අද(12) උදෑසන අලුත්ගම සිට ගාල්ල බලා ධාවනය වු මන්දගාමී දුම්රියේ කාර් රථයක් ගැටී ඇති අතර, ඉන් එක් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා.
මෙලෙස බරපතළ තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 57 ක් වු ගින්තොට ප්‍රදේශයේ පදිංචි අයෙක්.
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයා බරපතළ තත්ත්වයෙන් කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මේ වන විට රෝහලේ සාමාන්‍ය වාට්ටුවක් වෙත මාරු කර යවා තිබෙන බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් ඔහුගේ බිරිඳ ද මෝටර් රථය තුළ සිට ඇති අතර, ඇය දුම්රිය ඈතින් පැමිණෙන අයුරු දැකීමෙන් පසු මෝටර් රථයේ වම්පස දොර විවෘත කර ඉන් පිටතට පැමිණ දිවි බේරා ගෙන තිබෙනවා.
දුම්රිය හරස් මාර්ගයේ තාවකාලික පදනම මත ගේට්ටු මුරකාරියක් සිට ඇති අතර, ඇය විසින් මෙම මෝටර් රථයට දුම්රිය හරස් මාර්ගය හරහා නොයන ලෙස සංඥා කර ඇති අතර එය නොතකා මෝටර් රථය හරස් මාර්ගයට ඇතුළු කර ඇති තිබීමත් සමග මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුර පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ගාල්ල පොලීසිය මගින් පවත්වනවා.
