Gossip

“මගේ නෝනා නිවාඩු දවසට ගෙයින් දොට්ට බහින්නෙ නෑ..කොහෙන් පාත්වෙච්ච හෙණයක් ද මන්දා.” – මිනුවන්ගොඩින් ආ කොරෝනා දෙවැනි රැල්ලේ හංගපු කතාව මෙන්න

ලෝක බලවතාව ද කොරෝනා වැළඳ ගත්තාය. එහෙත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් කොරෝනාට අභියෝග කරමින් පූර්ණ සුවය ලැබීමට පෙර ධවල මන්දිරයට ගියේය.
මුඛ ආවරණ උනා දමා කොරෝනා වසංගතයට බිය නොවන ලෙසට මාධ්‍ය ඔස්සේ ලෝක ජනතාව දිරිමත් කළේය. එහෙත් කොරෝනා තවමත් බලවත්ය. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන ආකාරයට ලෝකයේ සෑම දහදෙනකුගෙන් එක් අයකුට කොවිඞ් වසංගතය වැළඳීමේ සම්භාවිතාවක් පවතින්නේය. එය අතිශය අවදානම් තත්ත්වයකි.
එමෙන්ම ලෝකයේ බලවත්ම රට ලෙස හැඳින්වෙන ඇමරිකාවට ද තවමත් කොරෝනා වසංගතයේ පැතිරීම පාලනය කරගත නොහැකිව ඇත.
අසල්වාසී ඉන්දියාව කොරෝනා වසංගතය පැතිර යෑමේ රටවල් අතර අංක එක බවට පත්ව ඇත. එහෙත් අපේ රටේ කොරෝනා වසංගතය පැතිර යෑම සාර්ථක ලෙස පාලනය කර තිබිණි.
කොරෝනා වසංගත පාලනය කළ ලෝකයේ රටවල් අතර මෙරට නාමයත් ඉදිරියෙන්ම තිබිණි. කොරෝනා වසංගතය සම්පූර්ණයෙන්ම පාලනය වූ රටක ජීවත් වන ජනතාවගේ යහපත් සෞඛ්‍ය පුරුදු ගිලිහිණි. මුඛ වාඩම් ගැලවිණි. කොරෝනා වැළලී ගිය බවට උදම් ඇනූ රටේ ජනතාව බිය, සැකයකින් තොරව දෛනික කටයුතුවල නියැළිණි. මාස ගණනක් කොරෝනා වසංගතයට බියේ මුළුගැන්වී සිටි මිනිස්සු රිසි සේ ජීවිතය විඳින්නට පටන් ගත්හ.
සැණකෙළි පැවැත්වූහ. මේ අප සතුටු වන්නේ අළු යට ගිනි මත බව කිසිවකුට නොතේරිණි.
පසුගිය සිකුරාදා හැන්දෑවේ ගම්පහ රෝහලේදී කොරෝනා රෝගියෙක් හඳුනාගැනීමත් සමඟ අළු යට ගිනි නැවත දැල්වෙන්න පටන් ගත්තේය. ගිනි මැද රත්වන විට අපේ මිනිසුන්ට යහපත් සෞඛ්‍ය පුරුදු නැවත මතක් විය. මීටරය මතක් විය.
බෑග් මල්ලේ, සාක්කුවේ දමාගෙන ගිය මුඛවාඩම මුහුණට වැටිණි. එහෙත් දැන් බොහෝ ප‍්‍රමාද වී ඇති බව හැගේ. මෙරට සෞඛ්‍ය බලධාරීන්, නිලධාරීන්ගේ සහ ජනතාවගේ නොසැලකිලිමත්භාවය නිසා මේ වන විට මුළු රටම දැඩි අවදානමකට පත් වී හමාර බව පෙනේ.
මොහොතින්, මොහොත මිනුවන්ගොඩ කොවිඞ් පොකුර වර්ධනය වන ආකාරය පෙනෙන විට හීන්දාඩිය දමන තරමට සිත් මණ්ඩිය භීතියේ ගින්නෙන් ඇවිළෙන්නේය.
වාර්තා වන අන්දමට මෙරට දෙවැනි කොවිඩි රැල්ල මතු වී ඇත්තේ මිනුවන්ගොඩ දිවුලපිටිය බ‍්‍රැන්ඩික්ස් ඇඟලූම් ආයතනයෙනි. ඒ එහි සේවයේ නියුතු වැඩ පරීක්‍ෂකවරියක් කොරෝනා අසාදිතයකු ලෙස ගම්පහ රෝහලේදී හඳුනාගැනීමත් සමඟය.
වෛද්‍ය පරීක්‍ෂණයකින් එම කාන්තාවට කොවිඞ් අසාදනය වී ඇති බව හඳුනාගත් වෛද්‍යවරයා දුරකථන ඔස්සේ අපි සම්බන්ධ කරගත්තෙමු. හේ ගම්පහ රෝහලේ ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය බෝධික සමරසේකර මහතාය. මේ වන විට නිරෝධායනය වෙමින් සිටින එම වෛද්‍යවරයා කොවිඞ් රෝගී කාන්තාව හඳුනාගත් ආකාරය අප සමඟ පැවසීමට මැලි නොවිණි.

විශේෂඥ වෛද්‍ය බෝධික සමරසේකර කියන කතාව…

‘‘අසල්වැසි ඉන්දියාවේ කොරෝනා වසංගතය බරපතළ විදිහට පැතිර යන කොට ශ‍්‍රී ලංකා ශ්වසන රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සාකච්ඡා කරලා රෝගීන්ගේ අහඹු සාම්පල් පරීක්‍ෂා කරන්න තීරණය කළා.
කෙරෝනා සැක සහිත රෝගීන් පමණක් නෙමෙයි, අපි ළඟට ප‍්‍රතිකාර ලබාගන්න පැමිණෙන සාමාන්‍ය රෝගීන්ව අහඹු ලෙස පරීක්‍ෂා කළා.
අපේ වාට්ටුවේ වෛද්‍යවරු කැපවීමෙන්ම ඒ කටයුතු කරගෙන ගියා. එහෙම සිදුකරපු පරීක්‍ෂණයකින් තමයි අදාළ කාන්තාවට කොරෝනා අසාදනය වී ඇති බව හඳුනාගත්තේ. මේ කාන්තාවගේ කොරෝනා රෝගී තත්ත්වය හඳුනා නොගන්න අපේ රට විශාල අවදානමකට වැටෙනවා. ලක්‍ෂ ගාණකට කොරෝනා වෛරසය අසාදනය වෙලා, විශාල මරණ සංඛ්‍යාවක් වාර්තා වෙන්න ඉඩ තිබුණා…’’
‘‘අදාළ කාන්තාව රෝහලට පැමිණියේ උණට, කැස්සට ප‍්‍රතිකාර ගන්න. ගම්පහ මහ රෝහලේ ශ්වසන රෝග වාට්ටුවේ තමයි ඒ කාන්තාව නේවාසිකව ප‍්‍රතිකාර ගත්තේ.
එම කාන්තාවට රෝගය අසාදනය වෙච්ච ආකාරයක් ගැන වාර්තා වුණේ නෑ…’’ විශේෂඥ වෛද්‍ය බෝධික සමරසේකරගේ කතාව එපමණකි.

අහඹු ලෙස කොවිඞ් පරීක්‍ෂණ සිදු කරගෙන ගිය ශ‍්‍රී ලංකා ශ්වසන රෝග විශේෂඥ වෛද්‍යවරුන්ට මෙන්ම කොරෝනා රෝගී කාන්තාව හඳුනාගත් විශේෂඥ වෛද්‍ය බෝධික සමරසේකර මහතාට මල් මිටක් පිදීම නොව සිදු වෙන්නට ගිය විපත්තියෙන් රට මුදාගැනීම නිසා පින් අනුමෝදනය කළ යුතුය.
මෙවැනි වෛද්‍යවරු සමාජයට දෙවිවරුය. එමෙන්ම මිනුවන්ගොඩ කොවිඞ් පොකුර මෙරට පැතිර ගිය පළමු කොවිඞ් රැල්ලෙන් ඔබ්බට ගිය අති භයානක වසංගත තත්ත්වයකි. මෙවර කොරෝනා රෝගියා හඳුනාගනු ලැබුවේ අප ජීවත් වන සමාජයෙනි.
එමෙන්ම පසුගිය කාලයේ මෙරටින් හඳුනාගත් කොරෝනා රෝගීන්ගේ වෛරස් ප‍්‍රමාණයට වඩා මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් ඇඟලූම් ආයතනයෙන් හඳුනාගත් කොරෝනා රෝගියාගේ වෛරස් ප‍්‍රමාණය වැඩි බව ඒ පිළිබඳ පර්යේෂණ සිදු කළ විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දෙති.
එමෙන්ම වෛරස් ප‍්‍රමාණය වැඩිවීමට සාපේක්‍ෂව වසංගතය පැතිරවීමේ හැකියාව ද වැඩිය. එය මේ වන විටත් ඔප්පු වී හමාරය. රෝගී කාන්තාව හඳුනාගෙන දින තුන, හතරක් ගතවීමටත් පෙර, මේ සටහන තබන මොහොත වන විට කොරෝනා රෝගීන් දහසකට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇත. එම ප‍්‍රමාණය තව, තවත් වර්ධනය වන ප‍්‍රවණතාවක් ද පෙන්නුම් කරන්නේය.
එමෙන්ම කොරෝනා රෝගීන් වාර්තා වන මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් ඇඟලූම් ආයතනයේ පුද්ගලයන් එක්දහස් හාරසීයක් පමණ සේවයේ නියුතු වන අතර ඔවුන් අතරින් හාරසීයක් පමණ ලංකාවේ විවිධ ප‍්‍රදේශවල පදිංචිකරුවන්ය.
එම පුද්ගලයන්ගෙන් බහුතරය මිනුවන්ගොඩ, දිවුලපිටිය අවට ප‍්‍රදේශවල තාවකාලික ලැගුම්හල්වල නවාතැන්ගෙන සිටිය ද පසුගිය නිවාඩුවට ඔවුන් නිවෙස්වලට ගොස් ඇති බව ද වාර්තා වේ.
එම ඇඟලූම් කර්මාන්තශාලාවේ සේවකයන් විශාල පිරිසක් පසුගිය නිවාඩුවට විනෝද චාරිකා ගොස් ඇති බව ද පැතිර යන තවත් කතාවකි. එමෙන්ම එම ඇඟලූම් කර්මාන්තශාලාවේ සේවක, සේවිකාවන් විවිධ ප‍්‍රදේශවල, විවිධ රැකියා කටයුතුවල නිරත හිත මිත‍්‍රාදීන් ඇසුරු කර ඇති බව ද වාර්තා වේ.
මේ වන විටත් රටේ විවිධ ප‍්‍රදේශවලින් කොරෝනා රෝගීන් වාර්තා වෙමින් තිබේ. දැන් රට පුරා කොරෝනා පැතිර ගොස් අවසානය. එහෙයින් ආරක්‍ෂාව තමා සතුය. එවැනි අවදානම් පසුබිමක පසුගිය දිනක අපි මිනුවන්ගොඩ ප‍්‍රදේශයට ගියෙමු. පැතිර යන කොරෝනා වසංගත තත්ත්වය ගැන ප‍්‍රදේශවාසීන් සමඟ කතා බහ කළෙමු. මේ

මිනුවන්ගොඩ ප‍්‍රදේවාසියෙක් කියපු කතාවය.

මිනුවන්ගොඩ ප‍්‍රදේශවාසීන් කියන කතාව…
‘බලන්න මහත්තයෝ අපේ ගමට වෙච්ච විපත්තිය. කොහෙන් පාත්වෙච්ච හෙණයක් ද මන්දා. දැන් මුළු ගමම ලෙඩ ගොඩක් වෙලා…’’ මිනුවන්ගොඩ, දිවුලපිටිය බ‍්‍රැන්ඩික්ස් ඇඟලූම් ආයතනයට යන මාර්ගයේදී අපට හමු වූ වැඩිහිටි ප‍්‍රදේශවාසියෙක් කතාවට එසේ ප‍්‍රවේශය ලබා ගත්තේය.
‘‘කොරෝනා රෝගී කාන්තාව හඳුනාගත්ත දවසේදීම ගාමන්ට් එකේ වැඩ කරන සියලූදෙනාම නිරෝධානයට ගෙනිච්චා නම් හරි. ඒත් ඒක එහෙම වුණේ නෑ. පළමු දවසෙ ගාමන්ට් එකේ ළමයි සියයකගේ පී.සී.ආර්. පරීක්‍ෂණ කරලා ස්වයං නිරෝධායනය වෙන්න කියලා ගෙවල්වලට ඇරියා.
ඒ සමහර ළමයි පරීක්‍ෂණවලට ගියෙ, ආවේ පොදු ප‍්‍රවාහනයේ. සමහර ළමයි තුන් හතරදෙනා එක ත‍්‍රීවිල් එකේ ගියා, ආවා.
ඒ වගේම ඒ ළමයි ගෙවල්වලට ගිහින් මුළුගැන්විලා හිටියේ නෑ. වෙළෙඳසල්වලට ගියා. සමහර ළමයි ත‍්‍රීවීල්වල, බස්වල ගමන් බිමන් ගිහින්. අසල්වාසීන් එක්ක කතා බහ කරලා. අන්තිමේ පී.සී.ආර්. පරීක්‍ෂණය කරපු සීයෙන් හැටනවයක් පොසිටිව් වුණා.
දෙවැනි වතාවටත් ගාමන්ට් එකේ තවත් ළමයි එක්දහස් දෙසියඅසූවක් පී.සී.ආර්. පරීක්‍ෂණය කරලා ගෙවල්වලට ඇරලා. ඒ පරීක්‍ෂණය කරපු ළමයිත් විශාල සංඛ්‍යාවක් මේ වන විටත් පොසිටිව් වෙලා. තවත් අය ගෙවල්වල ඉන්නවා. ඔවුන්ටත් පොසිටිව් ද කියලා දන්නෙ නෑ. ගාමන්ට් එකට සේවකයන් ප‍්‍රවාහනය කරපු වාහනවල රියැදුරන්ව පී.සී.ආර් කළාට ඔවුනුත් ගෙවල්වල. අන්තිමේ ඒ පවුල් සේරම අනතුරේ. ඒ විතරක් නෙමෙයි අසල්වාසීන්, ප‍්‍රදේශවාසී අපිත් දැන් අනතුරේ. ඒ අවදානම් තත්ත්වය ඇති කළේ සෞඛ්‍ය නිලධාරීන්. ඔවුන්ට තිබුණා මීට වඩා ක‍්‍රමවත් විදිහට පරීක්‍ෂණ සිදු කරලා රෝගීන් හඳුනාගන්න. අදාළ රෝහල්වලට රෝගීන්ව ආරක්‍ෂිතව රැගෙන යන්න. එහෙම වුණා නම් රෝගය මෙච්චර පැතිර යන්නෙ නෑ. අදටත් හරියට ඒ කටයුතු සිද්ධ වෙන්නෙ නෑ. කොරෝනා රෝගීන් හඳුනාගත්ත පවුල්වල තොරතුර ගන්න යන පොලිස් නිලධාරීන් මුව ආවරණ විතරයි දාගෙන ඉන්නෙ.
අත්මේස් දාගෙන ඉන්න පොලිස් නිලධාරීන් දකින්නෙත් කලාතුරකින්. එහෙම රාජකාරියේ නිරත පොලිස් නිලධාරිනුත් අනතුරේ. පොලිස් නිලධාරීන්ට ආරක්‍ෂිත ඇඳුම් කට්ටල ලබාදීම, අදාළ රාජකාරි කටයුතු සෞඛ්‍ය ආරක්‍ෂිතව සිද්ධ කිරීමට උපදෙස් ලබාදීම කරන්න ඕනෑ සෞඛ්‍ය නිලධාරීන්.
ඒත් ඒ කිසිම සෞඛ්‍ය ආරක්‍ෂිත වැඩපිළිවෙළක් වෙන්නෙ නෑ. මේ යන විදිහට කොහෙන් කෙළවර වෙයිද කියලා හිතා ගන්නවත් බෑ…’’ ඇයගේ කතාව ඇසෙන විට රෝම කූප ඉලිප්පිණි. නළල් තාලය ඩා බිඳුවලින් තෙත් විය. කොරෝනා භීතිය සියොළඟටම දැනෙන්නට විය.
‘මේක මනුෂ්‍ය ස්වභාවය අපිට මේක අමතක වුණා’ සෞඛ්‍ය බලධාරීන් එසේ කටමැත දොඩවමින් මේ වසංගත තත්ත්වයේ අවදානමෙන් ලිස්සා යෑමට නොහැකිය.
කොවිඞ් යනු බෝම්බයකි. කොහේ හෝ තැනක පුපුරා යෑමට හැකිය. අදටත් මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් ඇඟලූම් ආයතනයේ වැඩ පරීක්‍ෂකවරියට කොවිඞ් අසාදනය වූ ආකාරය ගැන නිශ්චිත තොරතුරක් නැත. ඇය කොරෝනා වැළඳගෙන ඇති ආකාරය ගැන සමාජය තුළ විවිධ කතා බහ පැතිරෙති. ඒ කටකතාය. සමාජ මාධ්‍යවලට කාලකණ්ණි වින්දනයක් ලබාදෙන ගොසිප්ය. ඒ පැතිර යන කටකතා නිසා පීඩා විඳින්නේ එම කාන්තාවගේ පවුලේ ඥාතීන්ය.

කොවිඞ් ආසාදිත කාන්තාවගේ සැමියා කියන කතාව…
‘‘මගේ නෝනා බාහිර සමාජයේ කොහේවත් ගිහින් නෑ. උදේ 6.40 ට ගෙදරින් ගිහාම ? අට විතර වෙනවා ගෙදරට එනකොට. සෙනසුරාදා දවසටත් ගෙදර එනකොට අට විතර වෙනවා. සතිය පුරා මහන්සි වෙන නිසා ඉරිඳට ගෙදරින් පිට කොහේවත් යන්නෙ නෑ.
අඩුම තරමින් ළඟපාත කඬේකටවත් යන්නෙ නෑ. වැඩපළ කරගෙන ගෙදරටම වෙලා ඉන්නවා. මගේ නෝනට මේ රෝගය බෝවෙලා තියෙන්නෙ පැක්ටි‍ය ඇතුළෙන්මයි…’’ පැතිර යන කටකතාවලට එසේ පිළිතුරු දුන්නේ මිනුවන්ගොඩ දිවුලපිටිය බ‍්‍රැන්ඩික්ස් ආයතනයේ වැඩ පරීක්‍ෂකවරියක් ලෙස කොරෝනා වසංගතයට ගොදුරු වූ කාන්තවගේ සැමියාය.
ඔහු මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධානය වෙමින් සිටින්නේය. ඔහුගේ පුතලා දෙදෙනා ද එම නිරෝධානය මධ්‍යස්ථානයේම නිරෝධායනය වෙමින් සිටිති. ඔවුන් තිදෙනාටම කොරෝනා ආසාදනය වී නොමැති බවද දැන ගැනීමට ලැබේ.
එහෙත් ඔහුගේ දහසය හැවිරිදි දියණිය කොවිඞ් ආසාදිතයකු ලෙස රෝහල්ගත කරන සිටින්නීය.

උද්ගතව ඇති වසංගත තත්ත්වය මත රෝගීන් දහසකට වැඩි සංඛ්‍යාවක් අතරින් රෝග වාහකයා හඳුනාගැනීම අසීරුය. එහෙත් රට පුරා පැතිර යන කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීමට කෙසේ හෝ රෝග වාහකයා හඳුනාගත යුතුය. මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් ආයතනය තුළට කොරෝනා පැමිණි ආකාරය ගැන කඩිනමින් සෙවිය යුතුය.
කොරෝනා රෝගීන් හඹා ගොස් නව ආසාදිතයන් හඳුනාගත යුතුය. කොරෝනා වසංගත තත්ත්වයට ගොදුරු වූ ලෝකයේ රටවල් අතරින් එම ක‍්‍රමය අනුගමනය කරනු ලැබුවේ මෙරට පමණි.
පසුගිය කාලයේ පැමිණි කොරෝනා රැළි පාලනය කිරීමට එම ක‍්‍රමය සාර්ථක ප‍්‍රතිඵල අත් කර දුන්නේය.
එමෙන්ම දිනකට කෙරෙන පී.සී.ආර්. පරීක්‍ෂණ ප‍්‍රමාණය වැඩි කළ යුතුය. එම සෞඛ්‍ය ක‍්‍රමවේදයන් අනුගමනය කරමින් පැතිර යන වසංගත තත්ත්වය කඩිනමින් පාලනය කළ යුතුය.
එමෙන්ම තවත් කාලයකට කොවිඞ් නොමැරෙන බවද අප තේරුම්ගත යුතුය.
කොවිඞ් වසංගතය ආරම්භ වී මේ වන විට මාස නවයකට වැඩිය. අදටත් ලෝකය පුරා දිනකට ලක්‍ෂ දෙකකට වැඩි ප‍්‍රමාණයක් කොරෝනා වැළඳ ගන්නේය.
මේ වන විට ලෝකය පුරා කොරෝනා රෝගීන් කෝටි තුන ඉක්ම ගොස්ය. එමෙන්ම අදටත් දිනකට සැලකිය යුතු කොවිඞ් මරණ ප‍්‍රමාණයක් ලොව පුරා වාර්තා වන්නේය. මේ වන විට ලෝකය පුරා කොවිඞ් මරණ දසලක්‍ෂය ඉක්ම ගොස්ය. ලෝකයේ එකම රටක් හෝ කොරෝනා වසංගතයෙන් බේරී සිටින බවට වාර්තා නොවන පසුබිමක අපේ රටට නැවත කොරෝනා අවදානමක් එන බව සෞඛ්‍ය අංශ බලාපොරොත්තුවෙන් සිටිය යුතුය.
සෑම මොහොතකම අප ඉදිරියේ අවදානමක් ඇති බව වටහාගත යුතුය. කොරෝනා වසංගතය හමුවේ සෞඛ්‍ය අංශවල බලධාරීන් සහ නිලධාරීන් ඇතුළුව මෙරට ජනතාව එසේ සිතුවා නම් අද අපට මෙසේ නොවන්නේය. එහෙත් දැන් වෙච්ච දේ ගැන කතා කර ඵලක් නැත.
යම් කෙනෙකුට කොවිඞ් වසංගත රෝග ලක්‍ෂණවලට සමාන රෝගී තත්ත්වයක් පෙන්නුම් කරන්නේ නම් බියේ ගුලි නොවන්න: කොවිඞ් ඇඟට ඇතුළු වූ සැණින් මියැදෙන්නේ නැත. රෝගය උත්සන්න වී මරණාසන්න තත්ත්වයට පත්වන්නේ නිසි ප‍්‍රතිකාර නොලැබුණොත් පමණි.
වාර්තා වන ආකාරයට කොරෝනා අසාදනය වූ සෑම සියදෙනකුගෙන්ම මියැදෙන්නේ පහකටත් අඩු සංඛ්‍යාවකි. මෙරට ජනතාවගේ ප‍්‍රතිශක්තිකරණය යහපත් මට්ටමක ඇති බව කොරෝනා පළමු, දෙවැනි රැළි මර්දනය කිරීමේදී හොඳින් වැටහිණි. එහෙයින් උණ, සෙම්ප‍්‍රතිශ්‍යාව, කැස්ස රෝග ලක්‍ෂණ පෙන්නුම් කරන්නේ නම් ළඟම රෝහලට ගොස් ඔබේ ජීවිතයත් බේරාගෙන අසල්වාසීන්ගේ ජීවිතත් බේරාගැනීමට උපකාර වීමට වග බලාගත යුතුය.
ලෝකයේ වෛද්‍ය විද්‍යාව කොතරම් දියුණු වුවද කොරෝනා මර්දනයට ලෝකයේ කිසිම රටක් තවම ඖෂධයක් සොයාගෙන නැත.
කොරෝනා වෛරසයේ ප‍්‍රබලත්වය එයින් අප පසක් කරගත යුතුය…

උපුටා ගැනීම – දිවයින පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!