Gossip

මම මේ දවස්වල වස විස නැති ආහාර සඳහා මිනිසුන් පොළඹවමින් ඉන්නවා – පුෂ්පා රම්‍යානි සොයිසා

ඔබ මේ දවස්වල මොනවද කරන්නේ?
වර්තමානයේ මිනිසුන්ගේ ජීවිත කලාව වෙනස් කරලා මුදාගන්න එක සම්බන්ධ වැඩසටහන් නිෂ්පාදනය කරමින් ඉන්නවා. ඒ වගේම මම මේ දවස්වල වස විස නැති ආහාර සඳහා මිනිසුන් පොළඹවමින් ඉන්නවා. වස විස ඇති ආහාර ගැනීමෙන් රෝගී වෙලා එන රෝගීන් රෝහලට එන එක දිහා බලාගෙන ඉන්න එක නෙවෙයි අපි කළ යුත්තේ. අපි කළ යුත්තේ පුළුවන් තරම් වස විස නැති ආහාර තමාගේ මට්ටමෙන් හෝ අවම කරලා ජීවිත සුරක්‍ෂිත කරගන්න ක්‍රමවේදය මොකක්ද කියන එක ගැන රූපවාහිනී වැඩසටහන් මගින් දැනුවත් කරනවා.

පාසල් කාලය ගැන කිව්වොත්?
මම ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයේ ඉගෙන ගත්තේ. මම පාසල් යන කාලයේ දක්‍ෂ රංගන ශිල්පිණියක්. ඒ වගේම දක්‍ෂ ගායිකාවක්. ඒ වගේම මම ක්‍රීඩාවෙන් හා නැටුම් වලින් බස්නාහිර පළාතේ චැම්පියන්.

රඟ පෑ නාට්‍යය ගැන කිව්වොත්?
වෛද්‍යලංකාතිලක සර්ගේ ‘‘වස’’ කියන ටෙලිනාට්‍යයේ රඟපෑවා. එහි අම්මා කෙනෙකුගේ චරිතය රඟපෑවා. සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට අදාළ ටෙලිනාට්‍යය කීපයකම රඟපෑවා.

වෙළෙඳ දැන්වීම් වලත් ඉන්නවද?
ඔව් රූපවාහිනී වෙළෙඳ දැන්වීම් කීපයකම ඉන්නවා. මම ඉල්ලලා යනවා නොවෙයි. මේවා මට ලැබෙන චාන්ස්.

අන්තර්ජාලය හරහා ජනතාව දැනුවත් කරනවද?
ඔව්. මම යූ ටියුබ් එක හරහා සෞඛ්‍ය අධ්‍යාපන තොරතුරු මගින් ජනතාව දැනුවත් කරනවා. කොහොමද ඉන්නේ, කොහොමද කන්නෙ බොන්නෙ, අනතුරු වළක්වාගන්නේ කොහොමද? කියලා යූ ටියුබ් එක හරහා ජනතාව දැනුවත් කරනවා. ඒ වගේම වයසට යන්නේ නැතුව තාරුණ්‍යය රැකගන්නේ කොහොමද කියලත් දැනුවත් කරනවා.

චිත්‍රපටි වල රඟපාලා තිබෙනවාද?
නැහැ. චිත්‍රපටියක රඟපාන්න ආසයි. ඒ අවස්ථාව ලැබුණොත් භාරගන්නවා. හැබැයි තෝරා බේරාගෙන තමයි රඟපාන්නේ.

සාමාන්‍යයෙන් මොනවගේ චරිතයක්ද රඟපාන්න කැමති?
හෙදියකගේ චරිතයක්, වෛද්‍යවරියකගේ චරිතයක්. එහෙමත් නැත්නම් සෞඛ්‍ය ක්‍ෂේත්‍රය හා බැඳුණු චරිතයක්, රඟපාන්න ලැබුණොත් රඟපානවා. ඒ වගේම මම වීර කතා, ඉතිහාස කතා රඟපාන්න ආසයි. මට ගැලපෙන සුදුසු චරිතයක් ලැබුණොත් රඟපානවා.

ඔබ දැනට ගීත කීයක් ගායනා කරලා තිබෙනවාද? ඒ මොනවගේ ගීතද?
මම දැනට මගේම කියලා ගීත පහක් ගායනා කරලා තිබෙනවා. මගේ ඒ ගීත බෞද්ධ ගීත, විරහ ගීත, සංවේදී ගීත. මේ ගීත සියල්ලම රචනා කළේ මගේ අක්කා. ඒ ගී සඳහා එච් එම් ජයවර්ධන, ස්ටැන්ලි ඕමාර්, නවරත්න ගමගේ යන මහත්වරුන් සංගීතය සැපයුවා.

ඔබ රෝහල් ක්‍ෂේත්‍රය පැත්තෙන් කලා වැඩකටයුතු කරනවා කියලා දැනගන්න තියෙනවා. ඒක ඇත්තද?
දැන් මම සේවය කරන කොළඹ ජාතික රෝහලේ ‘‘කලා වින්දන කවය’’ කියලා කවයක් ඇති කළා. එය සෑම වසරකම රෝගීන් සමඟ එකතුවෙලා ඔවුන්ට වින්දනය, ඔවුන්ගේ හැකියාවල් එළියට ගැනීමට විවිධ ප්‍රසංග කළා.සෞඛ්‍ය අමාත්‍යාංශයේ මට තනතුරක් ලැබුණා. ඒ සංස්කෘතික අංශයේ කළමනාකාරිණිය හැටියට. මාව නම් කළා.ලංකාවේම තියෙන රෝහල්වල ඉන්න වැඩකරන තෝරාගත් සේවකයන් එකතු කරලා ලොකු කලා වැඩක් කළා. ඉදිරියටත් මේ කටයුතු අඛණ්ඩව කරගෙන යන්නයි බලාපොරොත්තුව.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!