අරලගංවිල, බෝගස්වැව ප්‍රදේශයේදී ඊයේ (09දා) දහවල් අධ්‍යාපන උපකාරක පන්තියකට සහභාගිවී ආපසු නිවෙස් බලා යමින් සිටි සිසුන් 11 දෙනකු කැබ් රථයක ගැටීම නිසා සිදුවූ අනතුරක් හේතුවෙන් එක් සිසුවකු මරුමුවට පත්වී තවත් සිසුන් 10 දෙනකු තුවාල ලබා ඇතැයි අරලගංවිල පොලිසිය කියයි.
එම අනතුරින් මියගොස් ඇත්තේ පොලොන්නරුව රාජකීය විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන, අරලගංවිල, රත්මල්තැන්න, අංක 14 එච් කොටස ප්‍රදේශයේ පදිංචි රාජපක්ෂ මුදියන්සේලාගේ හසින් දේශාන් කරුණාතිලක නැමැති 16 හැවිරිදි පාසල් සිසුවෙකි.
අනතුරින් තුවාල ලැබූ අනෙක් සිසුන් 10 දෙනාද මියගිය සිසුවාගේ වයසේ පසුවන අය බවත් ඔවුන්ගෙන් 06 දෙනකු දැනට ප්‍රතිකාර සඳහා අරලගංවිල රෝහලටත් අනෙක් තුවාලකරුවන් 04 දෙනා පොලොන්නරුව මහ රෝහලටත් ඇතුළත් කර තිබෙන බව පොලිසිය සඳහන් කළේය.
මෙම අනතුරට හේතුව කැබ් රථයේ රියැදුරා බීමත්ව අපරීක්ෂාකාරීව රිය පැදවීම බව විමර්ශනවලදී හෙළිවී ඇතැයි පොලිසිය පැවැසීය.
අනතුර සිදුකර පලායමින් තිබූ කැබ් රථය සහ එහි රියැදුරා ඇතුළු පුද්ගලයන් තිදෙනකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුව සිදුකළ විමර්ශනවලදී ඔවුන් සියලූ දෙනාම බීමත්ම සිටි බව අනාවරණය වී ඇතැයිද විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීහු පැවැසූහ. මියගිය සිසුවාගේ මරණය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද (10දා) පැවැත්වීමට නියමිත බවද පොලිසිය සඳහන් කළේය.
රොෂාන් තුෂාර
