මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අනුශූරයින් වන නවසීලන්තය ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා . ඔවුන් මේ විදියට ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත වන්නේ වසර 6 කට පසුවයි. මේ පාර ඔවුන් ලංකාවට ආවේ ටෙස්ට් තරග 2 කට සහ පන්දුවාර 20 ක්‍රිකට් තරග 3 කට සහභාගිවීම සදහා වන අතර විශේෂ ආරක්ෂාවක් යටතේ නවසීලන්ත කණ්ඩායම කොළඹ හෝටලයක් වෙත රැගෙන ගිය බව වාර්තා වෙනවා.
ශ්‍රී ලංකා නවසීලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 14 වනදා ගාල්ල ක්‍රීඩාංගණයේදී ආරම්භ වනවා. දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 22 වනදා කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ සියළු තරග පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. පළමු තරගය සැප්තැම්බර් මස පළමු වනදාත් දෙවන තරගය සැප්තැම්බර් මස 3 වනදාත් පැවැත්වීමට නියමිතයි අතර දෙරට අතර අවසන් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගය සැප්තැම්බර් මස 6 වනදා පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.
ඊයේ පැවති විශේෂ සාකච්ඡාවකදීය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහගේ සේවය තවදුරටත් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගෙන් ඊයේ අවසර ඉල්ලා සිටියා. තරඟ අවසන් වෙනතෙක් චන්දික හතුරුසිංහ ප්රමුඛ පුහුණු කාර්ය මණ්ඩලයේ සේවය ලබා ගැනීමට අවසර දෙන ලෙස එහිදී ශ්‍රී ලංකා විධායක කමිටුව ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබෙනවා. කොහොම වුණත් ක්‍රීඩා අමාත්‍යවරයා මීට පෙර ක්‍රිකට් ආයතනයට දන්වා සිටියේ බංග්ලාදේශ සංචාරයෙන් පසු පුහුණුකාර මණ්ඩලය ඉවත් කරන ලෙසයි.
