“පුදුම රස්නයක්” මේ දිනවල කාගේත් මුවින් පිටවන වදන් පෙළකි. පවතින වියළි කාලගුණය නිසා පීඩාවට පත්වන ජනතාව මේ වන විට ගැටලු රාශියකට මුහුණ දී සිටිති. ළිං සහ ගංගා ඇළදොළවල ජල මට්ටම පහත වැටීමත් සමඟම ජල පරිභෝජනය කෙරෙහි ඇති වන බලපෑම ගැන කවුරුත් කතා කරති. ජල විදුලි කප්පාදුව ගැන අවධානයෙන් පසුවෙති. එහෙත් ශරීර සෞඛ්‍යය කෙරෙහි අවධානය යොමු කරන්නේ ඉතා අඩුවෙනි.
පරිසරයේ පවතින දැඩි උෂ්ණත්වය නිසා දහදිය මඟින් මිනිස් සිරුරේ තිබෙන ජලය පිට වෙයි. එබැවින් නිරන්තරයෙන් ජලය පානය කිරීම ඉතා වැදගත් වේ. සිරුරේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය ජලය නිසි පරිදි නොලැබුණහොත් විජලනය ඇති විය හැකිය. විජලනය නිසා මස් පිඬු පෙරළීම, සිහි මූර්ජාව (Heat Stroke) පවා ඇති විය හැකි අතර සම කැසීම, ඇස් දැවිල්ල, දහදිය නිසා සමට හානි සිදු වීම වැනි ගැටලු ද මතු විය හැකිය.
ඇතැම් විට හෘදරෝග සහ පෙණහලු රෝග වැනි නිදන්ගත රෝග උත්සන්න විය හැකිය. පවතින වියළි කාලගුණික තත්ත්වය යටතේ ජලය පානය කිරීම අත්‍යවශ්‍ය සාධකයක් වන්නේ එබැවිනි.
“ශරීරයේ ඇති ජලය අඩු වීමෙන් විවිධ සංකූලතා ඇති වෙනවා. ඒ නිසා ජලය ලීටර් 5-6 ක් වත් දිනකට පානය කිරීම අත්‍යවශ්‍යයි. අඩුම වශයෙන් ලීටර් 5ක් වත් පානය කළ යුතුයි.
වතුර බීමට පිපාසය දැනෙන තුරු සිටින්න එපා. විනාඩි 15 – 20 කට වරක් වතුර උගුරු 8-10 ක් පානය කිරීම පුරුද්දක් වශයෙන් කරන්න. ශරීරයට දියර වර්ග සුදුසුයි කියලා සීනි අධික බීම වර්ග බොන්න එපා. හැකිතාක් නටන තෙක් උණු කර නිවාගත් ජලය තමයි බීමට සුදුසු වෙන්නේ.
සමහරුන් වතුර නටවන්නේ නැතිව පානය කරනවා. ඒත් පවතින වියළි කාලගුණය සමඟ වසංගත රෝග පැතිරෙන්න පුළුවන්. ඒ අවදානම වළක්වා ගැනීමටයි වතුර නටවා නිවාගෙන බොන්න කියලා අපි උපදෙස් දෙන්නේ.” යනුවෙන් සඳහන් කළේ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්යක්ෂ, ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා ය.
උෂ්ණත්වය වඩාත් දැඩි වන කාල පරාසය ලෙස ඈ පෙන්වා දෙන්නේ පෙරවරු 11.00 – පස්වරු 3.30 අතර කාලයයි. එබැවින් එම කාලය තුළ අනවශ්‍ය පරිදි එළිමහනේ ගැවසීම අවම කිරීම ඉතා වැදගත්ය. එළිමහනේ යෑමට සිදු වේ නම් පන් තොප්පි පැලඳීමත් ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව කුඩ පාවිච්චි කිරීමත් යෝග්‍ය වේ. ළා පැහැති ඇඳුම් ඇඳීම, අධික රස්නය ඇති විට මුහුණේ සහ අත් වතුරෙන් තෙමීම සහ වාතාශ්‍රය හොඳින් ලැබෙන සේ දොර ජනෙල් විවෘතව තැබීමෙන් සිරුරට දැනෙන උෂ්ණත්වය අඩු කර ගත හැකිය.
සිරුරට දැනෙන අධික උෂ්ණත්වය නිසා තද අව්වේ ක්‍රීඩා කිරීම සුදුසු නැත.
“අධික උෂ්ණත්වය නිසා සංකූලතා ඇති වන අවදානම් කණ්ඩායමක් හැටියට ළමයින් හඳුනාගෙන තිබෙනවා.
ඒ නිසා දරුවන් අව්වේ ක්‍රීඩා කිරීමට එළිමහනට යනවා නම් තොප්පියක් දාලා යැවීම පිරිසුදු වතුර බෝතල් දීම වැඩිහිටියන්ගේ යුතුකමක්. අධික ශරීර උෂ්ණත්වයත් එක්ක ඕනෑම කෙනෙකුගේ නාඩි වේගය හා ශ්වසන වේගය වැඩි වෙනවා. හිසරදය, සිහි මද ගතිය, වලිප්පුව ඇති වෙනවා.
අධික දහදිය දැමීම, ශරීරයේ අප්‍රාණික බව, ක්ලාන්තය, පිපාසය සමඟ ආතතිය ඇති වෙන්න පුළුවන්. මේ නිසා තමයි පුළුවන් තරම් වතුර බොන්න කියල අපි උපදෙස් දෙන්නේ. අඩුම වශයෙන් දවසකට වතුර ලීටර් 5ක් බොන්න ඕනෑ.” යනුවෙන් පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්යක්ෂ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා සඳහන් කළාය.
මෙම වෛද්‍ය උපදෙස් නිසා හෝ පිපාසය නිසා මේ දිනවල ජනතාවගේ පානීය ජල පරිභෝජනයේ ඉහළ යෑමක් සිදු විය හැකිය. ශ්‍රී ලංකා පානීය ජල බෝතල් කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපති අනුර කුමාරසිංහගෙන් ඒ පිළිබඳ විමසුවේ එම නිසාය.
“පානීය ජල බෝතල් වෙළඳාම කාලගුණය සමඟ සම්බන්ධ දෙයක්. පායන කාලයට වෙළඳාම වැඩියි. වැහි කාලයට වෙළඳාම අඩුයි.
කොහොමටත් සෑම අවුරුද්දකම මාර්තු මාසයේ පානීය ජල බෝතල් විකිණෙන ප්‍රමාණය ඉහළ යනවා. මේ අවුරුද්දේ පෙබරවාරි මාසයේ පවතින උණුසුම් කාලගුණය එක්ක පානීය ජල බෝතල් අලෙවිය ඉහළ ගිහින් තිබෙනවා. ජල බෝතල් කර්මාන්තකරුවන්ගේ සංගමයේ සාමාජිකයන් 150 දෙනෙකු පමණ සිටිනවා.
ඒ හැමෝගේම මේ දිනවල අලෙවිය වැඩිවෙලා තියෙනවා.” යනුවෙන් අනුර කුමාරසිංහ පැවසීය.
කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පදික වේදිකාවේ සිටින විට අපට දක්නට ලැබෙන්නේ මී මැසි පොදියක් මෙන් පොර කන ජනතාවය. සමහරු අතින් කටින් බඩු මලු එල්ලා ගෙන බස් රථවලට නඟිති.
සමහරු බස් රථවලින් බසිති. ඇතැමෙක් මගී පාලම ඔස්සේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයට දිව යති. එසේ කඩිසරව එහා මෙහා යන ජනතාවගේ පිපාසය සංසිඳුවාලීමට වෙළෙඳුන් පිරිසක් ද සෑදී පැහැදී සිටිති.
කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට මඟී පාලමේ පියගැටපෙළ අසල පිහිටි කඩ පේළියේ දෙහි, දොඩම් සහ පලතුරු බීම අලෙවි කරන ෆවුමි සමඟ කතා කළ විට ඔහු පැවසුවේ මේ දිනවල දෙහි සහ දොඩම් පානය සඳහා අධික ඉල්ලුමක් පවතින බවයි. “මේ දවස්වල බිස්නස් සරුයි. දෙහි, දොඩම් බීම ගොඩාක් විකිණෙනවා.” ෆවුමිට අප සමඟ කියා ගත හැකි වූයේ එපමණකි.
බසයකින් බැස ගත් පිරිසක් කඩයට ඇතුළු වූ බැවින් ඔහු අප සමඟ කළ කතා බහට නැවතීමේ තිත තැබීය. දොඩම් මිරිකීමටත් වීදුරු සේදීමටත් අයිස් කැට කැඩීමටත් ඔහු වෙන් කළ කාලයෙන් අංශු මාත්‍රයක් උදුරාගැනීමට අපට හැකි වූයේ නැත.
එම කඩ පේළියේම දොඩම් සහ දෙහි බීම අලෙවි කරන එස්. ලමීන් ට අප සමීප වූයේ තවත් තොරතුරු දැන ගැනීමට ය. “වැඩිපුර ඉල්ලන්නේ දොඩම් සහ දෙහි බීම. මේ කාලේ සැරට පායනවානේ. ඒ නිසා හුඟක්දෙනා දොඩම් හෝ දෙහි බොන්න පුරුදු වෙලා ඉන්නවා.
මේ දවස්වල මමත් වැඩිපුර දොඩම්, දෙහි ගෙනත් තියා ගන්නවා.” ප්‍රමාණ වශයෙන් පැවසීමට ඔහු මැළි වුවද එස්. ලමීන් දොඩම් පානය කළ වීදුරු සෝදන අතරවාරයේ අප සමඟ වචන කීපයක් කතා කිරීමට තරම් කාරුණික විය.
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ ද පානීය ජල බෝතල් අලෙවි කරන වෙළඳුන්ගෙන් ජල බෝතල් මිල දී ගන්නා මඟින් දැකගත හැකි වුවත් එම වෙළඳුන් සමඟ කතා කිරීමට ඉසිඹුවක් සොයා ගැනීම අසීරු වූයේ බසයකින් බැස තවත් බසයකට ගොඩ වෙමින් ඔවුන් ජීවන අරගලයේ යෙදෙන නිසාය.
සාමාන්‍යයෙන් ශරීරයට අවශ්‍ය ජලය තරමටම අගනා පානයක් ලෙස සැලකෙන්නේ තැඹිලිය. තැඹිලි පානය කිරීමෙන් පිපාසය සංසිඳෙන අතර එහි ඖෂධීය වටිනාකමක් ඇති බැවින් ශරීරය සැහැල්ලුවෙන් පවත්වා ගත හැකිය. තැඹිලි අලෙවි කරන වෙළෙන්දකු සොයා ගියේ එබැවිනි. කොටුව රීගල් සිනමාශාලාව පසු කර මහජන බැංකු මූලස්ථානය දෙසට යන විට කොට්ටං ගසක් යට තැඹිලි විකුණන වෙළෙන්දෙකු මට හමුවිය. ඔහු පී. ධර්මසිරි දාබරේය.
“මීට සතියකට විතර ඉස්සෙල්ලා නම් දවසකට තැඹිලි ගෙඩි 100 ක් 125ක් විකුණුවා. ඒත් දැන් නම් 100 ක් වත් විකුණා ගන්න බැහැ. ඊයේ ගෙනාපු තැඹිලි ගෙඩි 100 ඉතිරි ගෙඩිත් තවම තියෙනවා. ඒ නිසා මම අද ගෙනාවේ තැඹිලි ගෙඩි 80 යි. ඒකට හේතුව තැඹිලි ගෙඩියේ මිල ඉහළ යෑම. ඉස්සර මම තැඹිලි ගෙඩිය රුපියල් හැත්තෑවකට වික්කේ. ඒත් අද මම තැඹිලි ගෙඩියක් ගන්නෙත් අසූවකට. ඒ නිසා මට විකුණන්න වෙලා තියෙන්නේ ගෙඩියක් රුපියල් සියයකට. දැන් සතියක ඉදලා තැඹිලි ගෙඩියක් රුපියල් සියයයි. සීය වුණා දා ඉඳලා මට බිස්නස් අඩුයි.” ධර්මසිරි දාබරේ පැවසීය.
ඔහු තවදුරටත් දන්වා සිටියේ ඔහු තැඹිලි මිල දී ගන්නා කැලෑ පොළේ සිටින තැරැව්කරුවන් නිසා තැඹිලි ඇතුළු භාණ්ඩවල මිල ඉහළ ගොස් ඇති බවය. තැරැව්කරුවන් නැතිව තැඹිලි මිල දී ගත හැකි නම් තැඹිලි මිල මීට වඩා අඩු විය හැකි බව ඔහුගේ අදහසය.
එහෙත් මේ සියල්ල සිදු වන්නේ රාත්‍රියේදීත් නොනිදන ගෙන්දගම් පොළොවේය. ගමෙන් විස්සට තිහට ගමෙන් ගන්නා තැඹිලි ගෙඩිය සිදාදියේ සියයට අලෙවි වන විට වාසිය හිමි වන්නේ අතර මැදියාට. එය දැඩි උණුසුම වැඩි වන වෙනමම කතාවකි.
පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්යක්ෂ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා