නිධානයකින් ගොඩ ගත් බව කියන පෞරාණික වටිනාකමකින් යුත් බුදු පිළිම තුනක් සහ මැණික් ගල් තොගයක් ළඟ තබා ගෙන සිටි සැකකරුවකු පුත්තලම කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවටගෙන පල්ලම පොලිසියට බාර දී තිබේ.
27 වැනිදා රාත්‍රියේ මෙම වැටලීම සිදු කර ඇත.
පෞරාණික වටිනාකමක් ඇති බුදු පිළිම වහන්සේලා සහ මැණික් ගල් තොගයක් ආඬිගම – පෙරියමඩුව ප්‍රදේශයේ පුද්ගලයකු සතුව ඇති බවට පුත්තලම කොට්ඨාස බුද්ධි අංශයේ ස්ථානාධිපතිවරයාට තොරතුරක් ලැබී ඇත. ඒ අනුව වැටලීම සිදු කර ඇත.
සැකකරු සතුව ඉතා කුඩා ප්‍රමාණයේ බුදු පිළිම වහන්සේලා තුන් නමක්, සාමාන්‍ය ප්‍රමාණයේ මැණික් ගලක් සහ කුඩා ප්‍රමාණයේ මැණික් ගල් 27ක් තිබී ඇත. ඒ සියල්ල වැටලීම කළ නිලධාරීන් තම භාරයට ගෙන ඇත.
නිවසේ මල් පහන් පූජා කරන කාමරයේ මතු වූ තුඹසකින් තමන්ට මෙම බුදු පිළිම වහන්සේලා හමු වූ බව සැකකරු පොලිසිය හමුවේ පවසා ඇත. එම පිළිම වහන්සේලා සහ මැණික් ගල් කළු ගල් මංජුසාවක තිබූ බවත්, පසුව එම මංජුසාව අතුරුදහන්වී ඇති බවද සැකකරු පවසා ඇත.
පසුව තමන් විසින් මිලදී ගත් කරඬුවක පිළිම වහන්සේලා තැන්පත් කර විටින් විට පුද පුජා කටයුතු සිදු කළ බවද සැකකරු වැටලීම කළ නිලධාරීන් හමුවේ පවසා ඇත. නමුත් වැටලීම සිදු කරන විට පිළිම වහන්සේලා තුන් නම නිවසේ ඇති ශබ්ද විකාශන යන්ත්‍රයක් තුළ සඟවා තිබී ඇත.
සැකකරු ආණමඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. පිළිම වහන්සේලා සම්බන්ධයෙන් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන්ද,මැණික් ගල් සම්බන්ධයෙන් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන්ද අධිකරණ අවසරය මත තොරතුරු ලබා ගැනීමට කටයුතු කරන බව පල්ලම පොලිසිය කියයි.
