පසුගිය දවස්වල රටම කතා කළ පුවතක් තමයි මීගමුව බන්ධනාගාරයේ සිරමැදිරි තුලින් හමුවුණු ශීතකරන,දුරකථන සහ පාතාල මෙහෙයවීම්.
සියළු ජාවාරම් බන්ධනාගාරය තුල සිටින සිරකරුවන් විසින් මෙහෙයවන බවට හා ඒවාට බන්ධනාගාර නිලධාරීන්ද සහය ලබාදෙන බවට පසුගිය දිනවල තහවුරු වුණා.
සියළු බන්ධනාගාර නිලධාරීන්ට පාරක ගමන් කිරීමට හෝ නොහැකි තැනට පත්කරමින් මීගමුව බන්ධනාගාරය තුලින් හසුවූ භාණ්ඩවලින් හෙළිවුණේ වැරදිකරුවන් වී සිරගතවූවන් සුරසැප විද ඇති බවයි.
වැරදිකරුවන් නිවැරදි මාවතට ගන්නවා වෙනුවට ඔවුන්ට රිසිසේ තම කප්පම් ගැනීම්,කුඩු ජාවාරම් සිදුකරගැනීමට ඉඩ ඇති හොඳම තැන බන්ධනාගාරය විය.
නමුත් එය උඩුයටිකුරු කරමින් බන්ධනාගාරය තුල ඉහළම පුටුව පවා වෙනස් කරමින් සුදුස්සාට සුදුසු තැන ලබාදෙමින් ජනාධිපතිවරයා විසින් බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිසි මාවතට ගැනීමට කටයුතු කළහ.
දැන් එය නිවැරදි මාවතේ ගමන් කරන බව අප දනී.
සියළු බන්ධනාගාර අධිකාරීවරුන් ජේලර්වරුන් හා අනෙකුත් නිලධාරීන් සියල්ල ස්ථාන මාරුවීම් කරන සුදුසු පුද්ගලයන් ඒම ස්ථානයන්ට යොමු කර තිබේ.
එහි ප්‍රතිඵලයක් ලෙස බන්ධනාගාර තුල භාවිත කළ දුරකථන, සිම්පත් ඇතුළු සියල්ල දිනක් දිනක් පාසා කොටුකරගත් පුවත් වාර්තා විය.
එය එසේ සිදුවද්දී දැන් තවත් මාතෘකාවක් කරළියට පැමිණ තිබේ.
ඒ් පොලිසියයි..
මේ ගැන කතාවක් ඇතිවෙමින් තිබෙන්නේ දිවුලපිටිය පොලිසියේ නිලධාරියෙකු කසිප්පු ජාවාරමේ නිරත පුද්ගලයෙකුගෙන් මුදල් ලබාගන්නා බව පවසන ඡායාරූප කිහිපයක් හුවමාරුවීමත් සමගයි.
තවද දිවුලපිටියේ නම් දැරූ කසිප්පු, ගංජා, කුඩු සහ අනෙකුත් ප්‍රධාන පෙලේ ජාවාරම්කරුවන් පිළිබඳව ස්ථානද සහිතව හෙළිදරව් කර තිබීමයි.
එහි සඳහන්ව තිබුණේ මෙම ජාවාරම්කරුවන්ගෙන් පොලිසිය යැපෙන බවයි.
තවද දිවුලපිටිය ස්ථානාධිපතිවරයාටද මෙහි චෝදනා කර තිබුණි.
මේ පිළිබඳව අපද සොයා බැලූ විට හෙළිවුණේ මෙම ජාවාරම්කරුවන්ගේ උදව්වෙන් ඇතැම් නිලධාරීන් මෙම ප්‍රදේශයෙන්ම ඉඩම් මිලදී ගෙන නිවෙස් ඉදිකර ඇති බවයි.
ගැටළුව ඇත්තේ ඔවුන් මෙම පොලිස් ස්ථාන වෙත පැමිණ වසර දෙකක් වැනි කාලයක් තුල මෙම කටයුතු සිදුකළේ කෙලෙසද යන්නයි.
තම පොලිස් බලයෙන් මේවාට උදව් ලබාගත් අයුරුද උදව් කළ පුද්ගලයන්ම හෙළි කරන දර්ශන සහ හඬපට ඉදිරියේදී සමාජගත කරන බවටද තොරතුරු සොයා බැලීමේදී හෙළිවිය.
එලෙස ඔවුන් මුදල් උපයාගත් අයුරු ගැන පරීක්ෂණ කළ යුතුවන්නේ සමාජයම වනසන ජාවාරම්කරුවන්ගෙන් ඔවුන් මෙලෙස යැපෙන විට නීතියේ පිහිටක් පැතිය නොහැකි නිසාය.
නිවසක අත්තිවාරමක් දමන විට එයට උදව් කිරීමට කසිප්පු පෙරන පුද්ගලයන්, කුඩු විකුණන පුද්ගලයන්, ගංජා විකුණන පුද්ගලයන් පැමිණෙන්නේනම් පොලිසිය ගැන සාමාන්‍ය වැසියෙකුට විශ්වාසයක් තැබිය හැකිද..?
එවැනි ස්ථානයකට ස්ථානාධිපතිවරයෙකු පැමිණ එතැනින්ම සප්පායම් වී පිටව යන්නේනම් තවත් කුමන කතාවක්ද..?
මේ ප්‍රශ්න ප්‍රදේශවාසීන් නිරතුරු ප්‍රශ්න කරනු නොඅනුමානය.
නමුත් ප්‍රසිද්ධියේ මේවා කතා කිරීමට සාමාන්‍ය පුද්ගලයෙකු ඉදිරිපත් නොවන්නේ පොලිසිය එලව එලවා පහර දේයැයි ඇති සාධාරණ බියෙනි.
කෙසේ වෙතත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල මේ ගැටළුව ඇති බවත් ඒ්වා සමාජගත කිරීමට මිනිසුන් පැකිලෙන්නේ බිය නිසා බවත් දිවුලපිටිය පොලිසිය ගැන හුවමාරුවුණු ඡාරූපවලට එම ප්‍රදේශයේම පුද්ගලයන් දැමූ අදහස්වලින් මනාවට පැහැදිලි වේ.
කෙසේ වෙතත් මෙම සිදුවීම්වලට පැහැදිළි පරීක්ෂණයක් සිදුකිරීම පොලිසියේ වගකීමකි.
ආරක්ෂක ලේකම්තුමා පසුගියදිනක කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරුන් අමතමින් පැවසුවේ තම බල ප්‍රදේශය තුල සිදුවන ජවාරම් හෝ අනෙකුත් සිදුවීම්වලට කෙලින්ම කොට්ඨාස භාර අධිකාරීවරුන් වගකිවයුතු බවයි.
එසේනම් මෙවැනි සිදුවීම් සොයා බැලීමේ පළමු වගකීමෙන් ඔවුන්ට පලායා නොහැකි බව මතක් කළ යුතුය.