බන්ධනාගාර බස් රථයකට ප්‍රහාරයක් එල්ල කර පාතාල ප්‍රබලයකු ඝාතනය කිරීම සඳහා පාතාල නායක පොඩි ලැසී විසින් සිදු කළ සැලසුමක සුලමුල හෙළිකර ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම ප්‍රහාරය එල්ල කිරීමට සූදානමින් සිටි පාතාල සාමාජිකයන් තිදෙනකු සහ ඊට යොදා ගැනීමට සූදානම් කර තිබූ මෝටර් රථයක් ටිපර් රථයක් සහ ඇමරිකාවේ නිෂ්පාදිත පිස්තෝලයක් පෙරේදා (17 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ජනිත් නොහොත් තනි ඇටයා නමැති පාතාල සාමාජිකයා අධිකරණය වෙත රැුගෙන එන අවස්ථාවේදී ටිපර් රථය යොදාගෙන බන්ධනාගාර බස් රථයට මග අහුරා මෝටර් රථයෙන් ගොස් ඊට ප්‍රහාර එල්ල කිරීමට පොඩි ලැසී සිදුකළ සැලසුම හෙළි වී තිබේ.
ගාල්ල අධිකරණය මගින් පොඩි ලැසීට ඇප නියම කිරීමෙන් පසු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහු දින 90 ක රඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබිණි.
බන්ධනාගාර බස් රථයට ප්‍රහාර එල්ල කිරීම සඳහා පොඩි ලැසී සිදුකළ සැලසුමට සම්බන්ධ අපරාධකාරයන් වාහන සහ ගිනි අවිය අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී සිදුකළ ප්‍රශ්න කිරීම්වලදීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි මෙරිල් රන්ජන් ළමාහේවා මහතාට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ මෙහෙයුමකදී පොඩි ලැසී විසින් මෙම ප්‍රහාරය සඳහා මිල දී ගෙන තිබූ ටිපර් රථය අම්බලන්ගොඩ ප්‍රදේශයේ තිබියදී සොයා ගන්නා ලදී.
තනි ඇටයා ඝාතනය කිරීම සඳහා යොදා ගැනීමට සූදානම් කර තිබූ ඇමරිකාවේ නිෂ්පාදිත මිලි මීටර් 9 වර්ගයේ පිස්තෝලය අත්අඩංගුවට ගෙන ඇත්තේ තෙල්වත්ත ප්‍රදේශයේ සඟවා තිබියදීය.
ප්‍රහාරය එල්ල කිරීම සඳහා පාතාල සාමාජිකයන් ගමන් ගැනීමට සූදානම් කර තිබූ පියර්ස් වර්ගයේ මෝටර් රථය සොයාගෙන ඇත්තේ හික්කඩුව ප්‍රදේශයේ සඟවා තිබියදීය.
පොඩි ලැසී නමැති පාතාල නායකයා මෙම ප්‍රහාරක සැලසුම සකස් කර ඇත්තේ අඟුණකොලපෑලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටියදීය. තම පාතාල කල්ලියේ සාමාජිකයන් පිරිසක් ඔහු සිය ප්‍රහාරය සඳහා සූදානම් කර තිබූ අතර කොළඹ – ගාල්ල මාර්ගයේ කිසියම් ස්ථානයකදී මෙම ප්‍රහාරය එල්ල කිරීම සඳහා සැලසුම් සකස් කරගෙන සිට ඇති බව ද හෙළි වී තිබේ.
පොඩි ලැසී තනි ඇටයා නමැති පාතාල සාමාජිකයා සමඟ කාලයක් තිස්සේ දැඩි වෛරයකින් පසු වූ බව පරීක්ෂණවලින් අනාවරණය විය.
රත්ගම හිටපු නගරාධිපති මනෝජි මෙන්ඩිස්ගේ නියෝග මත පොඩි ලැසිගේ පියා ඝාතනය කර තිබුණේ මෙම තනි ඇටයා නමැති පාතාල සාමාජිකයා විසින්ය.
තම පියා ඝාතනය කිරීමේ වෛරය පිරිමසා ගැනීම සඳහා මීට වසර කීපයකට උඩදී පොඩි ලෑසී විසින් මනෝජ් මෙන්ඩිස් ඝාතනය කරන ලදී.
පියා මරා දැමීමේ සිද්ධියට සම්බන්ධ තනි ඇටයා ඝාතනය කිරීම සඳහා පොඩි ලැසී සැලසුම් සකස් කර තිබී ඇත්තේ ඒ අනුවය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ, එහි නව අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත ද සොයිසා යන මහත්වරුන්ගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි මෙරිල් රන්ජන් ළමාහේවා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති.
උපුටා ගැනීම – දිවයින පුවත්පත