ඇය නමින් චානිකා දිලිනි මුණසිංහය. තවමත් 21ක් හැවිරිදිය.
පෝරුවට කලින් යහනට ගොඩ වූ චානිකා මුල්වරට මවු පදවිය ලබන්නේ අදින් වසර 2 1/2 ට පෙරය. කුළුඳුලේ දියණියක් බිහිකරන ඇය සිය දෙවන දරු ප්‍රසූතිය සිදුකරන්නේ 2018.12.24 වන දිනය. එදින ඇයගේ කුසින් මෙලොව එළිය දකින්නේ පුතණුවන් කෙනෙක් ය.
මවක්, බිරිඳක් වීමට පෙර චානිකාගේ ජීවිතය ගෙවී ගොස් තිබෙන්නේ මවුපිය සෙනෙහස අහිමිවය. දියණියන්ම තිදෙනකුගේ මවක් වන චානිකාගේ මව තම කුඩා දියණියන් තිදෙනා තනිකොට මැදපෙරදිග යෑමත්, එතැන් සිට දියණියන් තිදෙනා මාවතගම පිහිටි වෙනත් නිවසක උස්මහත් වීමත් හේතුවෙන් ඔවුන්ට විඳින්නට සිදු වී ඇති දුක් ගැහැට බොහෝය.
කුඩා කල ඔවුන් අතැර මැදපෙරදිග ගිය චානිකාගේ මව තවමත් ගෙදර පැමිණ නැත. ඇයට සිදුවූවේ කුමක්ද? යන්න පැවසීමට දන්නා කෙනෙක් ද තවමත් මුණගැසී නැත.
මේ අතර සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනුම ලබන චානිකා කුරුණෑගල ප්‍රදේශයේ ඇඟලූම් කම්හලක රැකියාවක් පිණිස යන අතර පසු කලෙක ඇයගේ ස්වාමිපුරුෂයා බවට පත්වන අමිල අසන්ත ඇයට මුණගැසෙන්නේ රැකියාවට යන අතරතුරය. විවාහ ගිවිස ගැනීමේ නිසි වයස දක්වා පැමිණ නොසිටි චානිකා දෙවරක් නොසිතා අමිල සමගින් එක වහළක් යටට වන අතර නිසි වයස පැමිණි කල්හි ඔවුන් විවාහක අඹුසැමියන් බවට පත්වන්නේය.
ඉන් අනතුරුව බාල වයසින් ම ඇය දෙදරු මවක් බවට පත්ව ඇත.
ඇයගේ සැමියා වන අමිල ත්‍රීවීල් රැකියාව කරමින් කලක් තිස්සේ පවුලේ සමගියත් ජීවත්වීම පිණිස මිල මුදලක් උපයන අතර අඹුසැමි දෙදෙනා අතර කල්යත්ම අඬදබර හට ගන්නේ සැමියාගේ රැකියාව මුල්කර ගනිමින් ය. සිය සැමියා වෙනත් කාන්තාවන් සමග අනියම් සබඳතා පවත්වන බවට සැක පහල කරන චානිකා ඒ සම්බන්ධව නිතර නිතර ආරවුල් ඇතිකර ගන්නීය.
දෙදෙනා අතර හට ගන්නා ගැටුම් දිනෙන් දින උග්රවන අතර එහි තීරණාත්මක දිනක් බවට පත්ව ඇත්තේ 2019.01.16 වැනි දිනය. එදින වත්තේගම පිහිටි නිවසින් ත්‍රීවීල් රථයට නගින අමිල කුලී ගමනක් පිණිස පිටත්ව යන අතර, ඔහු නැවත නිවසට පැමිණෙන විට බිරිඳ සහ දරුවන් දෙදෙනා නිවසෙහි පෙනෙන්නට නොවීය.
ඒ පිළිබඳව විපරම් කර බලන අමිලට දැන ගන්නට ලැබෙන්නේ සිය බිරිඳ දරුවන් දෙදෙනා ද සමගින් ඇයගේ තාත්තා පදිංචිව සිටින ගල්කිරියාගම පොලිස් වසමට අයත් කරවිලයාය හන්දිය පලාගල නිවසට ගොස් ඇති බවක් ය. අමිල නැවතත් සිය බිරිඳ සහ දරුවන් දෙදෙනාව සිය නිවසට කැඳවා ගෙන ඒම පිණිස නොයන අතර එතැන් සිට චානිකාට සිදුවන්නේ සිය පියාට අයත් නිවසෙහි දරුවන් දෙදෙනාද සමග හුදකලාව පසුවීමටය.
මේ අතර ඉකුත් 8 වැනිදා රාත්‍රියේ චානිකාගේ කුඩා පුතණුවන් (මාස 1 1/2) නොකඩවා හඬන්නට ගෙන ඇති අතර, ඒ වන විට චාමිකා සිට ඇත්තේ දැඩි නින්දකය.
ළදරුවා හඬන හඬ ඇසී කාමරය විපරම් කර බලන චානිකාගේ සොහොයුරියකට දකින්නට ලැබී ඇත්තේ අධික තෙහෙට්ටුවෙන් සහ දැඩි පීඩාවෙන් යුක්තව චානිකා අසල වැළපෙන කුඩා පුතණුවන්වය. පසුව ඒ බව චානිකාට දැනුම් දෙන සොයුරිය මඳ වේලාවක් ඇතුළත චානිකා සහ මාස එකහමාරක් වයසැති ඇගේ පුතණුවන් ආඬියාගල රෝහලට රැගෙන ගොස් ඇත.
එහිදී දරුවා පරීක්ෂාකර බලන වෛiවරුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා දරුවා සහ මව දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කරන අතර ඉන් මඳ වේලාවකට අනතුරුව ළදරුවා මියපරලොව ගොස් ඇත්තේ කිසිවකුට සිතාගත නොහැකි අයුරින් ය.
මෙම සටහනෙහි රිදුම් උපදවන සුළු තැන් මුණ ගැසෙන්නේ මෙතැන් සිටය.
තම කුඩා දරුවාගේ මරණය සම්බන්ධයෙන් සාක්ෂි ලබා දෙන චානිකා දිලිනි මුණසිංහ එහිදී පවසා සිටින්නේ දරුවාට ලබාදීමට ප්‍රමාණවත් තරමේ මව් කිරි තමන් සතුව නොපැවතුන බවය. දරුවා රෝගී වීමට පෙර දින තමන් කිරි දෝවනය කර දරුවාට ලබා දීමට උත්සාහ කළ බවත් එය ද අසාර්ථක වෑයමක් වූ බවත් පවසා ඇති චානිකා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ තම පුතණුවන්ට උපතේ පටන් හෘද රෝගයක් පැවති බවත්, ඒ සඳහා සායනික ප්‍රතිකාර සඳහා යොමුකර තිබූ බවත් ය.
මෙම ළදරු මරණය පිළිබඳව සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණවලින් අනතුරුව මරණ පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කොට තිබූ අතර, ඉන් කියවෙන්නේ මෙම ළදරු මරණයට මූලික හේතූන් බවට පත්ව ඇත්තේ ආහාර නොලැබීම සහ අධික විජලනය බවය.
තත්ත්වය කෙසේ වෙතත් ගල්කිරියාගම පොලිසියෙන් ලැබෙන අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ මෙම මරණය සම්බන්ධයෙන් තවත් පැති කීපයක් ඔස්සේ පරීක්ෂණ සිදු කරන බවත් ය.
මෙම සිදුවීමෙන් පැහැදිලිව පෙනී යන කරුණක් බවට පත්වන්නේ අඹුසැමි ආරවුලක් හේතුවෙන් අහිංසක දරු පැටියෙක් ජීවිතයෙන් වන්දි ගෙවූ බවක් ය.
එය තවත් බරපතළ වන්නේ මරණයට පත් ළදරුවා කුසගින්න හා විජලනය හේතුවෙන් මියගොස් සිටීමය. දිනපතා මෙරට තුළ විවිධ හේතූන් මුල්කර ගනිමින් අකල් මරණ සිදුවීම මේ වන විට සාමාන්‍ය තත්ත්වයක් බවට පත්ව ඇත.
ඒ සඳහා බලපාන සමාජයීය, ආර්ථික කරුණු ද බොහෝය. තත්ත්වය එසේ වෙතත් බඩගින්න හේතුවෙන් මරණයට පත් වූ සිදුවීම් වාර්තා වී නොමැති තරම් ය. කුසගින්නේ අයෙකු මිය යා නම් රටක් ලෙස ඒ සම්බන්ධව අප කම්පා විය යුතුය. ගල්කිරියාගමින් වාර්තා වන මෙම බිලිිඳු මරණය පිළිබඳ පුවත සැලවීමත් සමග බොහෝ දෙනෙක් කම්පාවට පත්වන්නේ එම මරණයට කුසගින්න හා විජලනය මුල්කර ගනිමින් සිදු වූ මරණයක් වීම හේතුවෙන් ය.
එය තවදුරටත් සනාථ කර ගැනීමට නම් මරණයට පත් බිලිඳාගේ මව පිළිබඳ මානසික වෛද්‍ය වාර්තාවක් ලබා ගත යුතුය.
ඇය යම්කිසි මානසික ව්‍යාකූල තත්ත්වයක පසු වූ තැනැත්තියක් ද නො එසේ නම් තම කුඩා දරුවාගේ කුසගින්න පිණිස වතුර උගුරක් හෝ ලබා නොදීමට ඇය සාහසික වූයේ මන්ද? ආදී කරුණු පිළිබඳ වැඩිදුරටත් සොයා බැලීමක් කළ යුතු බව බොහෝ දෙනකුගේ මතය බවට පත්ව ඇත.
මවකගේ රුධිරය මවුකිරි බවට පත්වන්නේ ඇය තුළ උනන දරු සෙනෙහසේ තරමටය.
එය එසේ නොවේ නම් එය වෙනත් ශාරීරික දුබලතාවක් විය යුතුය. දුප්පත්කමත්, අසරණ බවත් විසින් හෙම්බත් කර ඇති චානිකා නම් ඉහත සඳහන් කුමන පීඩාවකින් පීඩාවට පත්ව සිටි තැනැත්තියක් දැයි සැක හැර දැන ගැනීම ඇයට පමණක් නොව සමස්ත මවුවරුන් මවුපදවියට කරන සාධාරණයක් ය.
උපුටා ගැනීම – දිවයින පුවත්පත