කොළඹ කොටුව ගෆූර් ගොඩනැගිල්ලේ රඳවා සිටි වැලිසර නාවික කඳවුරට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයූ නාවික හමුදා භට පිරිසක් අතර සිටි එක් අයකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගැනීමත් සමග ඊයේ (28) වැනිදා එම ගොඩනැගිල්ලේ සිටි 200 ක පමණ නාවික විරුවන් පිරිසක් එම ගොඩනැඟිල්ලේම හුදෙකලා කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ.
හුදකලා කරනු ලැබූ වැලිසර නාවික කඳවුර සහ එහි සිටි රෝගීන්ට ප්‍රතිකාර කළ නාවික රෝහලේ සැපයුම් කටයුතු වෙනුවෙන් යොදා ගන්නා ලද මෙම නාවික භට පිරිස බාහිර සමාජයෙන් ඈත් කොට මෙම ගොඩනැඟිල්ලේ රඳවා සිටි බව නාවික හමුදාව පවසයි.
මෙම ගොඩනැගිල්ලේ සිටි හමුදා සාමාජිකයන්ට පෙරේදා (27) වැනිදා සිදු කළ පීසීආර් පරීක්ෂණවලදී මෙම නාවික හමුදා සෙබළාට කොරෝනා වැළඳී ඇති බවට අනාවරණය වී ඇත.
නාවික හමුදාව තුළින් ගෙවී ගිය පැය විසිහතර තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ රණවිරුවන් 53 දෙනකු වාර්තා වී ඇති අතර මේ දක්වා නාවික හමුදාවෙන් හඳුනාගත් ආසාදිතයන් ගණන 682 ක් බව කොරෝනා වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
