙන්නේ. මට උපතින්ම ලස්සන වර්ණවත් හමක් ලැබිලා තිබෙනවා. ඒක ආරක්ෂා කර ගන්න මම කරන එකම දේ තමයි ගොඩක් වතුර බොනවා. මම යන ඕනෑම තැනකටත් වතුර බෝතලයක් අරං යනවා. කොහාට ගියත් මමයි මගේ වතුර බෝතලෙයි එතන. ම්…… පුරුද්දක් විදියට මම පුංචි කාලේ ඉඳලාම කරාඹු, මාල, වලලූ, මුදු දාන්න කැමැති නැහැ. විශේෂයෙන්ම කහ රත්තරංවලට මම කැමැති නැහැ. අඩුම තරමේ මම මගේ පුතාගේ වෙඩිං එකටවත් මාලයක් දැම්මේ නැහැ. රත්ත්රං බඩු නොපැළඳීමෙන් මට හරිම සැහැල්ලූ බවක් නිදහස් බවක් දැනෙනවා.
කෑම බීම ගැනීමේදී සැළකිලිමත්ද?
ඔව්. බෝ නොවනා රෝගවලින් පරිස්සං වෙන්නත්, මම කොටයි, මහතයි නිසා ශරීරයේ බර වැඩිවෙයි කියලා හිතෙන කෑම කන්න බොන්න අකමැතියි. කොහොමටත් මම අනං මනං කෑම කන්න කැමැති කෙනෙක් නොවේ. පලතුරු, පලා වර්ග, එළවළු කන්න නම් කැමැතියි. මස්, මාළු, බිත්තර කෑමට තියෙන්නම ඕනේ කියලා නීතියක් නැහැ. උදේ කෑමට ධාන්‍ය වර්ග වැඩිපුර එක්කර ගන්නවා. පහසුවෙන්ම සකසා ගන්න පුළුවන් නිසා කිරිවලට ඕට්ස් දාලා කන්න මම හරිම කැමතියි.
සම රැක ගන්න ආලේපන වර්ග භාවිතා කරනවද?
ඔව්. සමේ පෝෂණයටත්, නිරෝගි බවටත්, හම රැළි වැටීම වළක්වා ගැනීමටත් තත්ත්වයෙන් උසස් විදේශීය රටක නිෂ්පාදිත දේශීය දේශගුණයට ගැලපෙන හොඳ ක්‍රීම් වර්ගයක් දිනපතා පාවිච්චි කරනවා. රාත්‍රියේදීත් සම රැළි වැටීම වළක්වන, සමේ පෝෂණය වෙනුවෙන් රාත්‍රී පෝෂණ සත්කාර ක්‍රීම් වර්ගයක් භාවිත කරනවා. දිනපතා ශරීරය පිරිසිදු කිරීමෙන් පසු තත්ත්වයෙන් උසස් මොයිෂ්චර්රයිසරයක් පාවිච්චි කරන්න මම තරුණ කාලේ ඉඳලම පුරුදු වෙලා හිටියා. අදටත් ඒ පුරුද්ද ඒ විදිහටම තියෙනවා. ආ…. තව මට කියන්න බැරිවුණා. මම මගේ මුහුණට ඇඟට ක්‍රීම් වර්ග ආලේප කරන්න අමතක වුණත් කකුල් දෙක හොඳට හෝදලා පිහිදලා මොයිෂ්චර්රයිසර් ක්‍රීම් වර්ගයක් භාවිත කරන්න නම් අමතක කරන් නෑ. රාජකාරී කටයුතුවලට ගිහිල්ලා පාන්දර එකට, දෙකට නිවසට ආවත් ඒ කාර්යය මා අතින් සිදුවෙනවා. දෙපා ලස්සනට තියා ගන්න මම හරිම ආසයි.
දෙපා පිරිසිදුව තබා ගැනීමට වැඩි සැලකිල්ලක් දක්වන්නේ ඇයි?.
මම හිතනවා පුද්ගලයකුගේ පිරිසිදුකම මනින්න පුළුවන් ප්‍රධානම අවයවය දෙපා කියලා. දෙපා පිරිසිදුව තබා ගැනීමට වෙහෙසෙන කෙනා තමන්ගේ ශරීරයේ පිරිසිදුතාවය කෙරෙහිත් ඉතාම සැලකිලිමත්. මේවා මම හොයා ගත්ත දේවල් නොවේ. නමුත් ඔබත් සමාජයේ ජීවත්වෙන මිනිසුන් දෙස බැලූවොත් මෙහි ඇත්ත නැත්ත දැනගන්න පුළුවන්.
ස්වභාවික ආලේපන ගැල්වීමක් කරනවාද?
දැන්නං එහෙම මොකුත් ස්වභාවික දේවල් ආලේප කෙරෙන්නෑ. නමුත් තරුණ කාලේදි මට මතකයි කුරුලෑවක් දෙකක් මූණේ ආවාම කොහොඹ කොළ ටිකක් අරං හොඳට තම්බලා ඒ වතුර එක නිවෙන්න තියලා හොඳ මුහුණ හෝදලා නිදා ගන්නවා. උදේ බලනකොට කුරුලෑ ඔක්කොම නැතිවෙලා. විෂබීජ නාශක ගුණයෙන් ඉහළ ඒ කොහොඹ කොළ තැම්බූ වතුරට මුහුණත් පැහැපත් වෙනවා. ඊට අමතරව ඉස්සර කමලිනි එක්ක රාජකාරී කටයුතු කරන කාලේ කමලිනි (දමිළ මිතුරියක්) කස්තුරි කහ ගාලා නාන්න පුරුදු වෙලා හිටියා. මමත් කස්තුරි කහ ගාලා නාන්න පුරුදු වුණා. එතකොට හම කහ පාටට දිලිසෙනවා. කස්තුරි කහවලට හම ටිකක් වේලෙන්න බලන නිසා මම ඒ සත්කාරය නම් දිගටම කළේ නැහැ.
ඔබ ලස්සනයි කියා ඔබට දැනෙන්න පටන් ගත්තේ කොයි කාලේද?
අවුරුදු 14 විතර කාලේදී මාව දකින හැමෝම කතා කළේ මගේ කොණ්ඩය ගැන. මට ඉස්සර ලස්සන හොඳ මහත දිග කොණ්ඩයක් තිබුණා. ඊට පස්සේ ටික ටික ලොකු වෙනකොට මට ඇහෙන්න පටන් ගත්තා. මගේ හිනාව හරිම ලස්සනයි කියලා. මූණ ලස්සනට පේන්නේ හිනාව නිසා කියලා දැන ගත්තාම මම වැඩිපුර හිනාවෙලා ඉන්න පුරුදු වුණා. ලස්සන හිනාව නිසා මම ඇත්තටම ලස්සන වුණා.
ඔබට මතකයක් තිබෙනවාද තරුණ කාලේ ඔබේ ලස්සන නිසාම සිදු වූ විශේෂ සිදුවීමක්.
එක සිද්ධියක් කියන්නං. ඒක හරිම ආදරණීයයි. මම එතකොට හිටියේ ඉස්කෝලේ තුනේ පංතියේ. අපිට උගන්වන්න හිටපු ටීචට බබෙක් හම්බ වෙන්න හිටියා. එයා ඉස්සර පන්ති කාමරයට ආපු ගමන්ම කළේ මාව එයාට පේන්න තියාගන්න ඕනේ කියලා පන්ති කාමරයේ මුල් පෙළේම තියා ගන්නවා. ‘ඔයා වගේ ලස්සන දරුවෙක් ඉපදෙන්න ඕනේ’ කියලා ටීච නිතර කිව්වා. මට ඒ කාලේ එච්චර ඒ ගැන තේරුමක් තිබුණේ නැහැ. කොහොම නමුත් ටීච දරුවෝ දෙන්නාම ලැබෙන්න ඉන්නකොට මාව වැඩිපුර දකින්න කැමති වුණා. මගේ දිහා බලන් හිටියා. එයාට ලස්සන දුවරු දෙන්නෙක් දැන් ඉන්නවා. අදටත් මමයි ගුරුවරියයි ළඟින්ම ඇසුරු කරනවා.
ඔබේ තරුණ බවේ රහස සතුටින් සිටීම කියා ඔබ කිව්වා. ඇත්තටම අපිට හැමදාම සතුටින් ඉන්න පුළුවන්ද?
ඕනෑම ජීවිතයක ප්‍රශ්න ගැටලූ වාද විවාද හැල හැප්පීම් ඇඬීම් දෙඩීම් තිබෙනවා. ඒවා එහෙම නැත්නම් ජීවත් වෙන්න බෑනේ. මම කියන්නේ ඕනෑම ප්‍රශ්නයක් ඒ වෙලාවට විතරක් සීමා කළ යුතුයි කියා. මා කා සමග වාද විවාද තර්ක විතර්ක කර ගත්තත් රාත්රියේදී නින්දට යන්නට පෙර ඒ සියල්ල මම හිතින් අත්හරිනවා. මනස නිදහසක් නොමැතිව කොට්ටයට ඔළුව තියන්න බැහැ. රාත්රියේදී නින්දට යන්න බරක් නැතුව හිස කොට්ටයට තියාගන්න නිදහසක් මනසක් ඕනේ. ඒ මනස නිදහස්ව තබා ගැනීමේ කාර්යය කරන්න පුළුවන් අපිටමයි. ජීවිතයේ හැමදාම ලැබීම් නැහැ. ඒවගේම නොලැබීම් කඩා වැටුමුත් නෑ.
කෝටි ගණනින් පාඩු සිදු වූ අවස්ථා විටෙක තිබුණත් මම ඒවා අමතක කරනවා. මොකද ඒ මතකයන් මගේ මනසට වද දෙන නිසා. අත්හැරීම ජීවිතේ සතුට රැඳෙන ප්‍රධානම මෙවලකම්. ඒ නිසා ගලා යන ජීවිතයේ යුතුකම් වගකීම් ඉටුකරමින් යථාර්ථය තේරුම් ගෙන ජීවත් වෙන්න නිතර උත්සාහ ගන්නවා. මොකද මා පෞද්ගලිකව හිතනවා මා නිවසේ අසතුටින් කනස්සල්ලෙන් ඉඳලා ගෙදර අයව සතුටින් තියන්න බැහැ කියලා. ගෙදර අම්මා, ගෙදර ඉන්න බිරිඳ සතුටින් ඉන්නවා නම් හැමදේම යථාර්ථවාදීව හිතනවා නම් ලැබෙන හැම දුකක්ම පැණි රසක් සේ හිතන්න පුළුවන්නම් කෝටි ගාණක් දුන්නත් ගන්න බැරි සතුටක් සැනසීමක් ගෙදරක තියෙනවා නේද? පොඩ්ඩක් හිතලා බලන්න.
උපුටා ගැනීමකි.