Gossip

“යෙහෙළියගේ පිළිසරණට ගොස්‌ අකාලයේ දිවිපිදූ කවීෂා”

අපේ දරුවාට සිදු වූ මෙවැනි විපත් යළි ඇති නොවෙන්න මේ අපරාධය සිදු කළ පාපතරයාට මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න කියලා අපි කියනවා.
යෑයි ඉකුත්දා කුරුණෑගල මැල්සිරිපුර ප්‍රදේශයේ ලැගුම් හලකදී මරා දමා තිබියදී සොයා ගත් අලව්ව, නවතල්වත්ත පදිංචිව සිටි ඩබ්ලිව්. පී. කවීෂා මධුරංගි වික්‍රමසිංහ දැරියගේ මව්පියන් විලාපදෙමින් ඉල්ලා සිටිති.
තම හොඳම යෙහෙළියක කරදරයකට පත්ව ඇතැයි ලැබුණු ආරංචියක්‌ මත ඇයට උපකාර කිරීමට යෑයි පවසා පිටත්ව ගිය විසි හැවිරිදි තරුණියකට හෝටල් කාමරයක්‌ තුළදී හිතක්‌ පපුවක්‌ නොමැති පාපතරයකුගේ අතින් සිය ජීවිතය අහිමි කර ගැනීමට සිදුවීමේ මෙම ශෝචනීය පුවත වාර්තා වූයේ ඉකුත් 30 වෙනිදා ගොකරැල්ල පොලිසින් බලප්‍රදේශයෙනි.
කුරුණෑගල – මැල්සිරිපුර නගරයේ හෝටල් කාමරයක්‌ තුළ අභිරහස්‌ ලෙස මිය ගිය තරුණියකගේ මළ සිරුරක්‌ අති බවට ගොකරැල්ල පොලිසියට අදාළ හෝටලයේ සේවකයින් විසින් සිදුකරනු ලැබූ පැමිණිල්ලකට අනුව සිදුකළ පරීක්‌ෂාවකදී පොලිසිය විසින් එම මළ සිරුර සොයා ගැනිණි.
ඇය මෙවර අ.පො.ස. (සා. පෙළ) විභාගයට දෙවන වරට පෙනී සිටීම සඳහා සූදානමින් සිට ඇත.
සිද්ධියට සම්බන්ධව කුරුණෑගල ඉහලගම පෙරියකඩු නැලව පදිංචි අධිකාරි මුදියන්සේලාගේ කසුන් ප්‍රදීප් නමැති 22 හැවිරිදි සැකකරු 30 වෙනි දා රාත්‍රියේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අති අතර ඔහු මේ වන විට කුරුණෑගල මහේස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ප්‍රධාන මහේස්‌ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා විසින් මේ මස 8 වෙනි දින දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ
කුරුණෑගල නගරයේ උපකාරක පන්තියකට සහභාගී වීමට යයි කියමින් ඉකුත් 29 වෙනිදා නිවසින් පිටත් වූ කවීෂා එදින නිවසට නොපැමිණීම පිළිබඳව ඇයගේ ගේ මව්පියන් විසින් අලව්ව පොලිසියට පැමිණිල්ලක්‌ සිදු කර තිබූ අතර ඒ පිළිබඳව අලව්ව පොලිසිය විසින් පරීක්‌ෂණ සිදු කෙරෙමින් පවතින අතරතුර ඇයගේ මළ සිරුර හමුව තිබෙන්නේ තරුණිය නිවසින් අතුරුදන්ව දිනකට පසුවය.
සිද්ධියෙන් මිය ගිය කවීශාගේ මෘතදේහය පෙරේදා (01 දා) රාත්‍රියේ කවීශා පදිංචි අලව්ව නවතල්වත්ත නිවසට රැගෙන විත් තිබුණේ ප්‍රදේශයේ ලොකු කුඩා සැවොම දුක්‌ සයුරක ගිල්වමිනි.
එහිදී මෙම සිදුවීම ගැන අප සමග කතා කළ කවීශාගේ මාමා කෙනෙකු වන ඡේ. අජිත් ධම්මික මහතා අප සමග මෙසේ පැවසීය.
මේ ළමයා බලෙන් පැහැරගෙන ගිහින් තියෙන්නේ. අපේ දුවගේ යාලුවෙක්‌ එක්‌ක තමයි මේ සිද්ධියේ සැකකරු යාලු වෙලා ඉන්නේ.
මේ පුද්ගලයා ඒ ළමයාගේ දුරකතනයෙන් අපේ ළමයට කෝල් එවල තමයි එයාව රවට්‌ටන් ගිහින් තියෙන්නේ.
අපේ දුව තවත් එයාගේ යාලුවෙකුට මැසේඡ් කරලා තියෙනවා මගේ යාලුවෙක්‌ කරදරේක වැටිලා. ඒ නිසා මං එයාව බලන්න යනවා කියලා.
සැකකරු දුවව හෝටල් කාමරයට අරන් ගිහින් එයාට සිහි නැති වෙන්න මොනවා හරි දීල තමයි මේ අපරාධය කරලා තියෙන්නේ.
දුව හෝටලේ කාමරයේ ඉඳන් කෑගහන ශබ්දෙ හෝටලේ වැඩ කරන කෙනෙක්‌ට ඇහිලා තියෙනවා.
එයා විපරම් කරන කොට සැකකරු කියල තියෙනවා එක අපේ ප්‍රශ්නයක්‌ ඒ නිසා කලබල වෙන්න එපා කියල.
මිය ගිය කවීෂා ගැන කතා කිරීමට අයගේ මවට හෝ පියාට නිනව්වක්‌ නැත. ඒ තරමටම ඔවුහු මේ අකල් මරණයෙන් දැඩි සේ කම්පාවට පත්ව සිටිති.
දරුවන් තිදෙනකුගෙන් යුතු පවුලේ දෙවැනි දරුවා වූ කවීෂා ගමේ කා අතරත් හොඳ හිත දිනා සිටි දැරියකි.
නවතල්වත්ත පියසුමනාරාම විහාරස්‌ථ පියසුමන දහම් පාසලේ දීප්තිමත් ශිෂ්‍යාවක වූ ඇය ගේ හදිසි වියෝවෙන් මුළු අලව්වම කම්පාවට පත්ව ඇත.
සැකකරු විසින් ඉමාෂාගේ දුරකතනයෙන් ලබා දුන් ව්‍යාජ තොරතුරු ඔස්‌සේ සිය යෙහෙළියට උදව් කිරීමට පැමිණි කවීෂාට මෙසේ සිය ජීවිතය අත හැර දැමීමට සිදු විය.
සැකකරු පොලිසියට පවසා ඇත්තේ තමා සමග එකට සිට ඡායාරූපයක්‌ ගෙන ඉමාෂට යෑවීමට කළ යෝජනාවට කවීෂා අකමැති වීම නිසා මෙසේ ඇය මරා දැමුණු බවයි.
කුරුණෑගල කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි මහින්ද දිසානායක මහතාගේ අධීක්‌ෂණය යටතේ සහකාර පොලිස්‌ අධිකාරී නිශාන්ත හේරත් මහතාගේ උපදෙස්‌ මත ගොකරැල්ල පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක ලසන්ත බුද්ධික, අපරාධ මර්දන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක ලලිත් චන්ද්‍රකුමාර, සැරයන්වරුන් වන ( 20654) චන්දන ජයතිස්‌ස. (30547 ) ජයරත්න , (19654 ) ගාමිණි යන නිලධාරීන් විසින් සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්‌ෂණ කටයුතු සිදු කරයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!