Gossip

“විශ්ව විද්‍යා ගමන පවා අතහැරියේ මගේ පෙම්වතා නිසා.. ඇස් පෙනීමයි ඇවිදින්නයි බැරිවුණාම ඒ ආදරයට මාව දාලා යන්න ගතවුණේ මාස තුනක වගේ කාලයක්” – ආශ්චර්යා ජයකොඩි

එනිසාවෙන් අප ඉදිරියට යන අතරේ පවුලේ සාරධර්ම ගුණධර්ම රැකගනිමින් ඉදිරියට යෑම කෙරෙහි අවධානය යොමු කළ යුතුමයි.
ඇය තම ගැහැනුකම රැකගෙන තම පෞරුෂය ඔප්නංවා ගත යුතුයි.
කාන්තාව දෙවියන් වහන්සේ විසින් මවන ලද සුන්දරම මැවුමයි. මෙලොව නියම රසය ඇත්තේ කාන්තාව සිටින විටයි. නමුත් ඒ රස ලුණු රස වැනියි. ලුණුවලින් ලුණු රස නොදැනුණු විට එයින් ඇති ප්‍රයෝජනයක් නැහැ. කාන්තාවත් එලෙසමයි. ඈ කුමන ක්ෂේත්‍රයක කුමන කාර්යයක නියැළී සිටියත් ඇගේ නියම කාන්තා ස්වභාවය තබා ගැනීම අවශ්‍යයි. ශක්තිමත් බව, පෞරුෂය වගේම නාරි ලක්ෂණ, සෙනෙහස, කරුණාවන්ත බව, සෞම්‍ය බව, ආදරණීය බව, ශි්‍රයාව ආදී මේ සියල්ලක්ම ඇය තුළ ගැබ්ව තිබිය යුතුයි.
පිරිමින් හා උරෙනුර ගැටී කටයුතු කළත් ඇය තුළ මේ ලක්ෂණ අන්තර්ගත වීම අවශ්‍යයි. ඒ අතරතුර තමන්ටත් වඩා අන් අයට සෙනෙහස දැක්වීමේ හැකියාව කාන්තාවට තිබිය යුතුයි.
තමා කාන්තාවක් වීම පිළිබඳව ආඩම්බර වනවාසේම පිරිමියකුට දිය යුතු නිසි තැන ලබාදී කටයුතු කිරීම කෙරෙහිත් අෑ අවධානය යොමු කළ යුතුයි. මා ඉන් අදහස් කළේ ඔවුන්ට යටත් වී සිටිය යුතුයි යන්න නොවෙයි. නමුත් ආදරය, කරුණාව තුළින් හික්මවිය නොහැකි බොහෝ දේ හික්මවීමට කාන්තාවට හැකියාව තිබෙනවා.
දිනන්නට නම් ඇය එක්වරක් හෝ පරාජය අත්දැක තිබිය යුතුයි.
විවිධ අවස්ථාවලදී විවිධාකාරයෙන් අපේ ජීවිත පරීක්ෂාවට ලක් වෙනවා. වරින් වර අපට මුහුණ දීමට සිදුවන අභියෝගත් එවැනි පරීක්ෂාවක්. එම නිසා අභියෝග දෙස ඉතාම අසීරු සහ ජීවිතයෙන් පලා යා යුතු දෙයක් ලෙසින් අප බැලිය යුතු වන්නේ නැහැ.
අභියෝග අපේ ජීවිතයට ලැබෙන ශක්තිජනක එන්නතක්. අභියෝගවලට මුහුණ දීමෙන් අප අපේ ජීවිත ශක්තිමත් කරගනු ලබනවා. එම නිසා අභියෝග දෙස අප බලන කෝණයයි වෙනස් කර ගත යුත්තේ.
අභිවෘද්ධිය කරා යන ගමනේදී විවිධ බාධක, කම්කටොලු, අභියෝග අපට එල්ලවෙනවා. එවැනි අවස්ථාවලදී අයියෝ මොන කරුමයක්ද? ඇයි අපිටම මෙහෙම වෙන්නෙ? ඇයි අපිටම ඉස්සරහට යන්න බැරි? යැයි සිතමින් පසුබට විය යුතු වන්නේ නැහැ. අභියෝග ජීවිතයේ ඉදිරියට යෑමට ලැබෙන තල්ලුවක්.
පරාජයක් නොලැබුවහොත් ජයග්‍රහණයක තිබෙන යථාර්ථය, සතුට අපට විඳීමට ලැබෙන්නේ නැහැ. යම් අවස්ථාවකදී වැටුණොත් පමණි නැඟී සිටීමේ නියම සතුට දැනෙනුයේ. එක්වරක් හෝ ජීවිතයේ පරාජයක් නොලැබූ අයකුට නැවත නැඟී සිටීමේ සතුට හිමිවන්නේ නැහැ.
බොහෝ අංශවලින් තැළුණු, පොඩිවුණු වැටුණු අයකු ලෙස ගැටලු හමුවේ නැඟී සිටින සෑම අවස්ථාවකම මට දැනුණු සතුට වචනයෙන් කියා නිම කළ නොහැකියි. එම තෘප්තිය සදාකාලිකවම මගේ ඇතුළාන්තයෙහි සටහන් වී තිබෙනවා.
ඇය දරුවන් වෙත මානුෂීය ගුණාංග පුරුදු පුහුණු කරන යහපත් මවක විය යුතුයි.
දරුවන් ඉදිරියට යනවා දැකීමට දෙමාපියන් කැමතියි. නමුත් ඉදිරිය ලෙස අප දකින්නේ කොතැනද? ඉදිරිය යන්න අප අර්ථගන්වා ගන්නේ කුමක්ද යන්න ගැටලුවක්.මවක් ලෙස මම මගේ දරුවාගේ ඉදිරිය පිළිබඳව සිතුවත් මනුෂ්‍යත්වය නොහඳුනන ආත්මාර්ථකාමී අයකු සේ දරුවා සමාජයට මුදා හැරීමේ අවශ්‍යතාවක් මට නැහැ. එම නිසා මවක් ලෙස මා මගේ දරුවාට හැඟීම් දැනීම්, දුක වේදනාව, මනුෂ්‍යත්වය ආදිය පිළිබදව නිරන්තරයෙන් කියා දෙන්නට උත්සාහ දරනවා.
ඒ වගේම අගය කිරීම පිළිබඳව මා අෑට කියා දෙනවා. කවුරුන් හෝ උදව්වක් කළ විට ‘ස්තුතියි’ කියන්නට මෙන්ම වරදක් වූ විට නොපැකිලිව “සමාවෙන්න” යැයි කීමට මා අෑට කියා දෙනවා. අද මිනිසුන් බොහෝ දෙනා සමාව ගන්නට, ස්තුති කරන්නට දන්නෙ නැහැ. ඒ නිසා ඒ අතරේ අප මහා ඝට්ටනයක නිරත වෙනවා. ඒ වගේම සමාජයේ බොහෝ දෙනකු තුළ තවත් මනුෂ්‍යයකු පිළිබඳව හැඟීමක් නොමැති තත්ත්වයට පත්ව තිබෙනවා. බොහෝ දෙනා යන්නන්වාලේ ඔහේ ඉදිරියට ගමන් කරනවා. නමුත් එසේ ඉදිරියට ගොස් ආපසු හැරී බලන විට තමා ලබාගත් දෙයක් හෝ තමාට ඉතිරි වූ දෙයක් නැහැ.
දෙමාපියනට දරුවන්ගේ හොඳම යහළුවා, යෙහෙළිය ලෙසින් කටයුතු කළ හැකි නම් දරුවන් කිසි විටෙකත් පාලනය බිඳගෙන ඉදිරියට යෑමට උත්සාහ දරන්නේ නැහැ. දරුවාට ආදරය අවැසි තැන ආදරය ලබා දෙන්න. හික්මවීම අවැසි තැන හික්මවන්න.
ගසක් වුවත් ක්‍රමයෙන් වැඩෙන විට එය අප නිසි පරිදි කප්පාදු කර අවශ්‍ය පරිදි සකසා ගන්නවා. එසේ නොමැති වුවහොත් අනවශ්‍ය අතුරිකිලි නිසා ගැටලු මතුවිය හැකියි.
දරුවනුත් එසේමයි. දරුවන් ක්‍රමයෙන් වැඩෙනවිට නොයෙකුත් සමාජ ආර්ථික වාතාවරණයන්ට මැදිවූ විට යම් යම් ඝට්ටන මතුවිය හැකියි. නමුත් ඔවුන්ව නිසි පරිදි ඔපමට්ටම් කිරීමේ හැකියාව මවුපියන් සතුයි. දියමන්තියක් වුවත් ඔපමට්ටම් කළ විටයි එහි වටිනාකම වැඩි වන්නේ. දරුවනුත් දියමන්තියක් සේ ඔපමට්ටම් කර සමාජයට මුදාහළ හැකි නම් එවැනි දරුවකුගේ වටිනාකම කිසිදා නැති වන්නේ නැහැ.
ප්‍රේමය අහිමි වූ පමණින් ඇගේ සියල්ල අවසන් වූ බව ඇය නොසිතිය යුතුයි.
අද සමාජයේ අහිමි වීම් සුලබයි. ප්‍රවෘත්ති නරඹන විට පවා අපට වැඩිපුරම දැකීමට සිදුවන්නේ අහිමි වීම්. එක් අතකින් ජීවිත හෝ දේපළ හානියක් සිදුවීමක්, එසේත් නොමැතිනම් ආදරය කළ අයකුගේ වෙන්වීමක් ආදී වශයෙන් අහිමි වීම් අප සමාජයේ ඕනෑතරම් දැකිය හැකියි. මෙවැනි දේ අතීතයේ සිටම සිදුවූවා. ජාතක කථාවල පවා මෙවැනි දේ අන්තර්ගත වූවා. නමුත් අද කාලයේ මිනිසුන් ජාතක කථාවෙන් පමණක් හික්මවිය නොහැකියි. යථාර්ථවාදී මතවලින් සහ සාරධර්මවලින් පමණයි ඔවුන් හික්මවිය හැක්කේ.මමත් ප්‍රේමය නිසා වැටුණු අයෙක්. මගේ පවුලේ තිබුණේ දැඩි පවුල් පරිසරයක්. එවැනි පරිසරයක් තුළ දරුවන් තවත් කෙනකුගේ සෙනෙහස සෙවීම වැළකිය නොහැකියි. දරුවන්ට අවශ්‍ය සෙනෙහස පවුල තුළින් දරුවන්ට නොඅඩුව ලැබෙනවා නම් දරුවන් වැටකඩුලු බිඳගෙන යෑමට උත්සාහ දරන්නේ නැහැ.
මම විශ්වවිද්‍යාල ගමන පවා අතහැරියේ මගේ පෙම්වතා නිසාවෙන්. නමුත් පෙනීම නොලැබී ඇවිදීමට නොහැකිව එක්තැන්වූ තැන ඒ ආදරයට මාව දමා යෑමට මාස තුනක කාලයක්වත් ගතවූයේ නැහැ. එලෙස අපව වෙනත් අයකු රිදවනවා යැයි දැනුණු විට අපි අපවම නැති කර ගැනීමට උත්සාහ ගත යුතු වන්නේ නැහැ. ඔවුන් අපව රිදවනවා නම් අප සිටි මට්ටමටත් වඩා ඉහළට ගමන් කිරීමට උත්සාහ ගත යුතුයි.
මා විශ්වවිද්‍යාලයට පා තැබුවේ එක්දිනක් පමණයි. ඒ මා ආදරය කළ පුද්ගලයා සමඟිනුයි. නමුත් ඉන්පසුව ඔහු මා හට විශ්වවිද්‍යාලයට යෑමට ඉඩ ලබාදුන්නේ නැහැ.අප ආදරය කරන අය ඉදිරියට යනු දුටු විට කකුලෙන් අල්ලා වට්ටන්නට උත්සාහ ගන්නවා නම් එහි ඇත්තේ සැබෑ ආදරයක් නොවෙයි. ආත්මාර්ථකාමීත්වය ආදරය තුළ තිබේ නම් එය කිසිදා ආදරයක් නොවෙයි. නියම ආදරය තුළ ආත්මාර්ථකාමීත්වයක් දැකිය නොහැකියි. අපේ ජීවිතයේ සිහින අනෙකා නිසාවෙන් පමණක් නොව අප වෙනුවෙන්වත් අතහැරිය යුතු වන්නේ නැහැ.
දැඩි විනයක්, දැඩි සම්බන්ධයක් නොමැති තැනයි සුළු සුළු දේවලට පවා ගැටුම් ඇතිකර ගන්නෙ. නාඹර පෙම්වතුන් අතරේ පමණක් නොවෙයි විවාහක යුවළ අතරේ පවා ගැටුම් ඇතිවීමට මූලිකම හේතුව මෙයයි. අද අපේ රටෙහි දික්කසාද වීමේ ප්‍රවණතාව ඉහළ යෑමටත් මෙය ප්‍රධාන හේතුවක්.
ඉවසීම නොමැතිකම, දරාගැනීමට නොහැකිවීම, තවත් කෙනකුට ආදරය කිරීමට, ගරු කිරීමට නොදන්නාකම ආදිය මත මෙවැනි ගැටලු පැනනැඟෙනවා.
විවාහයෙන් පසුව සැමියා බිරිඳට “නුඹ මට අයිති වස්තුවක්, එනිසා මා කියනා ලෙසින් සිටිය යුතු යැයි” කීම තුළ බිරිඳකට ලැබිය යුතු නිසි ආදරය ගෞරවය අෑට හිමිවන්නේ නැහැ. මෙවැනි දේ මත විවාහයට පෙර ලස්සනට ඇඳ පැලැඳ සිටි තරුණිය විවාහයෙන් පසුව ලස්සනට සිටීමට තබා තමා ගැන සිතීමත් අමතක කර දමනවා. බිරිඳක් තම සැමියාගෙන් නිසි ආදරය ගෞරවය අපේක්ෂා කරනවා.
ඇය කවර කටයුත්තකදී වුව තම හෘදය සාක්ෂියට අවනත විය යුතුයි.
අද කාලයේ ඇතැම් කාන්තා චරිත මුදලට සීමා වී ස්වාමියාව, දරුවන්ව, මවුපියන්ව අමතක කර දමනවා. මවක්, බිරිඳක්, යෙහෙළියක්, සොයුරියක් ලෙස තමාගේ භූමිකාව, තමාට පැවරී ඇති කාර්යභාරය ඇය අමතක කර දමනවා. කෙටි මාර්ග ඔස්සේ ඉදිරියට යෑමටත් ඇතැම් කාන්තාවන් උත්සාහ දරනවා. නමුත් ඔවුන් ඉදිරියට ගොස් නැවත හැරී බලනවිට ප්‍රමාද වී වැඩියි. අපි දියුණුව කරා යනවිට විවිධ කුණාටු අප ඉදිරියට පැමිණෙනවා. නමුත් ඒවාට හසුනොවී සිටීමයි වැදගත්.
අප සියලු දෙනාම අපේ හෘද සාක්ෂියට අවනතව කටයුතු කළ යුතු වෙනවා. අප කළ යුත්තේ කුමක්ද? වැරැදෙනවා නම් වැරදුණේ කොතැනද? තමා වැරැදිද, නිවැරැදිද? ආදිය අවබෝධ කර ගැනීමටයි හෘද සාක්ෂිය තිබෙන්නෙ. අප නැඟී සිටින්නට උත්සාහ කළත්, යම් අවස්ථාවක වැටුණත්, යම් වරදක් සිදු කළත් ඒ සෑම අවස්ථාවකම හෘද සාක්ෂිය අප වැරැදි බව හෝ නිවැරැදි බව අපට පවසනවා. එනිසාවෙන් හෘද සාක්ෂිය අපට ලැබී ඇති එක්තරා මිනුම් දණ්ඩක්. මම සෑම විටම උත්සාහ කරන්නේ හෘද සාක්ෂියට එකඟව ජීවත් වීමටයි. එසේ නොවුණහොත් හොඳ මවක් වන්නැයි, හොඳ බිරියක් වන්නැයි තවත් කෙනකුට පැවැසීමේ හැකියාව මට ලැබෙන්නේ නැහැ.
මා දෑස් නොපෙනෙන බිරියක්. පෙනීම නොමැතිවීමේ දුර්වලතාව මට බොහෝ කටයුතුවලට අතිශය පහරක් එල්ල කරනවා. නමුත් මා ඒ පිළිබඳව සුළු තැකීමක්වත් කරන්නේ නැහැ. ඒ නිසාවෙනුයි මා හට ඉදිරියට යෑමට හැකිව තිබෙන්නේ. සෘණාත්මකව සිතුවා නම් මගේ ජීවිතය වධකාගාරයක් වන්නට ඉඩ තිබුණා.
මා සෑම කාර්යයකම නිරත වන්නේ ඉතා සතුටින්. ඉවුම් පිහුම් කටයුතු මෙන්ම නිවෙසේ අනෙකුත් කටයුතු පවා මා කරන්නේ ඉතා සතුටින්. එක් එක් කාර්යයන් කළ නොහැකි යැයි කියමින් මා කිසිවිටෙකත් මගේ ස්වාමියා මානසිකව තළා පෙළීමට උත්සාහ ගන්නේ නැහැ. බිරිඳක් ලෙස මගේ නිවසේ මා හට කළ හැකි කාර්යයන් මගේ උපරිම ශක්තියෙන් මා ඉටු කරනවා.
තමා ලද ගැහැනු ආත්මය ගැන අභිමානයක් ඇයට තිබිය යුතුයි.
කාන්තාවක් වීම මා මගේ ජීවිතයේ ලද භාග්‍යයක්. මා දරුවා ලැබෙන්නට සිටිනවිට මගේ ඇස් නොපෙනීමේ ප්‍රවණතාව මගේ දරුවාටත් පවතීද යන බිය නිසා ඒ පිළිබඳව පරීක්ෂාවක් සිදු කළා. නමුත් මට ඊට වඩාත්ම අවශ්‍ය වූයේ දරුවා දියණියක්දැයි දැනගැනීමටයි.
දරුවා දියණියක් යැයි දැනගැනීම නිසා මමත් මගේ සැමියාත් ඉතා සතුටට පත්වූවා. පළමුව පවුලකට දියණියක් ලැබීම සෞභාග්‍ය උදාවීමක්. නමුත් එය බොහෝ මවුවරු තේරුම් ගන්නේ නැහැ.
පවුලක් දරාගැනීමේ ශක්තිය තිබෙන්නේ කාන්තාවටයි. ගෙදර බුදුන් අම්මා යැයි අප පවසන්නේත් එනිසාවෙන්මයි. සෑම සමාජයකම කාන්තාවට හිමිව තිබෙන තැන ඉහළයි. එනිසාවෙන්ම පිරිමියකුව ඉපදීමටත් වඩා කාන්තාවක්ව ඉපදීමට පින් කළ යුතු යැයි මම විශ්වාස කරනවා.

උපුටා ගැනීමකි

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!